කොඳු ඇට පෙළේ රෝග වැඩි වීමට හේතුව ප්‍රජනක පද්ධතියේ ආබාධ ද?

ඔක්තෝබර් 3, 2022

 

පවුලක කොඳු නාරටිය කියන්නේ ආදරණීය අම්මාට. ඇය ශක්තිමත් වූ තරමට තමයි පවුලත් ශක්තිමත් වෙන්නේ. ඒ තරමටම කොඳු නාරටිය කාන්තාවගේ භූමිකාව හා බැඳී පවතිනවා. කොඳු නාරටිය ශක්තිමත්ව තිබීම සෑම අයකුටම වැදගත්. ඒ කියන්නේ අපේ කොඳු ඇට පෙළ ශක්තිමත්ව, ඍජුව, නියමාකාරයෙන් පිහිටීම ඍජුවම නිරෝගීකමට බලපානවා.

 

මෑතකදී කළ සමීක්ෂණයකින් මැදිවියේ පසුවන ශ්‍රී ලාංකීය කාන්තාවන්ගෙන් 50%කටම විවිධ වූ අස්ථි ආශ්‍රිත වේදනාවන් පවතින බව හෙළි වී තිබෙනවා. මේ නිසාම අප කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ විමසීමක් කළෙමු.

 

මොකක්ද මේ කොන්දේ කැක්කුම

කොන්දේ වේදනාව, ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කටී ශූල ලෙසයි හඳුන්වන්නේ. මේ රෝගී තත්ත්වය බාල, මහලු, කාන්තා, පිරිමි භේදයකින් තොරව ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී අප පීඩාවට පත් කර ඇති බවට සැකයක් නැහැ. කොඳු ඇට පෙළෙහි පහළ ප්‍රදේශයේ එනම් කටී ප්‍රදේශයේ (lower thoracic, lumbar and sacral region) ඇතිවන මේ වේදනාව ඇතැම්විට කොන්ද දෙපසට, පාද දෙසට ද ගමන් කරන අවස්ථා දැකිය හැකියි. මේ වේදනාව සඳහා විවිධාකාර වූ හේතූන් බලපානවා. එය මූලිකවම කොඳු ඇට පෙළ ආශ්‍රිත ව්‍යුහාත්මක වෙනස්කම් නිසා ඇතිවන බලපෑමක්. මුත්‍රා ව්‍යුහාව ආශ්‍රිත රෝග ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය ආශ්‍රිත රෝග (ගර්භාෂ අර්බුද, ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග ආදිය), පිළිකා තත්ත්ව, හදිසි අනතුරු නිසා වන මාංසපේශීන්ගේ ඇදීම වැනි පුළුල් වූ පරාසයක විහිදෙන හේතු කාරණා විය හැකියි.

එසේම වැරැදි ඉරියව් පවත්වා ගැනීම, දිගු වේලාවක් හිටගෙන සිටීම, අධික ශරීර බර, අඩි උස පාවහන් පැලඳීම ආදී විහරණ ද මේ තත්ත්ව ඇති වීමට හා වැඩි වීමට බලපායි. තවද පැති කුදය ආදී කොඳු ඇටපෙළෙහි ව්‍යුහාත්මක ඇදවීම් වෙනස්වීම් නිසාත් යමකුට කොන්දෙ වේදනා ඇති විය හැකියි.

 

මේ නිසා ප්‍රතිකාරයට පෙර රෝග හේතු නිවැරැදිව හඳුනා ගැනීමට නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂා කර ගැනීම මෙන්ම වෛද්‍ය පරීක්ෂා මඟින් ( X -ray, MRI , Us - scan ආදී) රෝග විනිශ්චය තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි.

එසේම වයසට යාමත් සමඟ නැතහොත් හදිසි අනතුරු නිසා කොඳු ඇටපෙළ ආශ්‍රිත ගෙවීම්, අන්තර් කශේරුක මඩල ආශ්‍රිත වෙනස්කම් ආදිය නිසා ඒ ආශ්‍රිත ස්නායු මත පීඩනයක් යෙදීම හෝ ස්නායු සමඟ ගැටීම නිසා ගුද්‍රාසි හෙවත් sciatica යන රෝග තත්ත්ව ඇතිවන අතර, එය සමාජයේ බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් මේ තත්ත්වය වැඩිහිටි කාන්තාවන් අතර බහුලය.

 

කොන්දේ වේදනාවේ මූලික ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස ආයුර්වේද ග්‍රන්ථවල දක්වා ඇත්තේ, කොන්ද ප්‍රදේශයේ ඇතිවන වේදනාව ක්‍රමයෙන් තට්ටම් හා කලවා ප්‍රදේශය හරහා පාද තෙක්ම ගමන් කරනු ලබන බවයි. එම වේදනාව අනින්නාක් බඳු වේදනාවක් ලෙසට විස්තර කරනු ලබන අතර, වේදනාව සමඟ හිරිය ද ඇතිවන බව දක්වයි. තවද වාත දෝෂය සමඟ තළු දෝෂය ද සම්බන්ධ වීම නිසා ඇඟ බර ගතිය, ආහාර අරුචිය, නිදිමත ගතිය, අලස බව ඇතිවීම ද රෝගීන්ගෙන් සුලභව දැකිය හැකි රෝග ලක්ෂණ වේ. මේ රෝග තත්ත්වය සායනිකව හඳුනා ගැනීම සඳහා Straight leg raising test, stretch test යනාදිය ද සිදු කරන අතර MRI පරීක්ෂණයක් මඟින් තවදුරටත් තහවුරු කර ගැනීම සිදු කරයි.

මෙලෙස නිවැරැදි රෝග විනිශ්චයකින් අනතුරුව ප්‍රතිකාරයට යොමු වීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙම ගුද්‍රසි (sciatica) කොඳු ඇටපෙළ ආශ්‍රිත ගෙවීම් නිසා වන රෝග මෙන්ම පැති කුදය ආදී රෝග තත්ත්ව සඳහා ද ශල්‍යකර්මයකින් තොරව සාර්ථක ප්‍රතිකාර කළ හැකියි. මේ සඳහා ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සතුව පවතී. එම ප්‍රතිකාර ක්‍රම රෝගයෙන් රෝගයට, මෙන්ම රෝගියාගෙන් රෝගියාට ද (ශරීර ප්‍රකෘතියට, දෝෂ අනුබන්ධතාව මත) වෙනස් වූ සුවිශේෂී චිකිත්සා ක්‍රමයක් වන අතර අස්ථි ගෙවීයාම පාලනය කර, ආම කොටස් හා කැල්සියම් තැන්පත් වීම් ඉවත් කරන සුවිශේෂී තෙල් වර්ග, තැවිලි හා පත්තු භාවිත කරමින් ශමන, තර්පණ ලෙස චිකිත්සා මූලධර්ම මත පදනම්ව දිගහැරෙන විශේෂ ප්‍රතිකාර විධියකි. එමඟින් ශරීරයේ සිදුව ඇති විකෘතිතාවන් අවම කරනු ලබන අතර, ස්නායු හා මාංසපේශී මෙන්ම අන්තර් කශේරුක මඩලට ද හොඳ පෝෂණයක් සැපයීම සිදු කරයි.

 

සරල ප්‍රතිකාර ක්‍රම

මූලික අදියරේදී බාහිර, ප්‍රතිකාර වශයෙන් සර්ෂපාදි, නිර්ගුන්ඩි, ශූලහර වැනි ඖෂධීය තෙල් වර්ගයක් ද නික කොළ, පාවට්ටා කොළ, බෙහෙත් එඬරු කොළ, සුදු ලූනු, සහිඳ ලුණු යොදා සකස් කරගත් තැවිල්ලක් ද ඊට අනුරූප පත්තු වර්ගයක් ද යොදාගත හැකියි. ක්‍රමානුකූලව එම ප්‍රතිකාර පද්ධතීන් වෙනස් කරමින්, රෝගියාගේ හා රෝගයේ ප්‍රමාණය මත කටී වස්ති, ගුද වස්ති, ජානු වස්ති ආදී පංචකර්ම ප්‍රතිකාර ද නිර්දේශ කරනු ලබයි. බාහිර ප්‍රතිකාර මෙන්ම වාතගමන, වාතානුලෝමන ආමපාචන අභ්‍යන්තර ඖෂධ ද අවශ්‍ය පරිදි ලබා දිය යුතු අතරම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙතින් ලබා ගන්නා නිවැරැදි ආහාර විහරණ රටාවකට අනුගත වීමෙන් රෝගී තත්ත්වයෙන් ඉතා පහසුවෙන් අත්මිදිමට හැකියාව ලැබේ.

 

අහිතකර ආහාර

කොස්, කොස් ඇට, දෙල්, මෑකරල්, වම්බටු, එළබටු, තිබ්බටු, අර්තාපල්, කිරි අල, ඉන්නල, බතල, මඤ්ඤොක්කා, අච්චාරු වර්ග

 

හිතකර ආහාර

හාතාවාරිය, ඉරමුසු, මොනරකුඩුම්බිය කොළ කැඳ, ගොටුකොළ, පතෝල, වැටකොළු, පළා වර්ග, නැවුම් කිරි, කුඩා මාළු වර්ග

 

අහිතකර විහරණ

දිගු වේලාවක් එකම ඉරියව්වේ සිටීම

පඩි නැගීම වළගොඩැලි සහිත පාරවල, ගැස්සෙන වාහනවල යෑම, පැතලි නොවූ එබෙන සුලු මෙට්ට මත සයනය දැක්විය හැකියි.

 

ආයුර්වේද වෛද්‍ය

නිවර්තනා අල්විස්

අශ්වත් ආයුර්වේද වෙද මැඳුර

කොට්ටාව