නිතර බඩගිනි වෙන්නේ පෙරේතකමට ද?

නිතර කුසගිනි ඇතිවීමට හේතුව ලෙප්ටින් රෙසිස්ටන්ස් නමැති තත්ත්වයයි
මැයි 9, 2022

ලෙඩ අඩු කර ඇඟ හැඩ කරන අලුත්ම ක්‍රමය

ආහාර මිනිසාට ජීවත් වීමට අත්‍යවශ්‍යම දෙයකි. ශරීරයේ වර්ධනයට, ශක්තිය ලැබීමට මෙන්ම නීරෝගී පැවැත්මට ද ආහාර අවශ්‍යවෙයි. එසේම ලෙඩරෝග වලින් බේරීමට ද හේතුවන ආහාර ඇතැම් විට සිරුර ලෙඩ කරවීමට ද හේතු වන බව පැවසුවහොත් ඔබ සමහර විට පුදුමයට පවා පත් වේවි. සිරුර නිරෝගීව පවත්වා ගැනීමට නම් ගත යුතු නොගත යුතු ආහාර ගැන දැනුම්වත් බව මෙන්ම ආහාර ගතයුතු වේලාවන් අවේලාවන් ගැන ද දැනුම තිබිය යුතුමය.

නිතර ඇතිවන කුසගින්න නිසා නිතරම කටට යම් යම් ආහාර වර්ග, කෙටි කෑම ආදිය ඔබා ගැනීමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. ඒ අතර බඩගින්නක් නැතත් කුමන හෝ ආහාරයක් කටට දාගෙන හැපීමට තවත් අය පුරුදු වෙලා.

මේ පුරුදු ජීවිතයට කොහෙත් ම හොඳ පුරුදු නම් නෙවෙයි. ඇඳුම් පැලඳුම්, හැසිරීම් පමණක් නෙවෙයි, අපි ආහාර ගැනීමේ දීත් පිළිවෙළක් තිබිය යතුමයි.

නිතර කුසගිනි වෙන්නේ පෙරේතකම නිසා යැයි ඇතැම් අය සිතුවත් එය එසේමදැයි අපි සොයා බලමු. මෙසේ නිතර නිතර කුසගිනි ඇතිවීමට හේතුව වන්නේ ලෙප්ටින් රෙසිස්ටන්ස් නැමැති තත්ත්වයයි.

ලෙප්ටින් හෝමෝනය කියන්නේ අපේ සිරුරේ ඇති මොළයට සංඥා යවන හෝමෝනයකි. එම හෝමෝනය මඟින් දැන් ආහාර ගත්තා ඇති යැයි මොළයට සංඥා යවයි. එය සිදු වන්නේ අපි ආහාර ගෙන ඉවර වී මේද සෛල සංතෘප්ත වූ විට එම මේද සෛලවලින් මේ හෝමෝනය මොළයට 'කෑවා ඇති' යන සංඥාව නිකුත් කිරීමෙනි.

නමුත් අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වූ විට ලෙප්ටින් හෝමෝනය ශ්‍රාවය හීන වී යයි. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අප ආහාරයට ගන්නා අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයයි. විශේෂයෙන් ම දියවැඩියා රෝගයට ගොදුරු වූවන්ට හා අධික ස්ථුලතාවෙන් පෙලෙන අයට මේ ලෙප්ටින් ප්‍රතිරෝධයක් ඇති බව සොයාගෙන තිබෙනවා.

දියවැඩියා රෝගය තිබේදැයි රෝග නිර්ණය කිරීමටත් ලෙප්ටින් රෙසිස්ටන්ස් යොදා ගන්නා ලෙස මෑත කාලීනව නොයෙකුත් වෛද්‍ය ජර්නලයන්හි සඳහන් වෙයි. දියවැඩියාව ඇති සෑම අයකුට ම පමණක් නොව, සාමාන්‍ය ජනතාව ආහාර ගන්නා ආකාරය දෙස බැලූ විටත් ඔවුනටත් ලෙප්ටීන් ප්‍රතිරෝධය ඇති බව නිගමනය කරන්න පුළුවන්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සමීක්ෂණවලින් ඔවුන්ගේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට ලෙප්ටීන් ප්‍රතිරෝධය ඇති බව සොයාගෙන තිබේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධයයි. ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා මොළයට ලෙප්ටින්වලින් එන සංඥා අවහිර කරයි.

කාන්තාවන්ට ස්වභාවිකව ම මේ ලෙප්ටින් හෝමෝන ප්‍රතිරෝධයක් ඇතිවන අවස්ථා දෙකක් පවතී. එම අවස්ථා දෙකෙන් එකක් වන්නේ ගැහැනු දරුවකු වැඩිවිය පත්වන අවස්ථාවයි. අනෙක් අවස්ථාව වන්නේ ගර්භණී අවධියයි. මේ කාලයේ දී ගැබිනි මව්වරුන්ට හා මල්වර වියේ දැරියන්ට තම සිරුරේ සිදුවන අධික වර්ධන වේගයට වැඩියෙන් පෝෂණයක් අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට වැඩියෙන් ආහාර ගැනීමට සිදු වේ. මෙය ඔවුනට ගැටලුවක් නොවන්නේ එම අවධියේ දී එසේ ආහාර ගැනීම ඔවුනට අවශ්‍ය වන නිසයි.

ගර්භණී අවධියේ දී දරුවාගේ වර්ධනය නිසි පරිදි සිදු වීමට මව ලබා ගන්නා ආහාර වැදගත් වන නිසා ලෙප්ටින් ප්‍රතිරෝධයක් ස්වභාවිකව ම ඇති වේ.

සමාජයේ සිටින බොහෝ දෙනකුට පාහේ දැන් ලෙප්ටින් රෙසිස්ටන් තත්ත්වය පවතින බව පෙනෙන්නට තිබේ. එසේ වන්නේ වැඩි වශයෙන් කාබෝහයිඩ්‍රේට් නැතිනම් පිටි සහිත ආහාර ගැනීම නිසයි. පාන්, බත්, කොස්, දෙල්, බතල ආදී ආහාර ගැනීම මේ තත්ත්වයට හේතු වේ. මේ ආහාර වැඩි වශයෙන් ගැනීමෙන් ඔබට ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවන අතර එය ලෙප්ටින් ප්‍රතිරෝධයක් ඇති කරයි.

මෙය දුගී බවේ විෂම චක්‍රය වැනි ය. නැතිනම් කලින් පැමිණියේ කිකිළි ද බිත්තරය දැයි සෙවීම වැනි ක්‍රියාවකි. මේ ඉන්සියුලින් හා ලෙප්ටින් දෙක විෂම චක්‍රයක් සේ ක්‍රියා කරයි.

මේ සඳහා අපට කළ හැකි හොඳම දේ වන්නේ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර මෙන්ම සීනි, පාන්පිටි, එළවළු තෙල්, සකස් කළ ආහාර(ක්ෂණික ආහාර), කොස්, දෙල්, අල, බතල, අඹ, අන්නාසි, කෙසෙල් වැනි පැණිරස අධික පළතුරු ද කැරට්, බීට්, වට්ටක්කා, අළුකෙසෙල් වැනි පිෂ්ටය අධික එළවළු ද ආහාරයට ගැනීම අඩු කිරීමයි. ඒ වෙනුවට පොල් සම්බෝල, හතු, මාළු, මස්, බිත්තර, මුදවපු මී කිරි, කජු, රටකජු, බටර්, චීස්, අලිගැටපේර වැනි ආහාර වර්ග හා කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගැනීම සුදුසුය.

මෙහිදී සිදු වන්නේ තෙල් සහ ප්‍රෝටීන වැඩි ආහාර කෑමට ගැනීමෙන් ආහාර ලබා ගත්තා ඇති යැයි මොළයට සංඥා යවන තවත් හෝමෝන වර්ග ඇතිවීම උද්දීපනය වී ආහාර ලබා ගත්තා ඇති යැයි මොළයට සංඥා යවයි. එමෙන්ම කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන් සහ මේදය අධික ආහාර ලබා ගත් විට ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉක්මනින් අඩු වී දියවැඩියාව, අධික ස්ථුලතාව වැනි රෝග ඉක්මනින් සුව වේ.

බටහිර රටවල මෙය ඉන්ටර්මිටඩ් ෆාස්ටිං, කිටෝ ඩයට් යන ක්‍රමයන් ලෙස පවතී. මේ ක්‍රමවේදයන්හි ඇති සාර්ථක කොටස් ද එකතු කරමින් සකසා ඇති වන්නකු ක්‍රමවේදය ඔබ බොහොමයක් බෝ නොවන ලෙඩරෝගවලින් ආරක්ෂා කිරීමට සමත් වේ.

ඒ සඳහා දිගින් දිගටම අප සමඟ එක්ව සිටින්න.

 

ලෙඩ අඩු කර

හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.