වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කොන්දේසි ඇත්තේම නැති අම්මගෙයි, තාත්තගෙයි ආදරණීය බැඳීම්
ආදරණීය බැඳීම් දිහා අපි හැමෝම බලන්නේ එකම විදිහට නෙවෙයි. අපි ආදරය අත් විඳින්නේ කොයි කාලේ ඉඳන් ද? ආදරණීය බැඳීම් නැතිව අපට ජීවත්වන්න පුළුවන් ද? අපි ආදරය කියන ලස්සන වචන හතර ඉගෙන ගත්තේ අම්මාගෙන්. ඉතාමත් කලාතුරකින් ඇතැමකුට මෙය අමිහිරි වෙන්න පුළුවන්.
එහෙත් අපිට ඇත්තටම ආදරය කරන්නේ අම්මයි, තාත්තයි. අම්මයි, තාත්තයි අපට ආදරය කරන්නේ පෙරළා යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ ආදරයේ තියෙන්නේ පරිත්‍යාගය විතරමයි. එය කොන්දේසි විරහිතයි.
එහෙම නම් අපි අම්මගේ ආදරයෙන් ආදරණීය බැඳීම් ගැන කතාකරමු. දරුවෙක් වෙනුවෙන් අම්මා කරන කැපකිරීම කවදාවත් කාටවත් මිල කරන්න පුළුවන්කමක් නැහැ. හරිම පරිත්‍යාගශීලීයි. අම්මා තමන්ගේ ලස්සන දරුවන් වෙනුවෙන් දන්දෙනවා. අම්මගේ තරුණකම අපි වෙනුවෙන් දන්දෙනවා. අම්මා අම්මව අමතක කරලා අලුත් ජීවියා වෙනුවෙන් ලකලැහැස්ති වෙනවා. ලෝකයේ පණ තියෙන කෙනකුට විඳින්න පුළුවන් අතිශය දරුණු වේදනාව අම්මා විඳින්නේ දරුවා මේ ලෝකෙට බිහිකරන්න හදන වෙලාවේ.
ගර්භයේ තවත් ජීවියෙක් තියාගෙන සති 42 ක් ඉන්න එකත් පහසු දෙයක් නොවෙයි. ඒ නිසා පණ ගැහෙන දෙයක් තමන්ගේ සිරුරේ තියාගෙන අතිශය වෙහෙසක් දරාගෙන තමන්ගේ ජීවිතේ එදිනෙදා කටයුතු කරගන්නවා. අම්මා කරන කැපකිරීම්වලට මිලක් නියම කරන්න බැරි ඒ නිසා.
ඔක්කොටම වඩා ආදරය පරිත්‍යාගයක් බව පසක් කරදෙන්නේ අපේ අම්මා. අපේ බත් එකේ සුදුපාට මොළොක් බිත්තරයක් තියෙන කොට අම්මගේ බත් එකේ සුදුපාට බිත්තරයක් නැති දවස් ඕනේ තරම් තිබුණා. අපිට ලස්සන සිනිඳු ඇඳුම් අන්දපු අම්මා ඇන්දේ ගොරෝසු ඇඳුම්. අම්මගේ සිරියාවන්තකම නිසා අපිට අම්මගේ ඇඳුමේ වෙනසක් පෙනුණේ නැහැ.
අම්මා හැමවෙලේම අපේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියා. සත්ත්ව ලෝකයේත් මේ දේ වෙනසක් නැහැ. මාතෘභාවය වැනි ප්‍රබල බැඳීමක් මේ ලෝකේ කොහේවත් නැහැ.
තරුණී කියවන පාඨක ඔබ අතරේත් වැඩියෙන්ම තියෙන්නේ ආදරණීය බැඳීම් ඇති ගැහැනු සිත් බව අපි දන්නවා.
අම්මගේ ආදරයේ වටිනාකම වගේම අම්මාගේ ආදරණීය බැඳීමේ ශක්තිමත්කම දැනෙන්නේ අපි අසරණ වුණු වෙලාවට. ඒ වෙලාවට අම්මගේ ආදරයේ සුවඳ පවා දැනෙනවා. අපි වයසට ගියත්, රස්සාවක් නැති වුණත්, ලෙඩක් වුණත් අම්මගේ ආදරයේ වෙනසක් නැහැ. අපි හිනාවෙනකොට අම්මත් අපිත් එක්ක හිනාවෙනවා. අපි අඬද්දි කවදාවත් අම්මා හිනාවෙන්නේ නැහැ. අපි අඬද්දි අම්මා හිනාවෙන එකම එක අවස්ථාව අපි ඉපදිලා පළමු ඇඬුම අඬන වෙලාව. ප්‍රසූති වේදනාව අමතක කරලා අම්මා හිනාවෙනවා. ඊටපස්සේ කවදාවත් අපි අඬද්දි අම්මා හිනාවෙන්නේ නැහැ. මුළු ලෝකෙම අපිව දාලා ගියත් අම්මා අපිව දාලායන්නේ නැහැ. මෙය සුළුතරයක් අතින් මඟ හැරෙන්න පුළුවන්. අම්මගේ ආදරයේ බැඳීම ඒ තරම්ම ශක්තිමත්. දෙවියන් වහන්සේට හැම ගෙදරකටම වඩින්න බැහැ. එහෙත් දෙවියන් වහන්සේ හැම ගෙදරකටම අම්මා කෙනෙක් එවලා තියෙනවා. බෞද්ධයන් අම්මා දෙවැනි කොට සලකන්නේ බුදුන් වහන්සේට පමණයි.
අම්මගේ ආදරණීය බැඳීම නැත්නම් වහලයක් තියෙන ගොඩනැගිල්ලක් මිස ගෙයක් වන්නේ නැහැ. ගේ ඇතුළේ අම්මගේ සොඳුරු තරවටුවලත් මිහිරක් තිබෙනවා.
තාත්තගේ බැඳීම් කොහොමද ආදරණීය වන්නේ. අම්මගේ ආදරය අපට පේනවා. ප්රදර්ශනාත්මකයි. ඒත් අපට තාත්තගේ ආදරය පෙන්නේ අඩුවෙන්. ඒක අම්මගේ ආදරය තරම්ම ප්‍රදර්ශනාත්මක නැහැ. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ තාත්තලා අපට ආදරේ නැහැ කියලා. තාත්තා ආදරය පෙන්නන්නේ අඩුවෙන්.
2020/01/08 තරුණි බලන්න