සම වනසන චර්ම රෝග

ජනවාරි 16, 2023

පංචකල්‍යාණියෙන් අග තැන්පත් රූ සොබාවකින් යුක්ත වීමේ භාග්‍යයට ඔබත් හිමිකම් කියන්නියක් ද? සමේ පෙනුම හෙවත් ඡවි කල්‍යාණිය යුවතියක්, කාන්තාවක් වන ඔබව ලස්සන කරනවා පමණක් නොව නීරෝගි තැනැත්තියක ද කරවයි.

 

ඡවි කල්‍යාණය හෙවත් පැහැපත් සම අඳුරු සමක්, රෝගී සමක් බවට පත් කරනුයේ චර්ම රෝගයි.

ඉතා ඈත අතීතයේ පටන් මිනිසාගේ බාහිර ස්වරූපය, පියකරුබව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබේ. අදටත් ඉදිරියටත් එය එසේම පවතීවි. පියකරුබව, පැහැපත්බව, නිරෝගිබව.... මේ ආදී දේ රඳා පවත්නේ සමේ ස්වභාවය මතයි. අකලට හිසකෙස් පැසීම, හිස කෙස් ගැලවී යෑම යනාදියත් සම ආශ්‍රිතවම සිදුවන්නකි. සම රැලි බවින් තොරවීම සමෙහි ස්වභාවික වර්ණය, සමෙහි තෙතමනය, පිරිසුදු බව හා රෝගවලින් යන සියලුම කාරණා මත බාහිර ස්වරූපය හෙවත් පියකරු බව රඳා පවතී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බාහිර හා අභ්‍යන්තර නීරෝගිබව, පියකරුබව රැක ගැනීමට මුළු ජීවිතයම පවත්වා ගැනීමට ඕජස් නැමැති ධාතුවේ මනා ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත් වේ.

පියකරු බව පවත්වාගෙන යෑමට ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද එකසේ බලපායි. මානසිකව රෝගී වීම පිළිබඳ අප එතරම් නොසිතුවත් එය පිළිබිඹු වන්නේ මුහුණෙනි; ඇස්වලිනි. එය නොදැනුවත්වම වෙන දෙයකි. එසේම සම අවලස්සන වී, සම වියළි වී, අඳුරු පැහැයක් ගනී. පැහැපත් බව නැතිව යයි.

මානසික සෞඛ්‍යයට හානි කරන ක්‍රෝධ, ශෝක, බය යන දෙයින් තොර වීමත් ආධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් වීම, හිතකර ආහාර ලබා ගැනීම, හිතකර ව්‍යායාමවල යෙදීම, යෝග ව්‍යායාම කිරීම, පිරිසුදු පරිසරවල ඇවිදීම, වැව්, ගංගා, දිය ඇලි ආශ්‍රිතව සිටීම වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පියකරු බව පවත්වා ගැනීමට විවිධ රූපලාවණ්‍ය ක්‍රම භාවිත කරයි. ආයුර්වේදයට අනුව මෙය සිදු කරනුයේ පියවර කිහිපයක් ඔස්සේ යි.

 

* කුෂ්ටග්න - එනම් සමේ ඇතිවන විවිධ චර්ම රෝග නැති කිරීම

 

* කණ්ඩුග්න සමේ ඇතිවන කැසීම නැති කිරීම

 

* වයඃස්ථාපන (Antiaging) එනම් වයස්ගත වීමත් සමඟ ඇතිවන වයසක පෙනුම නැති කිරීම

 

යන කාරණා යටතේ පුද්ගලයකුගේ බාහිර පෙනුම මනාව පවත්වාගෙන යයි.

ඉහත කාරණා ඉෂ්ට කිරීමට කහ, වැල් මදට, ඉරමුසු, සුදුහඳුන්, නෙල්ලි, කෝමාරිකා, රත් හඳුන් ආදී ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් යොදාගනී.

රෝගවලින් තොරව සම පිරිසුදුව, පියකරුව තබා ගැනීමට ආහාර මඟින් ද විශාල කර්තව්‍යයක් ඉටු වේ. ප්‍රත්‍ය ආහාර සංකල්පය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වාදෙන පංච කර්ම ප්‍රතිකාර, රසායන චිකිත්සාව අනුගමනය කිරීමෙන් ද පියකරු බව දැකගත හැකි වේ.

සම යනු අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි. පංචේන්ද්‍රිය සංවේදීතාවන් හඳුනා ගන්නා විශාලතම ඉන්ද්‍රියත් සම වේ. ආයුර්වේද රූපලාවණ්‍ය යනු අද සමාජයේ ප්‍රචලිතව පවතින සාමාන්‍ය රූපලාවණ්‍ය ක්‍රමය නොවන බව තබා ගත යුතුයි. එය පුද්ගලයකුගේ නිරෝගී පෙනුම, පියකරු බව, පෞරුෂත්වය හා කැපී පෙනෙන බව ලබා දිය හැකි සුවිශේෂ ප්‍රතිකාර පද්ධතියකි.

සමේ ස්වභාවය, රූප ස්වභාවය අවලස්සන කරන සම මූලික කොට හටගන්නා රෝග කුෂ්ඨ රෝගයි. චර්මය ආශ්‍රිතව හටගන්නා මේ කුෂ්ඨ රෝග සුවිශේෂ වූ වර්ගීකරණයක් යටතේ පෙන්වා දෙයි. ඒ අනුව මහා කුෂ්ඨ 7ක් හා ක්ෂුද්‍රරෝග 11ක් ලෙස කුෂ්ඨරෝග 18 යටතේ වර්ගීකරණය කොට තිබේ.

තරමක් දරුණු, සුව කිරීමට අපහසු හෝ අපහසුවෙන් සුව කළ හැකි කුෂ්ට රෝග මහා කුෂ්ඨ රෝග යටතට ගැනේ. ක්ෂුද්‍ර කුෂ්ඨ රෝග සුළු කුෂ්ඨ රෝග තත්ත්වයන් ය. සුව කළ හැකි ඒවාය. මේවා එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීම තරමක් අපහසුයි. ඒ අතරින් නිතර දක්නට ලැබෙන කුෂ්ඨ රෝග රැසක් තිබේ.

* පොතු කබර හෙවත් කිටිභ රෝගය (Csoriasis)

* සුදු කබර හෙවත් ශවිත්‍ර(Vitiligo)

* දදෘ මණ්ඩල කුෂ්ට (Ring Worm)

* විචාර්චිකා (Dry/ Wet Eczema)

* විද්‍රභී (Abcess)

 

* ගජ චර්ම - සම රැලි වී කළු වී අලියකුගේ සම මෙන් ගොරොසු වන තත්ත්වය

* සිධ්ම - අළුහම්

* දාරුණ -හිස්හොරි

* ව්‍යංග - සමෙහි කළු පැල්ලම් මතුවීම (Melasma)- මුහුණේ දෙපැත්තේ පැල්ලම් දෙකක් මතුවන තත්ත්වයයි.

* අකාල පලිත - අකලට හිසකෙස් පැසීම

 *අකාල වලිත -අකලට හිසකෙස් වැටීම

*යුවානි පීඩකා - කුරුලෑ

මෙම රෝග තත්ත්වයන් අද සමාජයේ වඩාත් ප්‍රචලිත කුෂ්ඨරෝග බවට හඳුන්වා දිය හැකියි. මෙම රෝග තත්ත්ව පිළිබඳ වෙන වෙනම ඉදිරි සතිවලදී හඳුනා ගනිමු.

උපදෙස් :

ආයුර්වේද වෛද්‍ය

චූලා විජේරත්න