නිශ්චිත සැලස්මකින් බැහැර වූ අපේ දරුවන්ගේ අධ්‍යාපනය කොයිබට ද?

ජූලි 25, 2022

 

දරුවාගේ ඉගෙනීමට ඔබේ සහය අනිවාර්යයෙන් ලබා දෙන්න

 

පාසල් යනවාට වඩා නිවෙසේ සිටින දින ගණන වැඩියි

 

මේ උදාවන්නේ අගෝස්තු මාසයයි. නියමිත කාල වකවානුවේ පාසල් පැවැත්වූයේ නම් මේ ආරම්භ වන්නේ දෙවැනි වාර අවසාන නිවාඩු කාලයයි. දරුවන් වඩාත් ප්‍රිය කරන ශ්‍රීෂ්ම නිවාඩුවයි.

ඒත් අවාසනාවකටදෝ මන්දා... දැන් වසර කිහිපයක් පුරාවටම පාසල් ආරම්භ වන හෝ නිවාඩු ලබාදෙන නියමිත කාලවකවානුවක් නොමැත. ඒ හා සමානව දරුවන් පාසල් යනවාට වඩා නිවෙසේ සිටින දින ගණන වැඩිය. අපේ දෑස් ඉදිරිපිටම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙමින් පවතී. ඔවුන්ගේ අනාගතය අඳුරට යනවා බලා සිටින්නට සිදුවූ අපි අවාසනාවන්ත මව්පියන් බවට පත්ව සිටින්නෙමු.

 

නමුත් අඳුරට සාප නොකොට එක් පහනක් හෝ දල්වාලන්නට උත්සාහ ගැනීම වටිනේ යැයි ඔබ අසා ඇති. එසේ නම් ඔබේ දරුවන් නිසිලෙස අධ්‍යාපන මාවතේ රැගෙන යන්නට මවක් වූ ඔබේ කැපවීම දැඩි ලෙසම අවශ්‍ය අවදියයි මේ.

 

ඔන්ලයින් අධ්‍යාපනය

පාසල් නො පැවැත්වෙන බොහෝ ප්‍රදේශවල මේ වනවිට මාර්ගගත අධ්‍යාපනය එහෙමත් නැතිනම් ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් කටයුතු පැවැත්වේ. එම පහසුකම් නොමැති ප්‍රදේශවල ද විවිධාකාරයේ ක්‍රම භාවිත කරමින් ඉගෙනුම් කටයුතු සිදු කරන්නට ගුරු මහත්ම මහත්මීන් උත්සාහ දරති. එබැවින් මව්පිය ඔබගේ සහයෝගය නිබඳවම ඔවුන් වෙත ලබා දෙන්නට උත්සාහ ගන්න.

 

දරුවාට ඔබේ සහය

බොහෝවිට දරුවන් හුරුපුරුදු වී සිටින්නේ ගුරුවරුන්ගෙන් විවිධ දෑ විමසමින්, ප්‍රශ්න අසමින් තමන් නො දන්නා දේ පිළිබඳ දැන ගැනීමටයි. නමුත් මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් යටතේ එය තරමක් දුෂ්කර කටයුත්තක් බැවින් දරුවාට ඔබේ සහාය ලබා දෙන්න. ඔබ දන්නා කරුණු දරුවාට කියාදෙන්න.

 

පොත පත පරීක්ෂාවට වේලාවක්

සෑම දිනකම දරුවන්ගේ පොතපත පරීක්ෂා කිරීමට පුරුදුවන්න. ඔබ කෙතරම් කාර්යබහුල මවක් වුවත් කෙසේ හෝ දෛනික කටයුතු අතරේ ඒ සඳහා කාල වේලාවන් වෙන් කරගන්න. එවිට දරුවාට අපැහැදිලි දේ මෙන්ම මඟහැරුණු පාඩම් සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට උදව් කළ හැකි වේ.

 

කලබලකාරී නොවන පරිසරයක්

විශේෂයෙන්ම ඔබේ නිවෙස තුළ නිදහස් ස්ථානයක් දරුවාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා වෙන් කර දෙන්න. බොහෝ දරුවන් සිය ඔන්ලයින් පන්ති කරගෙන යන්නේ නිවෙසේ සාලයේ හෝ කෑම කාමරයේයි. එවැනි අවස්ථාවක එම ස්ථානයේ කටයුතුවලින් ඔබ බැහැර වන්න. අමුත්තන් පැමිණ සිටින අවස්ථාවක නම් ඔවුන් වෙනත් ස්ථානයකට රැගෙන යන්න. නිවෙසේ රෑපවාහිනිය, ගුවන්විදුලිය ක්‍රියාත්මක නොකර නිහඬ නිදහස් පරිසරයක් සකසා දෙන්න. එය ඔබේ දරුවාට සේම ඔබේ දරුවා සමඟ ඔන්ලයින් පන්තියට සහභාගී වන අනෙක් දරුවන්ට ද මහත් පහසුවකි.

 

අවශ්‍ය දෑ සපයා දෙන්න

පාසලේ දී අධ්‍යාපන කටයුතු සඳහා විවිධ ඉගෙනුම් උපකරණ භාවිත කරන බව ඔබ දන්නවා. නමුත් මේ වකවානුවේ එවැනි උපකරණ සැකසීම හෝ එවැනි ප්‍රායෝගික කටයුතුවල නියැළීම තරමක් අපහසුයි. නමුත් දරුවා සමඟ එකතු වී එවැනි විවිධ දෑ සකස් කරන්නට ඔබ උනන්දු වන්නේ නම් එය මහඟු ප්‍රයෝජනයක් වේවි.

ඊට අමතරව දරුවාගේ ඉගෙනීම් කටයුතුවලට අවශ්‍ය පොත් පත්, පෑන්, පැන්සල් මෙන්ම විවිධ සටහන්, පින්තූර, ඡායා පිටපත් ආදිය ඔවුනට සපයා දෙන්න. අවශ්‍ය විටෙක පානය සඳහා ජලය මෙන්ම කෙටි විවේකයකදී කෑමට, පෝෂ්‍යදායි යමක් නිවෙසේදීම සකසා දෙන්න. විශේෂයෙන්ම ඉගෙනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර උදෑසන ආහාරය ලබා දෙන්නටත් අමතක කරන්න එපා.

 

තාක්ෂණික මෙවලම් නොමැති නම්

වර්තමානයේ බොහෝදුරට අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ තාක්ෂණික මෙවලම් භාවිතයෙනි. නමුත් ඇතැම් මවුපියන් ඒවා භාවිතය පිළිබඳ නො දන්නවා සේම ඔබ සතුව එවැනි දෑ නොතිබිය හැකියි. නමුත් කෙසේ හෝ දරුවාට ඒ සහය සපයාගන්නට උත්සාහ දරන්න. එවැනි පහසුකම් සහිත තැනකට දරුවා රැගෙන යන්නට අපහසු නම් ගුරුතුමිය හෝ වෙනත් දරුවකුගේ මාර්ගයෙන් නියමිත පාඩම් සටහන් ලබාගෙන හැකි පමණින් දරුවාගේ කටයුතු කර ගැනීමට උදව් ලබා දෙන්න.

 

පරිසරය ඇසුරේ කාලය ගෙවන්න

සොබාදහම වූ කලී අපට පාඩම් ඉගෙන ගත හැකි හොඳම ස්ථානයයි. එබැවින් පරිසරය හමුවේ විවිධාකර දෑ ඔබේ දරුවාට කියා දිය හැකියි. පොතපතින් උගන්වන දේ පරිසරය තුළින් පෙන්වා, හඳුන්වා දෙන්නට ඔබ සෑමවිටම උත්සාහ ගන්න. ප්‍රායෝගිකව පරිසරය තුළ සිදු කරනා විවිධ කටයුතු ඇසුරේ ඔවුන් හරි අපූරුවට අධ්‍යාපනය ලබාවි. එපමණක් නොව ජීවිතය විඳින්නට, නව නිර්මාණ කරන්නට සේම සොබාදහමට ආදරය කරනා කරුණාව, දයාව පිරුණු ආදරණීය දරුවකු බිහි වේවි.