පුංචි දරුවන් සිටින අම්මලා කියවිය යුතුම ලිපියක්

සුරතල් සතා නිසා පණ හා සමාන දරුවන්ගේ ජීවිත අවදානමට නොදමමු
ජූලි 7, 2021

 

අම්මලා තාත්තලා සිප් සතරෙන් දූදරුවන් පරතෙරට යවන්න දිවා රෑ නො බලා වෙහෙසෙනවා. පොත් පිටු අතරින් එහා ලොවක් ඇති බව සිතන්නටවත් ඉඩ දෙන්නේ නැහැ. යන්ත්‍ර මෙන් හැදෙන වැඩෙන දරුවන් අවසානයේදී ආගමක් දහමක් නැති සොබා දහමට පිටුපාන විසකුරු ආත්මාර්ථකාමී පිරිසක් බවට පත්වෙනවා. කොරෝනා හිස එසවීමත් සමඟ මිනිසුන්ට අමතක වී ගිය පාඩම් එකින් එක මතක් වන්නට ගත්තා. සත්ව කරුණාව ඒ අතරින් ප්‍රධානයි. කුඩා දරුවන් සිටින පවුල්වලට පුංචි සුනඛ සුරතලුන්, බළල් පැටවුන් අලුත් සාමාජිකයන් ලෙස එක් වන්නට ගත්තා. පුංචි සිත් වගේම වැඩිහිටියන්ගේ සිත් ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් පිරී ගියා. දියුණු රටවල නම් සරසවියට තෝරා ගැනීමේදී පිළිතුරු පත්‍රයේ ලකුණුවලට වගේම මෙවැනි මානුෂික ගුණාංගවලට ද ලකුණු ලබා දෙනවා. සත්ව කරුණාව ඉතා වටිනා ගුණාංගයක්. එහෙත් මිනිසුන් සමඟ වගේම සතුන් සමඟ පවත්වන මිතුදම්වලදීත් අප මතක තබා ගතයුතු කරුණු තිබෙනවා. ඒ අපේම සෞඛ්‍ය වෙනුවෙන්. සතුන්ට දැක්වූ ආදරය නිසාම අසරණ සතුන්ට පිහිටවූ අනාථ බලු පැටවකු තම නිවෙසට ගෙනවිත් සෙවණ දුන් සුන්දර සුරතල් දියණියක් මෙලොවින් සමු ගත්තේ අවාසනාවන්ත ලෙස ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන්. සමාජ වෙබ් අඩවි කැළඹූ මේ ශෝචනීය සිදුවීම දරුවන් ඇති අම්මලාට තාත්තලාට පාඩම් ගණනාවක් කියා දුන්නා. හදාවඩා ගැනීමට සුරතලකු නිවෙසට ගත යුත්තේ ජලභීතිකා එන්නත ලබා දිය හැකි වයසේ පසුවෙද්දීය. මියගිය දියණිය නිවෙසට රැගෙන ආ බලුපැටියාට සති හයක්වත් ගතවී නො තිබූ නිසා ජලභීතිකා එන්නත විද නැහැ.

දියණියව බලු පැටියා සපා කා නැතත් සිරුරට ජලභීතිකා වෛරසය ඇතුළු වෙලා. රෝගී සතකු සපා නො කෑව ද ජලභීතිකා රෝගය වැලඳිය හැකි බව බොහෝදෙනකු දන්නේ නැහැ. ආසාදිත සතකුගේ ඇස්වල, නාසයේ, මුවේ ශ්ලේෂ්මල මඟින් තුවාලවූ සමෙන් මොළයේ ස්නායු පටක හරහා රෝගය බෝවන්න පුළුවන්. නිරෝගී පුද්ගලයකුගේ සමේ සීරීමක්, තුවාලයක් හරහා රෝගී සතාගේ විසබීජ ඇතුළු වන්න පුළුවන්. සතාගේ රුධිරය, මලමුත්‍ර මාර්ගයෙන් නම් රෝගය බෝ වන බවක් හෙළිවී නැහැ.

කෝවිඩ් 19 වසංගතය පවතින කාලයේ පවත්වා ගෙන යන සබන් ගා දෑත් සේදීමේ පුරුද්ද සතුන් ඇල්ලූ පසුවත් නිරන්තරයෙන්ම කළ යුත්තක්. සතකු සපා කෑ විට විනාඩි විස්සක්වත් සබන් ගා ගලායන ජලයෙන් සපා කෑ තැන සෝදා පිරිසුදු කළ යුතුයි. ජලභීතිකා වෛරසය වියළුණු විට ආසාදනය වීමේ හැකියාව නැතිවී යනවා. හිරු එළියෙන් ද විසබීජය විනාශ වෙනවා.

සැක සහිත සතකු සපා කෑ විට කඩිනමින් ප්‍රතිකාර කළ යුතුයි. කඩිනමින් ප්‍රතිකාර නො කළොත් මාරාන්තික ජලභීතිකා රෝගයට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළයි. සමහරුන්ට දින ‍කිහිපයකින් රෝග ලකුණු ඇති වෙනවා. තවත් අයට වසරකට වැඩි කාලයක් ගතවූ පසුවත් රෝග ලකුණු මතුවන අවස්ථාත් තිබෙනවා.

සතා සපා කෑ තැන ඉදිකටු අනින්නාක් වැනි හැඟීමක්, උණ, හිසරදය, කෑම අරුචිය, ඔක්කාරය, වෙහෙස වැනි ලකුණු මුලින්ම ඇති වෙනවා. පසුව නොරිස්සුම් සහගත බව, මානසික ව්‍යාකූලත්වය, අධික අංග චලන, වලිප්පුව, සිරුරේ සමහර කොටස් සෙලවීමට නො හැකිවීම, දීප්තිමත් ආලෝකයට, හඬට, ස්පර්ශයට සංවේදී වීම බඳු ලකුණු වර්ධනය වෙනවා.

රෝගියකුගේ මුවින් ඛේඨය අධික ලෙස නිපදවෙනවා. උගුරේ මාංසපේශි ගැස්මත්, අධික ඛේඨයත් නිසා ගිලින්න අසීරු වෙනවා. මුවින් පෙණ පිටවෙනවා. ගිලීමට ඇති අසීරුතාව නිසා ජලයට බියක් දක්වනවා වාගේ පෙනෙනවා.

කොරෝනාවලටත් වඩා ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා ජලභීතිකා වෛරසයෙන් ආරක්ෂා වීමට නම් නිවෙසේ හදාවඩා ගැනීමට ගන්නා සතාට ජලභීතිකා එන්නත කලට වේලාවට ලබා දිය යුතුයි. නන්නාදුනන සතුන් අතගෑමට නො යායුතුය. එසේ කළත් වහාම සබන් ගා දෑත් සේදිය යුතුයි. සතාගේ ඛේඨය නිරෝගී කෙන‍කුගේ ඇස්, නාසය, මුඛය, සීරීම් හරහා ඇතුළු විය හැකි නිසා සතකු අල්ලන සෑම අවස්ථාවකම සබන් ගා අත් සේදීම ඉතා වැදගත්.

වැඩිදෙනෙක් නිවෙසේ ඇති කරන සුනඛයාට ජලභීතිකා එන්නත ලබා දුන්නත් බළල් සුරතලාට එන්නත ලබා දෙන්නේ නැහැ. එනමුත් බළලාගෙන් ද ජලභීතිකා වැලඳිය හැකි නිසා බල්ලන්සේම එන්නත් කළ යුතුයි. බල්ලන්ටත් වඩා බළලුන් නිදැල්ලේ සැරිසරන නිසා අවදානම වැඩියි. අපේ රටේ දෙවැනියට මාරාන්තික ජලභීතිකාව ගෙන එන සුරතලා බළලායි.

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.