ආර්තවහරණය සමඟින් මිහිරි මැදිවියක්

ජූලි 14, 2025

සෑම කාන්තාවක්ම තම ජීවිතයේ යම් කාලයකදී ආර්තවහරණ තත්ත්වයට මුහුණ දෙයි. එම අවස්ථාවට එක් එක් කාන්තාවන් මුහුණ දෙන්නේ විවිධ අන්දමිනි. ඇතැමෙකුට එය සාමාන්‍ය තත්ත්වයක් වෙද්දී තවත් අයකුට එය අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන කාල පරිච්ඡේදයක් වීමට පුළුවනි.

වයස අවුරුදු 50දී පමණ සිදුවන මෙයින් ඇයගේ ප්‍රජනක දිවියේ අවසන සනිටුහන් කෙරේ. වර්තමානය වන විට කාන්තාවක් සාමාන්‍යයෙන් අවුරුදු 80 ක පමණ ආයු කාලයකට උරුමකම් කියයි. ආර්තව හරණයෙන් පසු ඇතිවන ගැටලුත් සමඟ ඇයට මෙම ආයු කාලය භුක්ති විඳීමට සිදුවේ.

 

ආර්තවහරණයත් සමඟින් ඇගේ ඩිම්බකෝෂවල ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම එහෙම් පිටින්ම නවතී. ඊස්ට්‍රජන් ඌනතාව සමඟින් ඇය කායික සහ මානසික ගැටලු බොහොමයකට මුහුණ දෙයි. මෙම ගැටලු සහ ඒවා ඇතිවීමට ඇති අවදානම, ඒ සඳහා ගත හැකි නිවැරැදි ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කාන්තා ඔබ දැනුම්වත්ව සිටීමෙන් ගැටලු බොහොමයක් මඟ හරවා ගත හැකි වේ.

ආර්තවහරණය යනු කුමක්ද?

ආර්තවහරණය යනු කාන්තාවන්ට ඇතිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. එමඟින් ප්‍රජනක අවධියේ අවසානයේ මෙන්ම පසු ප්‍රජනක අවදියේ ආරම්භය සනිටුහන් කරයි.

මෙය බොහෝ කාන්තාවන්ට වයස අවුරුදු පනහේදී පමණ සිදුවන නමුත් සමහර විට ඊට වසර කිහිපයකට පෙර හෝ පසුව සිදුවීමට පුළුවනි.

ආර්තවහරණය සිදුවූ බව දැනගන්නේ කෙසේද?

අඛණ්ඩව මාස 12ක් පමණ පුරාවට මාසික ඔසප් වීම සිදු නොවුණහොත් ඔබට ආර්තවහරණය සිදුවී ඇතැයි සිතිය හැකියි.

එහෙත් වෛද්‍යවරයෙක් විසින් ගර්භිණී බව, මවුකිරි දීම, දිගු කාලීන පවුල් සංවිධාන ක්‍රම භාවිතය, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්ත්වයන් වැනි අනෙකුත් හේතුකාරක නොවන බව සනාථ කළ යුතුය.

ආර්තවහරණයේදී ඔබට කුමක් සිදු වේද?

වයස අවුරුදු 40ට ආසන්නවත්ම කාන්තාව සතු ඩිම්බකෝෂයේ ඩිම්බ අඩුවීමට පටන් ගැනේ. ඒ සමඟ ඊස්ට්‍රජන් නමැති ප්‍රධාන ස්ත්‍රී හෝමෝනයද ඩිම්බකෝෂවලින් නිපදවීම අඩුවීම නිසා ඇයගේ ශරීරය තුළ විවිධ වෙනස් වීම් ඇතිවෙයි. ඔසප් චක්‍රයේ සිදුවන වෙනස් වීම් මේ ලක්ෂණ අතර බොහෝ විට මුලින්ම සිදු වෙයි. රුධිර වහනය, සමහරවිට ඉතා අධික විය හැකි අතර සමහර විට ඉතා අල්ප වශයෙන් වශයෙන්ද සිදු වේ. වාර ගණන වැඩිවීමට හෝ මාස කිහිපයකට වරක් සිදුවීමටද ඉඩ ඇති අතර අවසානයේ ඔසප් චක්‍රය සිදුවීම නවතී.

ඊස්ට්‍රජන් හෝමෝනය කාන්තාවකගේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය හා බැඳෙන බැවින් මෙහි අඩුවීම පහත දැක්වෙන පද්ධතිවල විවිධ ගැටලු ඇති කරයි.

*ප්‍රජනක පද්ධතිය

*මූත්‍රාවාහිනී පද්ධතිය

*හෘදය හා රුධිර සංසරණ පද්ධතිය

*අස්ථි හා මාංසපේශි

*පියයුරු

*සම

*මොළය

ආර්තවහරණයේදී සිදුවන ගැටලු මොනවාද?

* අධික උණුසුම් බව හා දහඩිය දැමීම

මුහුණෙන් පටන්ගෙන ගෙල හා පපු ප්‍රදේශය දක්වා පැතිර යන හදිසි උණුසුම් වීම හා අධික දහඩිය දැමීම ආර්තවහරණයට ලක් වූ සියයට 50ක පමණ කාන්තාවන් අත්දකින ගැටලුවකි. මෙය මිනිත්තු කිහිපයක් පවතින අතර නැවත නැවත ඇති වෙයි. සීතල දිනවල හා රාත්‍රී කාලයේදී මෙම තත්ත්වය ඇතිවීම නිසා නින්දට බාධා ඇතිවීම තෙහෙට්ටු ගතිය හා නොසන්සුන් බව ඇතිවෙයි. මෙය සාමාන්‍යයෙන් ආර්තවහරණයට පෙර ඇරැඹි ආර්තවහරණයෙන් වසර කිහිපයක් යනතුරු පවතී. හිසරදයද බොහෝවිට ඇතිවන අතර මෙම සෑම තත්ත්වයක් නිසාම පවුල තුළ විවිධ ගැටලු ඇතිවීමට පුළුවනි.

ඔස්ටියෝපොරෝසීස්

ආර්තවහරණය නිසා අස්ථිවල ඝනත්වය හා එහි ශක්තිමත් බව අඩුවේ. නිහඬව සිදුවන මෙම ක්‍රියාවලිය හේතුවෙන් ශරීරයේ විවිධ ස්ථානවල අස්ථි බිඳීම් වැනි තත්ත්වයන්ද ඇතිකරයි. කොඳු ඇට පෙළෙහි උකුළු ඇටයේ පාදයේ හා අතේ දිගු අස්ථිවල ඇට බිඳීම් නිසා විවිධ ගැටලු ඇති වේ.

කොඳු ඇට පෙළ- කශේරුකාව තැළීම, හැඩය වෙනස් වීම නිසා කොන්දේ වේදනාව උස අඩුවීම හා කුදු බව කොඳු ඇට පෙළෙහි හැඩය වෙනස් වීම සිදුවිය හැකියි.

උකුළු ඇටය - ඇවිදීමට නොහැකි වීම

අත් පාවල දිගු අස්ථිවල - එක්තැන්වීම සිදුවිය හැකි අතර අවසානයේ මරණය පවා ගෙන දිය හැකියි.

සමේ හා හිසකෙස් ආශ්‍රිත ගැටලු

සමෙහි මේද ස්ථරය හා කොලොජන් තන්තු අඩුවීම නිසා පිරුණු බව නැතිව ගොස් සම ඉතා තුනීවන අතර සමේ වියළි බව හා සම රැලි ගැසීම සිදු වේ.

එසේම කෙස් ඉතා වියළි ස්වභාවයක් ගන්නා අතර ලෙහෙසියෙන් කැඩීම් ද කෙස් හැලීමද සිදු වේ.

ටෙස්ටෙස්ටරෝන් නම් පුරුෂ හෝමෝනය නිපදවීම මෙම අවදියේදී සිදුවන බැවින් මුහුණේ හා උඩුකයේ රෝම ඇතිවීම දැකිය හැකියි.

සිරුරේ හැඩයේ සිදුවන වෙනස්කම්

ශරීරයේ මේදය තැන්පත් වන ස්ථානවල වෙනස් වීමක් මේ අවධියේ සිදු වේ. පියයුරු හා පාදයේ කලවා ප්‍රදේශයේ ඇති මේදය බඳ ප්‍රදේශයේ තැන්පත් වීම නිසා පියයුරු කුඩා වීම, එල්ලා වැටීම දැක ගත හැකියි. මාංස පේශී ප්‍රමාණයෙන් කුඩා වීම හා දුර්වල වීමද සිදු වේ. ශරීරයේ බර වැඩිවීම හා බඳෙහි මේදය තැන්පත් වීම නිසා කාන්තාව සතු නාරිදේහ හැඩය නැති වන අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග හා සමහර පිළිකා ඇති කිරීමට හේතු වෙයි.

හෘදයාබාධ හා ආඝාතය

ඊස්ට්‍රජන් හෝමෝනය පැවතීම නිසා තරුණ කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමට ඇති හැකියාව අඩුය. මෙම හෝමෝනය අඩුවීමෙන් රුධිරගත ලිපිඩ වෙනස් වන අතර ඒවා රුධිරවාහිනී බිත්ති මත තැන්පත් වී රුධිරවාහිනී අවහිර වීම හා නිපදවන රුධිර කැටි සිරවීමෙන් හදිසි හෘදයාබාධ හෝ අංශභාග තත්ත්වයන්ට පත්විය හැකියි.

ලිංගික අවයවවල සිදුවන වෙනස්වීම්

මේ අවදියේ යෝනි මාර්ගයේ වියළි ස්වභාවය එහි හැකිලීම හා ප්‍රත්‍යස්ථ බව අඩුවීම නිසා ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ දී අපහසුතා ඇති වේ. තවද සංසර්ගයේදී වේදනාව හා රුධිර වහනය පවා ඇති විය හැකියි. මේ තත්ත්වය ලිංගික ආශාවන් අඩු කිරීම නිසා යුග දිවියේ ගැටලු ඇති කිරීමටද හේතු වෙයි. ගර්භාෂය හා යෝනි මාර්ගය පහත් වීමද මේ අවධියේදී ඇතිවීමට පුළුවනි. බොහෝ විට ඔවුන් යෝනි මාර්ගය හරහා යමක් පහත් වෙන බව පවසයි. විශේෂයෙන් දරු ප්‍රසූතියේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් මලබද්ධය, දිගුකාලීනව පවතින කැස්ස තරබාරු කාන්තාවන්ට මෙම තත්ත්වයන් ඇතිවේ.

මූත්‍රා පිට කිරීමේදී ඇතිවන ගැටලු

මූත්‍රා පිටකිරීම පාලනයට අපහසු බව, නිතර නිතර මූත්‍රා පිට කිරීම, ආර්තවහරණයෙන් පසු දැකිය හැකි තවත් රෝගී තත්ත්වයකි. රාත්‍රියේදී නිතර මූත්‍රා පහකිරීමට සිදුවන නිසා නින්දට බාධා ඇති වේ. කැස්ස, කිවිසීම, දිවීමේදී හා සිනාසීමේදී නොදැනුවත්වම මූත්‍රා පිටවීම නිසා ඔවුන් විශාල අපහසුතාවකට පත්වන අතර ඒ නිසාම නිවෙසෙන් බැහැරට යෑමට මැලිකමක් දක්වයි.

මොළයේ සිදුවන වෙනස්කම්

ආර්තවහරණයේදී මොළයේ සිදුවන හෝමෝනවල වෙනස්කම් නිසා අසහනකාරී තත්ත්වයන්, කාන්සාව, විශාදය හා අමතක වීම වැනි ගැටලු ඇති විය හැකියි. මතකය අඩුවීම තම එදිනෙදා නිවෙසේ හා රාජකාරී කටයුතුවලටද බාධා ඇති කරයි. මෙම තත්ත්වය උග්‍ර වූ විට පවු‍ලේ මෙන්ම විශාල සාමාජීය ගැටලුවක් බවටද පත්වේ.

අනෙකුත් ගැටලු

මේ අවධියේ සමහර කාන්තාවන්ට විඩාබර ගතිය, ශාරීරික දුර්වලතා, සමේ වේදනා ඇතිවන බව නිතර පවසයි. ඇස්වල වියළි බව, ඇස් කැසීම ඇති කරන අතර මුඛයේ වියළි බව නිසා ආහාර විකීමේ හා ගිලීමේ ගැටලු ඇති කරයි.

 

මෙහි ඉතිරි කොටස ලබන සතියේ

උපදෙස් :
ශ්‍රී ලංකා ආර්තවහරණ සංගමයේ සභාපති
නාරි හා ප්‍රසව විශේෂඥ
වෛද්‍ය හර්ෂ අතපත්තු
විශේෂ ස්තුතිය :
ශ්‍රී ලංකා ආර්තවහරණ සංගමයට