අධි රුධිර පීඩනයයි මානසික ආතතියයි ගහට පොත්ත වගේ

ජනවාරි 9, 2023

 

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව හමුවේ අධි රුධිර පීඩනය (පේෂර්) කියන්නේ අද වන විට බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක්. අධි රුධිර පීඩන රෝග තත්ත්වයත් සමඟ ඇතිවෙන මානසික අවපීඩනය නිසා රෝගයට අමතරව වෙනත් සංකූලතා ඇතිවීමට පුළුවන්. මානසික ආතතිය අවම කරගෙන අධි රුධිර පීඩනය රෝගය නිවැරදි පාලනය තුළ සුවපත් ජිවීතයක් ගත කරන්නේ කෙසේද යන්න ඔබට කියාදිමටයි අපේ අද සූදානම.ගහට පොත්තක් තරම් සමීප අධි රුධිර පීඩනයයි - මානසික ආතතියයි ගැන අපි අද බොහෝදේ කතාකරමු.

 

 

මානසික ආතතිය සහ අධි රුධිර පීඩනය කියන්නේ එකිනෙකට සම්බන්ධ රෝග තත්ත්වයන් දෙකක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

මානසික ආතතිය තියනකොට රුධිර පීඩනය වැඩිවෙන්න පුළුවන්. අධි රුධිර පීඩනය තියෙන කෙනෙක් නම් ඒ තත්ත්වය තව වැඩිවෙලා එන්න පුළුවන්. අධි රුධිර පීඩනය කියන්නේ බෝ නොවන රෝගයක්. බෝ නොවන රෝගවල කොහොමත් තියනවා මානසික බලපෑම්. අධි රුධිර පීඩනය තියන කෙනෙකුට හරි දියවැඩියාව තියන කෙනෙකුට හරි මානසික අපහසුවක් ඇතිවුවහොත් එය මානසික ආතතියක් බවට හැරවෙන්න පුළුවන්.

 

අධි රුධිර පීඩනය හා බැදුණු රෝග ලක්ෂණ හා බලපැම් නිසා ඊට අමතරව ඉතිං අධි රුධිර පීඩනය තියන කෙනෙක් ඖෂධ ලබා ගන්නවා නම් ඒ ඖෂධ වල අතුරු ප්‍රතිඵලයක් විදියට මානසික ආතතිය එන්න පුළුවන්.

ඊට අමතරව ලංකාව වැනි රටවල වගේ අධි රුධිර පීඩනය සඳහා ඖෂධ ලබා ගන්නවා නම්, වෛද්‍ය පරික්ෂණ, වෛද්‍යවරුන් සඳහා අධික වියදමක් දරන්න වෙනවා. ඒ තුළින් මානසික ආතතිය දෙගුණ තෙගුණ වෙලා පැති ගණනාවකින් එන්න පුළුවන්.

 

මානසික ආතතිය නිසා සංකූලතා ඇතිවෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට මොළයට ඇති වන බලපෑම් නිසා නිතර නිතර තරහා යන ගතිය එන්න පුළුවන්. එවැනි සංකූලතා ඇති වීම වළක්වා ගැනීම වටිනවා.

අපි ළඟට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එන පුද්ගලයන් බොහොමයක් ඉන්නවා. මොකද අද වනවිට මානසික ආතතිය කියන දෙය බොහොම වැඩියි. ආර්ථික, සමාජීය, මානසික ගැටලු වැඩිවීම තුළ ආතතිය වැඩියි. මානසික ආතතිය ඒමට තවත් හේතුවක් ලෙස ජිවිත අපේක්ෂාවන් වැඩි වීම හඳුන්වාදෙන්නට පුළුවන්.හැමෝම සුඛෝපභෝගී ජීවන රටාවකට යන්න අපේක්ෂාව නිසා පීඩනය වැඩි විය හැකියි.එමෙන්ම සුඛෝපභෝගි ජීවන අපේක්ෂාවන් බිඳවැටීම හේතුවෙනුත් පීඩනය වැඩිවෙන්න පුළුවන්.

 

මානසික පීඩනය අවම කරගැනීමට ගත හැකි පියවරක්

 

තමයි මානසික ආතතිය අවම කරන රටාවකට හුරුවීම. තමන්ට ළඟාවිය නොහැකි ඉලක්ක,  ලබාගත නොහැකි දේවල් ලබා ගැනීම සඳහා උත්සසය කරමින් ඒ පසුපස හඹායාම තුළ මානසික ආතතිය වැඩිවෙනවා. ඒ නිසා ඒ තත්ත්වය අවම කරන ජීවන රටාවකට යා යුතුයි.

ඊළඟට මානසික ඉහිල්විම (Relaxsan) අවශ්‍ය දේවල් කරන්න ඕනි. සුව නින්ද ,ජිවිතය තුළ හොඳ සැලැස්මක් තියෙන්න ඕනි , භාවනා , ව්‍යායාම වැනි දේවල් වලට හුරුවීම ,සතුටින් පිරිසක් සමඟ කාලය ගත කිරීම , තමන් ආස කරන විනෝදාංශයකට යොමු විම , පවුලේ සාමාජිකයන් සමඟ හිතේ තියන අදහස් බෙදා ගැනීම හිතේ මතුවන ගැටලු සාකච්ඡා කිරීම , මානසික ආතතියත් එක්ක එන ප්‍රශ්න හොඳ විශ්වාසවන්ත මිතුරෙකු සමඟ බෙදා ගැනීම කතා කරලා හිතේ තියන දේවල් ලිහිල් කර ගැනීම වැදගත් මානසික ආතතිය දරුණුම මට්ටමක තියනවා නම් වෛද්‍ය උපදේශනයකට යොමු විම වැදගත්.

 

ඒ වගේම මානසික පීඩන රටාව වැඩිකරන හැසිරීම් රටාවලින් ඈත්වීම වැදගත්. උදාහරණක් ලෙස මධ්‍යසාර , දුම්පානය වැනි දෑ වලින් ඉවත්වීම.

ගෙවල් වල ප්‍රශ්න තියනවා නම් ගැටුම් සහිතව ජීවත් වනවානම් ඒවායින් මිදිමට උත්සහ කිරීම, ඊළඟට ජංගම දුරකතන වල නිතර රැඳිම, පරිගණක හා TV  තිරය මත වැඩිවෙලා රැඳීම වැළකීම මෙවැනි මානසික ආතතිය වැඩිකරන හැසිරීම් රටාවලින් පුළුවන් තරම් ඇත්වීම අවශ්‍යයි.

අපේ රටේ අධි රුධිර පිඩනයට ඖෂධ ලබා දුන්නට මානසික ආතතිය පැත්ත ගැන ප්‍රතිකාර බොහෝ වේලාවට කරන්නැහැ. ඒක අඩුවක්. මෙවැනි අයට මානසික ගැටලු ගොඩක් බලපාන්න පුළුවන්. මනුෂ්‍ය ස්වභාවය අනුවත් මානසික විධි වෙනස් වෙන්න පුළුවන්. මානසික ආතතියට බලපාන විධි ගණනාවක් තියෙන්න පුළුවන්.

 

ඇතැමුන්ට රෝගයට බයවෙලා මානසික පීඩනය එන්න පුළුවන්. රුධිර පීඩනය ඇවිල්ලා මට ලොකු දෙයක් වෙයි ද නහරයක්වත් පුපුරයි ද ඔය වගේ සැක සංකා ඇති වෙන නිසාත්

මානසික ආතතිය එන්න පුළුවන්.

ඒ නිසා රෝගය පාලනයට අවශ්‍ය වෛද්‍ය උපදෙස්, ඖෂධ, ආහාර හා නිවැරැදි ජීවන රටාව තුළ රෝගය සුව කරගන්න බැරි වුණත් රෝගය හොඳින් පාලනය කරගෙන සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුළුවන් කියන හැඟීම ඇති කරදීම ඉතා වටිනවා.

ඒ වගේම රෝගය පාලනයට මිල අඩු ඖෂධ ලබා දෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන් ඕනි. අපේ ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබුණත් සමහර ඖෂධ පිටතින් මුදල් දිලා ලබා ගැනීමට සිදුවෙනවා. එවැනි අයට මිල අඩු උසස් ඖෂධ සපයන ක්‍රමවේදයක් අවශ්‍යයයි. වෛද්‍යවරුන්ට වගකීමක් තියනවා මිල වැඩි ඖෂධ වලට මිනිසුන් බිලිකරන්නැතුව ඒ ගුණයම තියන උසස් මට්ටමේ මිල අඩු ඖෂධ වලට මිනිසුන් හුරු කිරීම මොකද මුදල් කියන්නෙත් ලොකු ආතතියක්.

 

නිවැරදි ඖෂධ හා යහපත් ජීවන රටාව මගින් මෙවැනි බෝ නොවන රෝග නිවැරැදිව පාලනය කිරීම හරහා සුවපත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබේවී.



 

රජරට විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ  ප්‍රජා වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු