කෝවිඩ් නිසා නිවෙසට එක්වුණු අලුත් ම උපකරණය

පල්ස් ඔක්සිමීටරය
අගෝස්තු 25, 2021

 

ඇඟිල්ලට පල්ස් ඔක්සිමීටරය සම්බන්ධ කිරීමට පෙර හදවතට ඉහළින් අත තබා ගත යුතුයි. උපකරණය සවි කළ පසු නො සෙල්වී සිටින්න. දිනය හා වේලාව සමඟ දිනපොතක ඔක්සිජන් මට්ටම සටහන්කර ගන්න.

උණකටුවක් නැති නිවෙසක් සොයා ගැනීමට බැරි තරම්. බෝ නොවන රෝග වැඩි වීමත් සමඟ රුධිර පීඩනය බලන උපකරණ, රුධිරයේ සීනි මට්ටම බලන උපකරණ අලුතින් නිවෙසේ වෛද්‍ය උපකරණ කට්ටලයට එකතු වුණා.

අලුත්ම ලෝක වසංගතය නිසා දැන් තවත් උපකරණ කට්ටලයකට හැමෝගෙම අවධානය යොමු වෙලා. ඒ පල්ස් ඔක්සිමීටරය. දොරින් දොර නව කොරෝනා වෛරසය පැතිරෙද්දී වෛරසය ඩෙල්ටා, ඇම්ඩා වැනි දරුණු වෙස් ගනිද්දී පල්ස් ඔක්සිමීටරයේ වටිනාකම, ඒ ගැන කෙරෙන කතා බහ එන්න එන්නම වැඩිවෙලා.

පල්ස් ඔක්සිමීටරයෙන් සිදු කරන්නේ කිසිදු වේදනාවක් නැතිව කළ හැකි රුධිරයේ ඔක්සිජන් මට්ටම බලන පරීක්ෂණයක්. මේ උපරණයෙන් හදවත මඟින් පාද, අත්වලට සපයන රුධිර ඔක්සිජන් මට්ටමේ සුළු වෙනසක් සිදු වුවත් දැන ගැනීමට පුළුවන්. කුඩා මෙවලමක් වන මෙය රුධිරයේ ඔක්සිජන් මට්ටම බැලීමට වැඩිපුරම සවි කරන්නේ ඇඟිල්ලකට වුවත් පාදයේ ඇඟිල්ලකට, කන් පෙත්තට සවිකරන්න පුළුවන්.

කෝවිඩ් - 19 ( The Coronavirus Disease 2019 ) වසංගතයට පෙර පල්ස් ඔක්සිමීටරය වැඩිපුර භාවිත කෙරුණේ නිදන්ගත පුප්ඵුසීය පෙණහලු රෝගය ( chronic obstructive pulmonary disease (COPD), ඇදුම, නියුමෝනියාව, පෙණහලු පිළිකා, රක්තහීනතාව, හෘදයාබාධ / හෘද අකර්මණ්‍යතාව, උපතින්ම ඇතිවන හදවත් ආබාධ ආදියේදීයි.

මීට අමතරව පෙණහලුවලට ලබා දුන් අලුත් ඖෂධය ක්‍රියාකරන ආකාරය බැලීමට, වෙන්ටිලේටරය කොපමණ සහායක් රෝගියාට ලබා දෙනවා ද බැලීමට, කෙනකුට හුස්ම ගැනීමට කොපමණ සහායක් අවශ්‍යදැයි බැලීමට, සැත්කමකදී ඔක්සිජන් මට්ටම බැලීමට, කායික ක්‍රියාකාරිත්වයේ වැඩිවීම දරාගත හැකිදැයි බැලීමට, නින්දේදී හුස්ම ගැනීම නතර වෙන අයගේ ඔක්සිජන් මට්ටම ගණනය කිරීමට පල්ස් ඔක්සිමීටරය යොදා ගනියි.

කොහොමද පල්ස් ඔක්සිමීටරය වැඩ කරන්නේ?

 

ඇඟිල්ලට පල්ස් ඔක්සිමීටරය සම්බන්ධ කළාට පසුව ඇඟිල්ලේ රුධිරය හරහා කුඩා ආලෝකධාරවක් ගමන්කර රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බලනවා. රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම ආලෝකය මඟින් උරාගන්නා ඔක්සිජන් ප්‍රමාණය මත තීරණය වෙනවා. හදවතේ වේගය මැන බැලීමට හැකි වීම උගකරණයේ ඇති තවත් වාසියක්. මෙය වේදනාකාරී නො වන ක්‍රියාවලියක් නිසා රෝගියාට කිසිදු අපහසුතාවක් දැනෙන්නේ නැහැ. මෙය එතරම් ම මිල අධික උපකරණයක් නො වීම නිසා නිවෙසේ සුව උපකරණ කට්ටලයට පහසුවෙන්ම එක්කර ගන්න පුළුවන්.

නිවෙසේදී පල්ස් ඔක්සි මීටරය භාවිත කිරීමේදී සැලකිලිමත්විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

උපකරණය භාවිතයට පෙර අඩු වශයෙන් මිනිත්තු 5 - 10 ක් වත් වාඩිවී සිටිය යුතුයි. දෑත් එකිනෙක හොඳින් පිරිමැද නිය ආලේපන ඉවත් කර ඔක්සිමීටරය මැද ඇඟිල්ලේ සවි කරන්න. ඇඟිල්ල නො සොල්වා එකම තැනක තබා ගන්න. මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ගණනය කිරීමට ගත වෙනවා.

කිහිප වරක් මිනුම් ලබා ගැනීමෙන් නිවැරැදි අගය ලබා ගැනීම වඩාත් පහසු වෙනවා. අගයන් දින පොතක සටහන් කර ගන්න. උදේ, දවල්, රාත්‍රී වශයෙන් කෝවිඩ් රෝගියකු ඔක්සිජන් මට්ටම දිනපොතක සටහන් කරගන්නවා නම් එය වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමේදී පහසුවක් ගෙන දෙනවා.

කෝවිඩ් රෝගියකුට තමන් තදබල ලෙස රෝගී බව දැනුණොත්, විවේකීව සිටියදීත් කෙටි වාක්‍යයක් වත් කියා ගැනීමට බැරි තරම් හුස්ම ගැනීමට අසීරු නම් ඔක්සිජන් මට්ටම සියයට 92 ක් හෝ ඊට අඩු නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුයි. ඒ වාගේම වාඩිවී හෝ වැතිරී සිටින විට ඔක්සිජන් මට්ටම සියයට 93 ක් හෝ 94 ක් නම් පැයකට පසුත් මේ තත්ත්වය පවතිනවා නම් ක්‍රමයෙන් අසනීප ගතියේ වැඩි වීමක් පැය දෙකකට හෝ ඊට වැඩි කාලයක් හුස්ම ගැනීමට අසීරු නම් වාඩිවී නැඟිටින විට හුස්ම ගැනීමට අපහසු නම් එය ද ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බවට රතු එළියක්. ඔක්සිජන් මට්ටම යහපත් වුණත් හද ගැස්ම සාමාන්‍ය වුණත් උණ අධික නම් එයත් වෛද්‍ය උපදෙස් ඇවැසි බවට ඉඟියක්.

කෝවිඩ් රෝගියකුට පල්ස් ඔක්සිමීටරයෙන් ලබා දෙන තොරතුරු ඉතා වැදගත් වෙනවා. රුධිරයේ ඔක්සිජන් මට්ටම සියයට 95 - 99 ක් තිබෙනවා නම් එය නිසි පමණ ඔක්සිජන් ඇති බවට සුබ ලකුණක්. හද ගැස්ම 50 - 90 ත් තිබිය යුතුයි.

 කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ උපුල් දිසානායක
මහතාගෙන් සහ බ්‍රිතාන්‍යයේ ජාතික රෝහල් සේවයේ උපදෙස් පත්‍රිකාවකිනි.