ඇයි මේ තරම් උණ රෝග

ජනවාරි 23, 2023

 

වසංගතයක් ලෙස පැතිර යන උණ රෝගවලින් කවදත් අඩුවක් නැහැ. බාල, මහලු කොයිකවුරුත් මේ වසංගත තත්ත්වයන් හී ගොදුරක් බවට පත් වෙද්දී කුඩා දරුවන්, ගැබිනි මවුවරුන්, බෝ නොවන රෝගයන් සඳහා ලක් වූවන්ට කවදත් සීමා මායිම් පනවා ගෙනයි එදිනෙදා ජීවිතය ගත කරන්නට සිදුව ඇත්තේ.

 

ළමා රෝහලේ ඩෙංගු දරුවන්

අපේ නොසැලකිලිමත්කම නිසා ම ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයක් බවට ඩෙංගු උවදුර පත්ව අවසන්. මේ දිනවල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වයිරසය ශරීරගතවූ දරුවන් හතළිහත් ඉක්මවා යද්දී ඉන් සියයට 25 වඩා වැඩි ප්‍රමාණයක් සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේ.

අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමට උනන්දු නොවීමේ ඵල විපාකයක් ලෙස ඩෙංගු වයිරසය ශරීරගත වුවහොත් ඉන් තම ලෙයින් උපන් දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වන තත්ත්වයක් බවට පත් වූවොත් එය කිසිසේත්ම සමාව දිය නොහැකි කාරණයක් වේවි. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මේ නිසයි.

ඩෙංගු රෝගය සෑදී අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ඩෙංගු රක්තපාත සහ කම්පනයට පත් වූවන්ය. ඇතැම් මවුපියන් ඩෙංගු වැලඳුණු දරුවන් රෝහල් ගත කරන්නේ අසාධ්‍ය තත්ත්වයට පත් වූ පසුව නිසා එසේ වූ විට දරුවන්ගේ ජීවිත වඩාත් අවදානම් තත්ත්වයේ පවතී. ඩෙංගු වයිරසය සුව වුවත් පෙර පරිදි ශරීරය සකස් වීමට තරමක කාලයක් ගතවේ.

 

ඇඳ විවේකය නොගත්තොත් වැඩේ දරුණුයි

මේ නිසා උණ වැලඳී දින 3ක් සම්පූර්ණ වූ පසු dengue antigen පරීක්ෂාව සමඟින් FBC (full blood count) කළ යුතුයි. යම් හෙයකින් ඩෙංගු වයිරසය ශරීරගතව ඇතැයි තහවුරු වුවහොත් දරුවා විවේක සුවයෙන් තැබීම ඉතාම වැදගත්. පැය කිහිපයක් ගත වූ පසු තවත් FBC පරීක්ෂාවක් කිරීමෙන් platelet අඩු වීම කෙතරම් දැයි බලා ගත හැකියි. දරුවන්ගේ නම් 150,000 අඩුවීම අවදානමක් ගෙන දෙන්නකි. වැඩිහිටියන්ගේ නම් මේ ප්‍රමාණය 100,000 කි.

තද උණට අමතරව තද හිසේ කැක්කුම ආදිය ඇත්නම් ඒ අතර තවත් ඩෙංගු රෝග ලක්ෂණ ද ඇත්නම් දින තුනක් සම්පූර්ණ වනතුරු අනිවාර්යයෙන්ම ඇඳ විවේකය ගත යුතුමයි. ඩෙංගු වයිරසය ශරීරගත වී ඒ බව නොදැන වෙහෙස මහන්සි වීමෙන් එය කම්පන තත්ත්වයක්, රක්තපාත තත්ත්වයක් කරා යෑමට ඇති ඉඩකඩ වැඩියි. අවදානාත්මක පැය කිහිපය (Critical Hours) පැය 48,72 ලෙස තිබේවී. බීමට ගන්නා දියර ප්‍රමාණය, පිටවන මුත්‍රා ප්‍රමාණය ආදිය මැන බැලීම සිදු කරන්නේ මේ පැය කිහිපයේදීයි.

 

ස්කෑන් පරීක්ෂාව

භයානක තත්ත්වයේ සිටීද යන්න (Leaking) ස්කෑන් පරීක්ෂාවක් මඟින් පරීක්ෂාවක් දැකගත හැකි වේ. ඩෙංගු මාරාන්තික නිසා එය කිසිසේත්ම සුළුවෙන් තැකිය හැකි නොවේ.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගෙන් පිරුණු රෝහල් වාට්ටු

ඩෙංගුවලට අමතරව තවත් වයිරස් රෝගත් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති රෝගීන්ගෙනුත් රෝහල්වල වාට්ටු මේ දිනවල පිරී ඉතිරී ගිහින්. ළමා වාට්ටු මෙලෙස පිරෙද්දී ඒ දරුවන්ගේ මව පියා ඇතුළු නිවෙසේ සිටින වැඩිහිටියනුත් විවිධ උණ රෝග තත්ත්වයන්ට ගොදුරු වූ අයයි.

 

ඉන්ෆ්ලුවෙන්සාවලට සමාන තවත් ⁣වයිරස්

ඉන්ෆ්ලුවෙන්සාවලට බොහෝසෙයින් සමාන කම් ඇති ඇඩිනෝ වයිරස්, රයිනෝ වයිරස්,පැරා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග කිහිපයකුත් මේ දිනවල පවතී. ඉන්ෆ්ලුවෙන්සාවල දී කෙරෙනුයේ සෙම පරීක්ෂාවයි. කෝවිඩ්වල මෙන් උගුරේ සහ නාසයෙන් සෙම පරීක්ෂාකරන rapid antigen පරීක්ෂණයක් සිදු කෙරේ. මෙය තරමක් මිල අධික පරීක්ෂාවකි. රජයේ රෝහල්වල ඉන්ෆ්ලුවෙන්සා සඳහා කෙරෙන පරීක්ෂාවන් සිදු වනුයේ අවශ්‍ය මොහොතක දී පමණි. බොහෝවිට ඉන්ෆ්ලුවෙන්සා යැයි සැක කෙරෙනුයේ රෝග ලක්ෂණ අනුවයි.

සාමාන්‍ය උණ සහ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්ව බැලූ බැල්මට වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තරම්. උණ, කැස්ස, හෙම්බිරිස්සාව. මේ සෑම රෝග තත්ත්වයකදී ම දක්නට ලැබේ. ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් බෝවේ. මේ සියල්ලකදීම ඉහළ ස්වසන මාර්ගයේ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. උණ, කැස්ස, හෙම්බිරිස්සාවට අමතරව ඇතැමෙකුගේ ඇස්වලින් කබ ගැලීම, කඳුළු ගැලීම, ඇස් රතුවීම වැනි තත්ත්වයනුත් දැකගත හැකියි.

 

උපදෙස්: ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා