පාඩමක් අවසන් වූ පසු දරුවා සමඟ කෙටි වේලාවක් සුහදව කතා කරන්න

අධ්‍යාපනය ලබන දරුවන් සිටින මව්පියන්ගේ කාර්යභාරය
ජූලි 7, 2021

 

ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබාදීම පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම මව්පියන් ද දැනගත යුතුම කරුණු ගැන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සඳමාලි අවිරුප්පල මහත්මිය රැගෙන එන උපදෙස් මාලාවේ දෙවැන්න

 

 

කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමයට එහෙමත් නැත්නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියට යොමු වී දැන් වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවෙලා. පසුගිය වසරේ වාගේම මේ වර්ෂයේ මුල් කාර්තුවේ ඉතාමත් කෙටි කාලයක් පාසල් විවෘත කරන්නට හැකියාව ලැබුණත් වැඩි කාල වකවානුවක් තිබුණේ අපේ රටේ පාසල් සියල්ලම පාහේ වසා තබලා.

 

ඉතින් විවිධාකාරයේ නොගැළපීම්, දහසකුත් එකක් දුෂ්කරතා, අපහසුකම් මැද්දේ වුවද අදටත් මේ රට තුළ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්නේ මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය යටතේයි. ඇත්තටම ගුරුවරයාට සේම ශිෂ්‍යයාටත් මෙය අලුත් අත්දැකීමක්. ඒ වගේම අභියෝගයක්.

 

එබැවින් මේ ක්‍රමවේදය නියමාකාරයෙන් මෙන්ම වඩාත් ඵලදායි අන්දමින් ක්‍රියාත්මව පවත්වාගෙන යන්නට නම් ගුරුවරුන්ට, සිසුන්ට වාගේම මව්පියන් සතුව ද මහත් කාර්යභාරයක් පවතිනවා.

 

ඉතින් අද දවසේ අපි ඒ පිළිබඳ කතාබහට ලක් කරමු.

 

විදුහල්පතිතුමියනි, බොහෝ දෙනකු අදහස් කරගෙන සිටින්නේ මේ ඔන්ලයින් අධ්‍යාපනය එහෙමත් නැත්නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය පාසල තුළින් එහෙමත් නැතිනම් ගුරුවරු වෙතින් ඉටුවිය යුතු කාර්යභාරයක් හැටියටයි.

 

''ඇත්තටම ඔව් අද දවසේ බොහෝ මව්පියන්ගේ අදහස වී තිබෙන්නේ මෙය ගුරුවරයා සහ දරුවා අතර පමණක් සිදු කෙරෙන කාර්යභාරයක් කියලා. නමුත් එය එසේ නොවිය යුතුයි. මම පසුගිය සතියේත් සඳහන් කළා ඔබට මතක ඇති මව සහ පියාගේ මූලික කාර්යභාරය විය යුත්තේ දරුවාට මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම පමණක් නොවෙයි කියලා.

මොකද බොහොමයක් වැඩිහිටියන් තමන්ගේ දරුවන්ට මේ අධ්‍යාපන කටයුත්තේ නියැළීමට අවශ්‍ය ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් එහෙමත් නැත්නම් ලැප්ටොප් හෝ පරිගණකයක් ආදී වශයෙන් අවශ්‍ය තාක්ෂණික මෙවලමක් ලබා දෙනවා. ඒ වාගේම කුමනාකාරයෙන් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයකුත් ලබාදීමට කටයුතු කරනවා. අනතුරුව අපි අපේ දරුවාට ඔන්ලයින් පහසුකම් ලබා දුන්නායැයි සිතා සෑහීමකට පත් වෙනවා.

නමුත් මෙහිදී මව්පියන් වැඩි වැදගත්කමක් ලබාදිය යුත්තේ තමන්ගෙ දරුවට ඉගෙනීමට සුදුසු මානසික පරිසරයක් සකස් කරදීමටයි. ඒ හරහා තමයි දරුවාට හොඳ ඉගෙනුම් වාතාවරණයක් බිහි වන්නේ.

ඒ පිළිබඳ විස්තරාත්මකව කතා කළහොත් .....

''මෙහෙමයි මෙතෙක් කාලයක් දරුවන් පුරුදු වී සිටියේ තමන්ගේ හුරුපුරුදු පන්ති කාමරයට වෙලා ගුරුවරයා ඇසුරේ අධ්‍යාපනය ලබාගැනීමටයි. එහිදී නියමිත කාලසටහනකට අනුවයි කටයුතු කරගෙන ගියේ. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර හොඳ සම්බන්ධතාවක් එහිදී ගොඩනැඟුණා. මේ අධ්‍යාපන කටයුත්ත දරුවාට නීරස නොවන ආකාරයට විවිධ කාල පරිච්ඡේදයන් අනුව වෙන්කර ඉගැන්වීමත් සිදු වුණා.

ඒ විතරක් නෙමෙයි විෂයය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් හරහා සිසු දරුවන් සහ ගුරුවරුන් අතර අපූරු සම්බන්ධතාවයක් ගොඩනැඟුණා. මේ නිසා දරුවාට නිදහස් මනසින් අධ්‍යාපනය හැදෑරිය හැකි වටපිටාවක් පාසල තුළ නිර්මාණය වී තිබුණා.

නමුත් අද දවස වනවිට දරුවන් නිවෙස් තුළටම කොටුවෙලා. ඒ නිසා ඔවුන් මානසික පීඩාවට ද පත් වෙලා. ඒ විතරක් නෙමෙයි නිදහසේ අධ්‍යාපන කටයුතුවල යෙදීමට තරම් නිහඬ පරිසරයක් ඇතැම් නිවෙස් තුළ නැහැ. උදෑසන අවදිව පාසලට ගොස් අධ්‍යාපන කටයුතුවල නියැළුණු දරුවා ඇතැම්විට මේ වනවිට දහවල් වන තෙක් නිදා ගන්නවා වන්නට ද පුළුවනි. ඔහුගේ ක්‍රමානුකූල ජීවන රටාව බිඳ වැටිලා. මෙන්න මේ කාරණා නිසයි දරුවාට ඉගෙනීමට සුදුසු මානසික වාතාවරණයක් ඔබේ නිවෙස තුළ ඇති කළ යුතු වන්නේ.''

 

මෙහිදී මව්පියන් කටයුතු කළ ආකාරය ගැන උදාහරණ සහිතව සඳහන් කළහොත් ?

 

මාර්ගගත පාඩම්වලට අදාල කාල සටහන මතක තබාගෙන දරුවා නිසි වේලාවට ඊට සහභාගී කරවීම.

 

මෙහිදී කාල සටහන සකසා එය දරුවාට පහසුවෙන් පෙනෙන තැනක අලවා තබාගැනීම සුදුසුයි. මේ ක්‍රමය ඔන්ලයින් අධ්‍යාපනය ලබන කුඩා දරුවාට වාගේම වැඩිහිටි දරුවන්ටත් ඉතා වැදගත්. එවිට කාලවේලාව ඇතිව පාඩමට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා වගේම නියමිත විෂයයට පෙර සූදානමක් තබාගැනීමටත් මේ කාල සටහන ඉවහල් වේවි.

 

නිවෙසේ සාමකාමී ඉගෙනුම් පරිසරයක් පවත්වා ගැනීම.

විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු කාරණය වන්නේ නිවෙස තුළ හැකිතාක් නිහඬ පරිසරයක් නිර්මාණය කරදීමයි. එනම් රූපවාහිනිය, ගුවන් විදුලිය ක්‍රියා විරහිත කිරීම හෝ ඒවායේ ශබ්දය හැකිතරම් දුරට අඩුකිරීම වගේම ඔබේ නිවෙසේ කුඩා දරුවන් සිටී නම් කෑකෝ ගසමින් ඔවුන්ගෙන් වැඩිමහල් දරුවන්ට සිදුවන අපහසුතාවන් වළකාගන්නටත් කටයුතු කළ යුතුය. මේ අවස්ථාවේ දී බාහිර පරිසරයේ ශබ්දයන්ගෙන් තොර නිදහස් ස්ථානයක් දරුවා වෙනුවෙන් වෙන්කර දීමට හැකි නම් එය ඉතාමත් වැදගත්.

පාඩමට සහභාගීවන අතරතුර දරුවාට අවශ්‍යවන දේ ලබා දීම.

 

එහිදී දරුවාගේ පෑන්, පැන්සල්, පොත්පත් ආදිය වාගේම විවිධ විෂයයන්ට අදාළව නිවෙසේ දී සපයාගත හැකි ඉගෙනුම් උපකරණ ළංකර දෙන්න. ඊට අමතරව අවශ්‍ය විටෙක පානය සඳහා ජල බඳුනක් ළඟ තැබීම, දරුවා ප්‍රිය කරන කෙටි ආහාරයක් ලබාදීම වැනි දේ ද ඔබට කළ හැකියි.

 

පාඩම අවසන් වූ පසු දරුවා සමඟ සුහදව කතාබහකර පසු විපරම් කිරීම.

එහිදී සම්පූර්ණ කරගත නොහැකි වූ පාඩම් සටහන් ආදිය වෙත්නම් ඒ පිළිබඳ සොයා බලන්න. අපැහැදිලි හෝ නොතේරෙන කරුණු කාරණා පිළිබඳ දරුවා සමඟ සාකච්ඡා කරන්න. ඒවාගේම අවශ්‍ය වූ විටෙක ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන් සමඟ දරුවාගේ ඉගෙනීම් කටයුතු ගැන කතා කරන්න.

 

ඉගෙනීම් ක්‍රියාවලියේ නොයෙදෙන අවස්ථාවල දරුවාට සිය නිදහස වින්දනයට අවස්ථාව දීම.

මෙහිදී සෙල්ලම් කිරීම, විවිධ ක්‍රීඩා, ව්‍යායාම් ආදියේ නිරතවීම, නිවෙස තුළ දරුවා කැමැති විනෝදාංශයක නියැළීමට ඉඩ ලබාදීම වැනි දෑ කළ හැකිය. විශේෂයෙන්ම ඔන්ලයින් පන්තියක් අවසානයේ දරුවාට නිදහසේ කාලය ගතකිරීමට ඉඩ දිය යුතුය. එසේ නොමැතිව දිගින් දිගටම අධ්‍යාපන කටයුතුවල නියැළීමට බල කිරීම හරහා දරුවාට ඉගෙනීම එපාවන ස්වභාවයකට පත්විය හැකියි.

 

නිවෙස ප්‍රියජනක ස්ථානයක්ව පවත්වා ගැනීම.

මේ දිනවල ඒකාකාරී රාමුවකට කොටු වී කලදවස ගත කරනා දරුවාට නිවෙස ඉතාමත් ප්‍රියජනක ස්ථානයක් බවට පත් කළ යුතුය. මව්පියන්ගේ ආදරය, සෙනෙහස, සොයා බැලීම වාගේම ආරක්ෂාව, රැකවරණය වැනි කාරණා නිසි ලෙස ඉටුවන ස්ථානයක් බවට නිවෙස පත්කර ගත යුතුය. එවිට දරුවා නිවහල් මනසින්, සතුටින් අධ්‍යාපන කටයුතුවල නියැ‍ෙළනු නොඅනුමානයි.

මාර්ගගත අධ්‍යාපනය කෙබඳු විය යුතු දැයි තවදුරටත් අපි ලබන සතියේ සාකච්ඡා කරමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.