කොලෙස්ට්‍රම් තොලගාන ඔබේ සිඟිත්තාටජීවිත කාලය පුරාවටම ප්‍රතිශක්තියක්

නොවැම්බර් 15, 2021

 

රෝදුක් පීඩාවන්ගෙන් ආරක්ෂාවී සුවයෙන් පිරි ජීවිතයක් ගත කළ හැකි වන්නේ මනා ප්‍රතිශක්තියක් ඇත්නම් පමණි. කෙනකුගේ ජීවිතයට ප්‍රතිශක්තිය නැමැති මිල කළ නොහැකි වටිනාකම ලැබෙනුයේ මෙලොවට ජනිත වූ දා පටන් ය.

මිනිස් සත්ත්වයා තමාට අවැසි ප්‍රතිශක්තිය කිරිකැටි දරුවෙක්ව සිටින අවධියේ පටන් තම ජීවිතය හා බද්ධකර ගනියි. ඒ ස්වභාව දහමෙන් හා අමෘතය බඳු මව්කිරිවලිනි.

අලුත උපන් කිරිකැටියා රිසි සේ මව්කිරි බීමෙන් විශේෂයෙන් ම මුල් මාස තුනේ දී මව්කිරි පමණක් ම බීමෙන් බොහෝදුරට රෝදුක් පීඩාවකින් තොරව ගත කරයි. මෙය මවකට මහත් අස්වැසිල්ලකි. කුළුඳුල් මවක් තම අලුත උපන් දරුවා රෝගවලට ගොදුරුවද්දී අසීමිත ලෙස තැවෙයි. මව්කිරි බොන දරුවන් සියයට අනූවක් ම පාහේ මුල් මාස තුනේ දී නිරෝගී දිවි පෙවෙතක් ගත කරයි.

මෙයට හේතුව මව්කිරිවල අඩංගු කොලෙස්ට්‍රම් බව නොරහසකි. මෙම දියරයක් බඳු ළා කහ පැහැයට හුරු ස්‍රාවය ආදී වාසීන් සම කළේ අමෘතයටයි. යුරෝපීයයන් එය දෙවියන්ගේ පැන් හෙවත් Holly water, super food ලෙස ද නම් කරන්නට විය. හෙළයන් රන්කිරි කට ගානවා කීවේ මේ මුලින්ම එරෙන කිරි හෙවත් කොලොස්ට්‍රම් දරුවාට ලබා දීමයි.

මිනිස් සත්ත්වයා තම ජීවිතයට අවැසි ප්‍රතිශක්තිය මව්කිරි වෙතින් උකහා ගනුයේ එලෙසටයි. කොලෙස්ට්‍රම් ප්‍රතිශක්තියෙන් අනූන වූවකි. මේ කොරෝනා සමයේ ප්‍රතිශක්තියේ ඇති වැදගත්කම අන් කවරදාකටත් වඩා හොඳින් දැනෙන්නට විය. කොරෝනා වැලඳි මවක් වුවත් ඇය අලුත උපන් දරුවාට මව්කිරි දීමෙන් දරුවා නිරෝගී වූ බව, කොරෝනාවලින් බේරෙන්නට හැකිවීම මව්කිරිවල ඇති හාස්කම ම වන්නේ ය.

කොලෙස්ට්‍රම් (Colastrum) මිලිලීටර් එකක් තුළ දශලක්ෂයක් පමණ සෛල ඇති බවත් ඒ තුළ ලිම්පොසයිඩ් (Lymphocytes) නියුට්‍රොෆිල්ස් (Neutrofhils) එපිතීරියල් සෛල (Epithelial Cells), , ලැක්ටොෆෙරින් (Lactoferrin) අඩංගුවේ. එසේම වර්ධක හෝර්මෝනවන ඉන්ටර්ෆෙරෝන් (Interfreron-y) සහ ඉන්සියුලින් ඇති බව ජීව විද්‍යාත්මකව අදවන විට සොයාගෙන ඇත.

මව්කිරි මුල් මාස තුනේදී හඳුන්වා දී ඇත්තේ ගෝල්ඩන් හන්ඩඩ් ලෙසයි. එබැවින් එම කාලසීමාව තුළ අමතර ආහාර හඳුන්වාදීමක් අවශ්‍ය වන්නේම නැත. වතුර දීම පවා අවශ්‍ය නොවේ.

මවට කෙසේවත් ම කිරි දීමට නොහැකි විටක දී පමණක් දරුවාට පිටිකිරි දීමට සිදුවේ. එයද පිටරටවලින් ආනයනය ළදරු කිරි යනු අන්තිම බොරු රැවටීමකි. ලංකාවේ සිටියත් නවසීලන්තයේ සිටියත් හරකා හරකාම ය. ඔබ බුද්ධිමත් නම් පිටරට කිරි එකක සංයුතිය (Formula) හා ලංකාවේ නිෂ්පාදිත ළදරු කිරිපිටි එකක සංයුතිය සසඳන්න. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. ඔබ ඉන් එහාට මුලා නො වනු ඇත.

රැකියාවට යන මවකට දරුවාට මාස හතරක් ගත වූ පසු බත් කැඳ, පලතුරු යුෂ දිය හැකියි. දරුවාගේ බර වැඩි නම් කැඳ ගතිය අඩුකර වතුර ගතිය වැඩිකර දෙන්න. දරුවා දුර්වල නම් බත් මත ගා කැඳ දෙන්න. එයින් අතිරේක කැලරි ප්‍රමාණයක් ලැබෙන නිසා දරුවාගේ වර්ධනය වැඩි වේ.

එක් එක් දරුවන්ගේ වයස අනුව බර වෙනස් වේ. පළමු අවුරුද්දට පසුව ඉදිරියට සෑම අවුරුද්දකට ම කිලෝ දෙක බැගින් අවුරුදු පහ - හය වනතුරු වැඩි වේ. මේ වයස් සීමාවේ දී රෝග වැලඳීම ටිකක් වැඩිවේ. බඩේ අමාරු, සෙම්ප්‍රතිෂ්‍යා වැනි රෝග බහුලව සෑදේ. මෙසේ සිදුවන්නේ ළදරුවාගේ වරදක් නිසා නොව දරුවා යම් යම් දේ අතගෑම සහ පිටස්තර අය දරුවා සුරතල් කරන්නට යෑම නිසායි. මෙසේ වූ පමණින් ඔබේ දරුවා රෝගී දරුවකු යැයි කියා හෝ ප්‍රතිශක්තිකරණය අඩු දරුවකු යැයි ඔබ නො සිතන්න.

දරුවා ඉපදුණු විගසම ලබා දෙන්නේ බී. සී. ජී. එන්නතයි. මෙම එන්නත ලබා දුන් පසු ඇතැම් දරුවන්ට කිහිලිවල, ඉකිලිවල කුද්දැටි හෙවත් වසා ගැටිති ඇති වේ. බිය නොවන්න. නිවිහැනහිල්ලේ ළමා රෝග වෛද්‍යවරයකුට පෙන්වන සුළු ප්‍රතිකාරයකින් ඒ සියල්ල සුව වී යනු ඇත.මීට අමතරව කුඩා දරුවන්ට බහුලව වැලඳෙන රෝග අතර මලබද්ධය ප්‍රධාන තැනක් ගනියි. ඝන ආහාර ආරම්භයේ දී බොහෝ දරුවන් මෙම තත්ත්වය සඳහා මුහුණ පායි. දැන් අපේ රටේ රෝහල් දියුණු නිසා මුල් දින කිහිපයේදී රුධිර පරීක්ෂාවකින් තයිරොක්සින් තත්ත්වය, තයිරොයිඩ් ග්‍රන්ථියේ තත්ත්වය සොයා බලයි. එය යහපත් ප්‍රවණතාවකි. දරුවන්ට මලබද්ධය ඇතිවීමට ප්‍රධාන හේතුව නම් පිටිකිරි දීමේ දී පිටි ප්‍රමාණය වැඩි කිරීමයි. එයින් දරුවාට වැඩි පෝෂණයක් බලාපොරොත්තු වුව ද එය අනුවණ ක්‍රියාවකි.

දරුවාට මව්කිරි ම දෙන්නේ නම් මවටත්, දරුවාටත් පවුලේ ධනයටත් සෙතක් ම වන්නේ ය. දරුවා තමාට අවැසි ප්‍රතිශක්තිය ද මැනවින් සපුරා ගෙන ජීවිත කාලය පුරාවට ම බොහෝ රෝගවලින් රැකවරණය ලබයි.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.