Baby urine collection bag එකේ පහසුව

ජුනි 9, 2025

බබාලට උණ ගැනෙන මොහොතක යූරින් චෙක් කර ගන්න තියෙන අමාරුම කාර්යයට විසඳුමක් ගෙනවා.


වෛද්‍යවරයා වෙත ගිය ගමන් කියන්නේ "අම්මා අපි ඉක්මනින් බබාගෙ යූරින් එකක් චෙක් කරලා බලමු. පරක්කු කරන්න එපා අදම කරගන්න" ඕකනෙ කතාව. ඔන්න දැන් තමයි ඉතින් යුද්දෙ පටන් ගන්නෙ. එක විනාඩියක් එක තැනක එක විදිහට තියාගන්න බැරි, චූ බරයි කියලා කියන්න තේරෙන් නැති චූටි බබෙක්ගෙන් යූරින් ටිකක් එකතු කරගන්න එක. මේ අත්දැකීම තියෙන අම්මලා නම් හොඳටම දන්නවා ඇති මේ වැඩේ තියෙන අමාරුව.

ඒත් දැන් නම් ඒ වැඩේ ටිකක් පහසු කරගන්න නිෂ්පාදනයක් වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඒ තමයි pediatric urine collection bag එක. දැන් ගොඩාක් ෆාමසිවලින් මේ බෑග් එක ගන්න පුළුවන් අම්මලා. මේ බෑග් එකක් රුපියල් සීයකි. (රු. 100/=) බබාගෙන් යූරින් එකතු කරගන්න විඳින දුකත් එක්ක රුපියල් සීයක් කියන්නේ බොහොම පොඩි මුදලක් කියලයි මට නම් හිතුණේ. මේක පාවිච්චි කරන එක හරිම පහසුයි අම්මලා. මේකෙ කහපාට කොටස තියෙන තැන අවර්ණ ප්ලාස්ටර් එකක් තියෙනවා. ඒක ගලවලා දුවෙක් නම් බබාගෙ මුත්‍රා මාර්ගය තියෙන කොටස වැහෙන විදිහට අලවගන්න ඕනි. පුතෙක් නම් බබාගෙ මුත්‍රා කරන කොටස මේ බෑග් එක ඇතුළට යන විදිහට දාලා අලවාගන්න ඕනි.

පුතාලගෙ මේ වැඩේ කර ගන්න හරිම ලේසී, දුවලාගෙනම් ටිකක් අමාරුයි. ඒ නිසා බෑග් 3ක් වත් ගෙදර අරන් යන්න, එකක් වැරදුණොත් අනෙක් එක පාවිච්චි කරන්න.
විශේෂයෙන් - දුවලාට වෙනම බෑග් එකක් හා පුතාලට වෙනම බෑග් එකක් තියෙනවා, ෆාමසි එකෙන් ගන්නකොට බබා, දුවද පුතාද කියලා ගන්න.
ඊට පස්සේ බබා මුත්‍රා කරලා බෑග් එකට මුත්‍රා එකතු වෙනකල් බබාට ඒක ගලවගන්න නොදී අවධානය වෙනස් කරලා පරිස්සම් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. හැබැයි අම්මලා මේ සම්බන්ධයෙන් සැලකිය යුතුම කරුණු ටිකක් තියෙනවා.

1. මුලින්ම මේ බෑග් එක දාන්න කලින් ඔයාගෙ අත් දෙක සබන් යොදා ඉතා හොඳින් සෝදගන්න ඕනි.

2. ඊට පස්සේ බබාගෙ මුත්‍රා කරන සම්පූර්ණ ප්‍රදේශයම සබන් ගාලා ඉතා හොඳින් පිරිසුදු කරගන්න ඕනි. උදෙන්ම යන මුත්‍රා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

3. ඊට පස්සෙ බබාගෙ ඒ ප්‍රදේශය පිහදාන්න යන්නෙ නැතුව කිසිම රෙද්දක, අතක, ඇඳක වගේ කිසිම දේක ගෑවෙන්නෙ නැති විදිහට අරන් ගිහින් ඉක්මනින් මේ බෑග් එක අලවාගන්න ඕනි.

4. බෑග් එක අලවන කෙනා අනිවාර්යෙන්ම සබන් දාලා අත් සෝදන් ඉන්න ඕනි.

5. ග්ලවුස් දෙකක් දාලා මේ දේ කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. එතකොට කිසිම විෂබීජයක් පිටින් එකතු වෙන්නෙ නැති වෙන්න යූරින් ටික එකතු කරගන්න පුළුවන් අම්මලා.

6. අනිත් වැදගත්ම දේ තමයි බෑග් එක අලවලා බබා මුත්‍රා කරපු පළමු වතාවෙම ඉක්මනින් මේ බෑග් එක ගලවලා යූරින් ටික යූරින් කලෙක්ටර් බොට්ල් එකට දාගන්න ඕනි. බෑග් එක පිටින්ම දාන්න පුළුවන් බෝතලයක් නම් තවත් හොඳයි.

7. බබා මුත්‍රා පිටකළේ ටිකයි කියලා තව පාරක් දානකන් ඉඳලා ගන්නවා කියලා තියන් ඉන්න එහෙම එපා අම්මලා. ගොඩාක් ටෙස්ට්වලට මුත්‍රා 15ml වගේ තිබුණත් හොඳටම ඇති. ඒ හින්දා බෑග් එකට මුත්‍රා එකතු වුණ පළමු වතාවෙම බෑග් එක ගලවලා ගන්න ඕන.