බය නැතිව විභාගයට මුහුණ දෙන්නේ කොහොමද?

ඔයාගෙම අත්තටුවලට පණ දෙන්න...
පෙබරවාරි 7, 2022

 

ආදරණීය දුවේ...

ඔයා ඉගෙනගෙන ඉවර වෙන්නෙ කවදාද කියලා ඔයා දන්නවද? ඔයා කියයි විභාගෙ ඉවර වුණාම, නැත්නම් විශ්ව විද්‍යාලයේ ගිහින් ඉවර වුණාම කියලා. හැබැයි ඇත්තටම එහෙම වෙනවද? ඉගෙන ගන්නවා කියන්නෙ පොතපත දැනුම විතරක් නෙමෙයි. එහෙනම් අපි මියයන මොහොත දක්වාම ඉගෙන ගන්නවා. ඒ ජීවිතයට එකතු වන අත්දැකීම් තුළින්.

ජීවිත ගමන ඔස්සේ පිය නගන අපට ඇතැම් අත්දැකීම් හා අවස්ථාවන් වලදී සමත් වෙන්නත් පුළුවන්. අසමත් වෙන්නත් පුළුවන්. සෑම අවස්ථාවක්ම ඔයා හොඳ අත්දැකීමක් ලෙස දකින්න. වර්තමානයේ තරුණිය අධ්‍යාපනය කියන භූමිකාව තුළ ඉහළ පිළිගැනීමකට ලක්වෙනවා. ඇය ලබන ඉගෙනීම ,අධ්‍යාපනය පාරම්පරික වීම තරුණි ය මෙහිදී විශේෂ වීමට හේතුව. තරුණිය තම දුවාදරුවන්ට, මුණුපුරු මිණිපිරියන්ට ආදී ලෙස දැනුම බෙදනවා. මෙහෙම හිතන්න. මව් පදවිය ලබන අවස්ථාවක ඒ අවස්ථාවට මුහුණ දීම ඊට අදාල පිළිවෙත් කටයුතු ඇයට කියලා දෙන්නෙ ඇගේ මව හෝ මිත්තනිය. මෙලෙස ඇයගේ දැනුම මේ මොහොතෙ නතර වෙලා ඉවර වන දෙයක් නොවේ.

ඔයාට ඔයාගෙම අත්තටු වලින් ඉගිල්ලෙන්න නම් සමාජ සම්මතයේ තියෙන කඩදාසි සහතිකපත් ලබා ගන්නම වෙනවා. මේ ඒ කාලය උදාවෙලා. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක අභියස. සාර්ථකව මුහුණ දෙමු විභාග අභියෝගයට.

කොහොමද ඒ සඳහා අපි සූදානම් වෙන්නෙ.

කෙටි කාලයයි ඔයාට තියෙන්නෙ. මේ මොහොත ආයෝජනය කරන්න ඔබ වෙනුවෙන්. මේ මොහොතේ ගන්න වෙහෙස ඔබේ අනාගත ආයෝජනයක් කියලා හිතන්න. ඔයා ගැනම සුබවාදී සිතුවිලි ඇති කර ගන්න. ඔයාගෙ මේසය, වටපිටාව, නි‍ෙවස හා මනස සන්සුන් කර ගන්න. කලබලකාරී වාතාවරණය තුළ ඔබට පාඩම් කිරීමට නොහැකියි. හොඳ මානසිකත්වය හොඳ මනසක් මතකයක් ලබාදේ. ඒත් හැම දරුවකුටම නිහඬ, නිස්කලංක පරිසරියක් නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ මේකයි.

වෙනදා නැඟිටින වේලාවට කලින් උදෑසන පැය දෙක තුනකට පෙර නැඟිටින්න. එතකොට ඔයාට නෑ කියපු කාලය ඔයාට ලැබෙනවා. උදෑසන පරිසරය නිෂ්ශබ්දයි. ඝෝෂාකාරී ශබ්ද නෑ. වාතය කිලුටු නෑ. මනස කිලුටු නෑ. එහෙනම් මනසට හොඳින් පාඩම් කරන දේවල් ගලා යනවා. කොළපාට පරිසරයක් / හරිත පරිසරයක් හෝ එළිමහනක් පේන ජනේලයක් ළඟ ඉඳගෙන පාඩම් කරන්න උත්සහ ගන්න. මේ කාලය තුළ ලොකු ලොකු විෂය පථයන්ට යන්න එපා. කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර කිරීම් වැනි පුනරීක්ෂණ කටයුතු වල පමණක් යෙදීම ඵලදායි. පෙර වර්ෂවල ප්‍රශ්න පත්‍ර ගෙන නියමිත කාලයට ලිවීමට පුරුදු වෙන්න.

කලබල වෙලා පැය ගණන් පාඩම් කරන්න එපා. පාඩම් කරන විනාඩි 45කට වරක්ම ඉන්න තැනින් නැඟිටලා ගිහින් විවේකයක් ගන්න. විනාඩි 45කට වඩා ඔබට එක දිගට මතකය රඳවා ගන්න බැහැ. කෙටි විවේකය තුළ නැවුම්ව වතුර ටිකක් බොන්න. මිදුලට ගිහින් පරිසරය සමඟ නිදහසේ හුස්ම ගන්න. මනස සන්සුන් කරන ගීතයකට සවන් දෙන්න. මේ වගේ විවේකය තුළ ඔබව නැවුම් කර ගන්න. මනසට විවේකය දෙන්න. ඒ ලැබෙන ජවය ඉදිරි පාඩම් කටයුතු පහසු කරයි.

විශේෂයෙන් අම්මලා මේ වෙලාවෙ තමන්ගෙ දුවාදරුවාට සමබල ආහාර වේලක් දෙන්න උත්සහ කරන්න. කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රෝටීන වැඩි ආහාර, අධික සීනි, ලුණු , මේදය අඩංගු ආහාර දෙන්නට යන්න එපා. එම ආහාර වලින් නිදිමත ගතිය වැඩි කරනවා. තේ කහට වීදුරුවකට දෙහි බිංදුවක් දාලා දෙන්න. බර ආහාර නැතුව සුළු කෙටි අමතර ආහාර වේල් ලබා දෙන්න.

ආදරණීය දුවේ, ඔයා තාම රූපවාහිනියෙ ඇළිලා ඉන්නව නම් හිතන්න ඒ වැයවන්නේ ඔයාගේ වටිනාම කාලය බව කරන්නෙ. විනාඩි විස්සෙන් නාන්න පුළුවන් කමක් තියෙන ඔයා පැයක් නානවනම් වෙනස් වෙන්න ඉක්මනට. වෙනදා මල් පැළ වලට ඔයා වතුර දැම්ම කියල මේ දවස්වලත් ඔයාම දාන්න ඕන නෑ. පුළුවන් තරම් ගෙදර අය එක්ක ඔයාගෙ වැඩ බෙදා ගන්න. තාමත් ඔයා දුරකථනයත් එක්ක කාලය කනවනම් එයත් නවත්තන්න. මේ විදියට ඔයාගෙ සාමාන්‍ය දින චර්යාවේ තිබුණ වැරැදි පුරුදු මේ දවස්වල අත හරින්න. කාලය එකතු කර ගන්න .

විභාගයට යන්න කලින්

ඔයා කැමැති නම් අදහන ආගමක් අදහලා ඔයාගෙ මනස සන්සුන් කර ගන්න දේවල් කරන්න. හැබැයි බොරු යන්ත්‍ර මන්ත්‍ර පස්සෙ නම් යන්න එපා.

විභාගය තිබෙන ස්ථානය, වෙලාව, විභාග අංකය හොඳින් බලන්න. යනඑන මාර්ගය දැනගෙන ඉන්න. විභාගයට ගියාම එතැන ළමයි කියන කරන දේවල් බලන්නවත් යන්න එපා. ඔයා කලබල වෙන්න එපා. පුළුවන් තරම් කලින් යන්න. වෙලාව ඉතුරු නම් විතරක් කෙටි සටහන් ටිකක් බලා ගන්න. කිසිම වෙලාවක විභාග වංචා කරන්නට එපා. ඔබ ඔබේ දැනුමින් ඔබව විනිශ්චය කර ගන්න අවස්ථාවක් කර ගන්න.

ඇතැම් අවස්ථාවල ගොඩක් දක්ෂ දරුවන් විභාග බියෙන් යම් යම් අපහසුතාවන්ට භාජනය වනවා. (බඩේ අමාරුව, අත වෙව්ලීම, ක්ලාන්තය) ඒ ඔයා ඔයාවම පරිස්සම් කර ගන්න ඔයාගෙ ශරීරය ඇතුළින් වන ක්‍රියාවක්. එය ඔබේ සිතුවිලි සමඟ ගොඩ නැගෙන්නක්.

එය බොහෝවිට ඔබ වටා සිටිනා අයගේ අපේක්ෂාවන් ඉටු කිරීමට නොහැකි වේ යැයි ඇතිවන බියයි. එම නිසා ඔබ ඔබම වන්න. විභාගය අසමත් වීම කියන්නෙ ඔයාගෙ මුළු ජීවිතයම අසමත් වීම නොවේ. තව මාර්ග ඕනෑ තරම් තියෙනවා. ඔබ කැමැති මාර්ගය ඔබ තෝර ගන්න. කැමැත්ත, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය ඒ මාවත ඔස්සේ ජය කරා ගමන් කිරීමට ශක්තිය දෙයි.

ඔයාගේ අත්තටුවලට ඔයාටම පණ දෙන්න පුළුවන් එක අවස්ථාවක. තරුණියක් විදියට ඔයාගෙම අත්තටුවලින් ඉගිල්ලෙන්න. මේ ජීවිත ගමනට ශක්තිය ධෛර්ය අරන් මුහුණ දෙන්න. ඔයාට දිනන්න පුළුවන්.

 

 

 

මෙවර උසස් පෙළ විභාගයට

පෙනී සිටින ඔබට

මනෝ උපදේශිකා

අමා දිසානායකගෙන් උපදෙස්