මවකගේ උණුසුම දරුවන්ට වේ සැනසුම

පෙබරවාරි 13, 2023

මවගේ පියාගේ උණුසුම ලබා දීම එම දරුවාගේ මානසික කායික වර්ධනයට අතිමහත් රුකුලක් වන බව සොයාගෙන ඇත.

අලුත උපන් දරුවන් කොහොමත් දඟයන්ය. ඔවුන් සැමවිටම ගර්භාෂයේ සිට එළියට ආ විට ගර්භාෂයේ සිටි කාලයේ උණුසුම සහ එහි තුළ වූ පාරිසරික තත්ත්වය ඉල්ලා අරගලයක යෙදෙයි.

මේ නිසා අලුත උපන් දරුවන් මුල් තුන් මාසයක් වැනි කාලයක් තුළ තමන්ට හුරුපුරුදු පරිසරය නොලැබෙන සෑම විටකම හඬමින් සහ විවිධ අයුරින් අරගල දියත් කරයි.

 

"අතේ තියාගෙන ඉන්නකම් හොඳට ඉන්නවා"

"ඇඳෙන් තිබ්බම කෑගහනවා"

මේ කිරිකැටි දරුවන් ඉන්න ගෙවල්වලින් ඇසෙන ඉතා බහුල මැසිවිල්ලකි.

මෙලෙස දරුවන් හඬන විට බාලගිරි දෝෂ ඇතැයි විවිධ පිළියම් කරයි.

'බාලගිරි අද නොවේ හෙට' යනුවෙන් දොරේ ලියා සටහන් තබයි.

එසේම දරුවන් වඩාගෙන නළවන විට දරුවන් අතට හුරු වෙනවා යන්න වැඩිහිටියන් අතර එල්බ ගත් මතයකි.

 

දරුවන් දහයක් දොළහක් සිටින ගොවිතැනින් ජීවිකාව සරි කරගත් එකල ගැමියන්ට දරුවකු අතෙහි තබා ගෙන සිටිය නොහැකියි.

අනෙක් දරුවන්ගේ වැඩ කටයුතුවලටත් ගොවිතැන සහ ඉවුම් පිහුම් කටයුතුවලටත් බාධාවක්වන නිසා එදා සමාජයේ මෙවැනි මතයන් ඇති විය.

නමුත් අද වන විට මනෝවිද්‍යාවට අනුව දරුවකු වඩා ගෙන සිටීම,

මවගේ පියාගේ උණුසුම ලබා දීම එම දරුවාගේ මානසික කායික වර්ධනයට අතිමහත් රුකුලක් වන බව සොයාගෙන ඇත. අලුත උපන් දරුවා අතේම තියාගෙන හිඳිමින් උණුහුමට තුරුලු කරන් සිටීම නිවෙසේ සිටින ඇතැම් වැඩිහිටියන්ට රුස්සන්නේ නැත. එහෙත් වෛද්‍යවරු පවසන්නේ අලුත උපන් දරුවන් හැකිතරම් උණුහුමේ තබා ගන්නා ලෙසයි. මෙහිදි විශේෂයෛන්ම කුලුඳුලේ මවු පදවිය ලැබූ අම්මා පුදුම තරම් අපහසුතාවකට පත්වෙයි.එක් පැත්තකින් මාස නමයක් පුරාවට කුස තබාන සිටි කිරිකැටි සිඟිත්තා තුරුලු කරන් කාලය ගත කිරීමට ඇති කැමැත්තයි.අනෙක් පැත්තෙන් වැඩිහිටියන්ගේ සිත් රිදවීමට ඇති අකැමැත්තයි. වෛද්‍යවරු මොනතරම් කරුණු කාරණා කියා දුන්නත් ඒවා ඒ ලෙසටම පිළිගන්නට නිවෙසේ සිටින වැඩිහිටියන් සූදානම් නැත.

 

හොඳින් මතක තබා ගන්න, දරුවකු කිසිසේත්ම අතට හුරු වන්නේ නැත.වසරක් ආසන්න වන විට ඕනෑම දරුවකු පොළොවේ පයගසා ඇවිදීමට කැමැති වෙයි.එසේම දරුවාගේ පෙරළීම,වාඩිවීම, දණගෑම වැනි චාලක ක්‍රියාකාරකම් සිදු කිරීමට ඔහුට හෝ ඇයට හැකි වන විට වැඩිහිටියකු ළඟ සිට ඒවා හුරු කරවීම මඟින් දරුවා තෘප්තිමත් වේ. එම ක්‍රියාකාරකම්වල දරුවා නියැළෙන විට ඔහුව ධනාත්මකව උත්තේජනය කළ යුතුයි. අනෙක් කාරණාව නම් අලුත උපන් දරුවකු ඉතා හොඳින් ලෝකයට අනුහුරු වෙන තෙක් අනතුරු සිදුවීමෙන් වළක්වා ගැනීම දෙමාපියන්ගේ යුතුකමකි.

 

දරුවා ප්‍රවේශමෙන් රැක බලා ගැනීම යනු ඔහුට හෝ ඇයට අයත් පරිසරය තුළ ඔවුන්ගේ පැවැත්ම හැසිරීම තහවුරු කිරීම සහ හුරු කිරීම විනා පරිසරයෙන් ඈත් කර තැබීම නොවේ.

එනම් දරුවන් ඇස් මානයේ තබා රැකගත යුතුය.

මේ නිසා දරුවාගේ යම් යම් කාලපරිච්ඡේදවල දරුවාගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් තේරුම් ගෙන එම කාලයට අවශ්‍ය දෑ සම්පූර්ණ කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි.

 

ඉතාම කුඩා කාලයේ දරුවා ඉල්ලන්නේ කාලයක් අත්විඳි එක් වනම අහිමිවූ ගර්භාෂයේ වූ පරිසරයයි.

ඒ අවස්ථාවේදී දරුවාගේ එම අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුයි.එනම් දරුවාට අවශ්‍ය උණුසුම රැකවරණය ලබාදෙමින් කෙමෙන් නව ලෝකයට දරුවා හුරු කිරීම කළ යුතුයි.

 

එසේම දරුවා බිමට බැස දණගෑමට වාඩි වීමට සහ ඇවිදීමට උත්සාහ කරන කාලයේ අනවශ්‍ය ලෙස දරුවා ප්‍රවේසම් කිරීම සහ වඩා ගෙන සිටීම නොකරමින් දරුවාට පරිසරයේ රසවත්බව අත්විඳීමට හැකි ලෙස පරිසරය සකස් කර දිය යුතුයි.

මේ කාලයේදී දරුවන් බිමට බැස්සවීමට ඇතැම් වැඩිහිටියන් තරම් කැමැත්තක් නොදක්වයි.පුංචිම කාලයේ දරුවා අතට හුරු කරනොගන්නා ලෙසට උපදෙස් දෙන වැඩිහිටියන් ම පසුව දරුවාට බිමට බහින්න ඉඩ නොදී සිටියි.විශේෂයෙන්ම මව කාර්යාලයට ගිය පසු අත්තම්මා,සීයා බාරයේ සිටින දරුවන් බොහෝදෙනකුට මේ ඉරණම අත්වෙයි.

මෙම ජීවන වෙනස්වීම්වලට දරුවා දිරිගැන්වීම ඉතාමත් අවශ්‍යයි. කුඩාම කාලයේ සිට දරුවන් හා දෙමාපියන්ගේ බැඳීම ජීවිතයේ පසුකාලීනව වැඩි විශ්වාසයක් සහ ස්වාධීනත්වයක් මෙන්ම වැඩි ඔරොත්තු දීමේ හැකියාවක් සහ වඩා හොඳ දිගු කාලීන මානසික හා ශාරීරික සෞඛ්‍යයක් ඇති කිරීමට සමත්ය.

 

ඉතා කුඩා දරුවන්ට මවගේ, පියාගේ තුරුලු කර ගැනීම, වඩා ගැනීම, නිදා ගැනීමේදී ළඟ තබා ගැනීම උෂ්ණත්ව යාමනය කර ගැනීමට, හෘදය සහ ශ්වසන වේගය, චිත්තවේගීය හා ශාරීරික වර්ධනය නියාමනය කිරීමට උපකාරී වේ. මෙය නොමේරූ ළදරුවන්ට ("කැන්ගරු රැකවරණය") හෝ අසනීප වූ දරුවන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත්ය.

 

කැන්ගරු ළදරු සුරැකුම සිදු කරන්නේ කෙසේද?

 

දරුවාට ඉතා පිරිසුදු වියළි ඇඳුමක් අන්දන්න.

(ඉදිරිපස විවෘත කළ හැකි උණුසුම් කළ කමිසයක්, නැපියක්, හිස් ආවරණයක් සහ මේස් පලඳවන්න.)

 

මව හෝ උණුසුම ලබා දෙන්නා ද ඉදිරියෙන් විවෘත කළ හැකි ඇඳුමක් ඇඳ සිටිය යුතුයි.

 

ඇඳ සිටින හැට්ටයේ/කමිසයේ ඉදිරිපස බොත්තම් නිරාවරණයකර, දරුවාගේ මුහුණ පසෙකට හරවා සිටින සේ පපුවේ සමට ගැටෙන ලෙස පියයුරු අතර දරුවා තබා ගන්න.

ඉන්පසු ඇඳුමේ බොත්තම් හැකි පමණ පියවා උණුසුම් කර අමතර පොරවනයකින් ද දරුවා ආවරණය කරන්න.

 

දිවා රාත්‍රී දෙකෙහිම හැකිතාක් සමට සම ගැටෙන සේ තබා මෙලෙස දරුවාට උණුසුම ලබා දෙන්න.

 

කැන්ගරු ක්‍රමයේ වාසි දරුවාට මව්කිරි උරාබීමට පහසුය.

 

බර වැඩි වීමට ඉවහල් වේ.

 

ආසාදනවලින් ආරක්ෂා වේ.

 

ශ්වසන අපහසුතා අඩු කරයි.

 

දරුවත් මවත් අතර බැඳීම වර්ධනය කරයි.

 

මානසික තෘප්තියක් ඇති කරයි.

 

ආත්ම විශ්වාසය, කිරි ලබාදීම පිළිබඳ හැඟීම සමඟ කිරි නිපදවීම වැඩි වේ.

 

මෙලෙස කැන්ගරු සාත්තුව කුඩා දරුවන්ට ලබාදෙන විට වැඩිහිටි දරුවන්ට ද එලෙසින්ම ආදරය රැකවරණය මවුපියන් ගේ උණුසුම ලබාදීම තුළින් එවැනිම ප්‍රතිලාභ ලබාගත හැක.

 

දරුවකු අසනීප වූ විට හා හැසිරීමේ ගැටලු ඇතිවූ විටත් සහනදායී හා මෘදු ස්පර්ශය ස්නායු සංවර්ධනය සඳහා බොහෝ ප්‍රතිලාබ ලබාදෙන අතර එය ඕනෑම දරුවකුට මනස සංවර්ධනයට බොහෝ උපකාරී වෙයි.

 

දරුවා සෙමෙන් රිද්මයානුකූලව නැළවීම, නැළවිලි ගී ගැයීම ද දරුවාගේ සංවර්ධනයට අත්‍යවශ්‍ය වෙයි.

 

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ