අපේ දරුවන් පීඩාවට පත්කරන අධ්‍යාපන රටාවක් තියෙන්නේ....

මේ බිඳ වැටීම හෙට දවසේ නො හිතන අර්බුධ රැසක් නිර්මාණය කරාවි
අගෝස්තු 1, 2022

 

දරුවන්ගේ හෙට දවස යනු අපේ මේ පුංචි රටේ මතු අනාගතයයි. නමුත් වසර කිහිපයක සිට මේ දරු පරපුරේ මතු අනාගතය අපේ දෑස් ඉදිරිපිටම ක්‍රමයෙන් විනාශ වී යන ආකාරයක් දක්නට ලැබේ. දවසින් දවස මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට පටන්ගෙන තිබේ.

 

ඉතින් මේ විදිහට ගෙවි යන පුංචි පැටවුන්ගේ හෙට දවස ගැන කතා කරන්නට අප සමඟ සම්බන්ධ වන්නේ කෑ/දෙහි/දයිගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, එල්. එස්. ප්‍රභාත් ධම්මික මහතාය.

අද දවසේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන වාගේම ඔවුන්ගේ හෙට දවස ගැන කතා කරද්දී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඒ ගැන විග්‍රහ කළ හැකියි.

1. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම

ඔවුන්ගේ සහ රටේ හෙට දවසට ඇති

කරන බලපෑම

2. ආසන්න අතීතය තුළ දරුවන්ගේ

අධ්‍යාපනය ප්‍රබල ලෙස අඩාල වූ

ආකාරය

3. මෙරට දරුවන්ට මුහුණ දීමට සිදුව

ඇති අධ්‍යාපනික අක්‍රමිකතා

4. දරුවන්ගේ හෙට දවස සහ රටේ හෙට

දවස තුළ ඇතිවිය හැකි ගැටලු අවම

කර ගැනීමට කළ හැකි යහපත්

යෝජනා

 

අධ්‍යාපනය අඩාල වීම

රටක් කියලා කියන්නේ හුදෙක් භූමිය පමණක් නොවේ. එය සමාජය, ආගම, සංස්කෘතිය, දේශපාලනය ආදී සියල්ලේම එකතුවකි. මේ සියලුම ක්ෂේත්‍රවල ක්‍රියාකාරීත්වය සිදුවන්නේ පුරවැසියන් වූ අප අතිනි. ඉතින් හෙට දවසේ මේ රටේ පුරවැසියන් බවට පත්වන්නේ අද දවසේ දරු පැටවුන්ය. ඔවුන්ට නිසි වයසට නිසි අධ්‍යාපනයක් නො ලැබුණහොත් රටේ පැවැත්ම බිඳ වැටෙනවා නොවේ ද?

එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ දී මෙරට විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන්නේ අද අධ්‍යාපනය අඩාල වූ දරුවන් ය. එමඟින් මෙරට විවිධ ආයතන සේම ක්ෂේත්‍ර දුර්වල වීම වැළැක්විය නො හැකිය. මොහොතක් සිතන්න. අද පළමු වසරේ අධ්‍යාපනය ලබන දරුවා අවුරුදු 60ක් මේ රටේ පැවැත්මට සක්‍රීය ලෙස දායක වන්නේ යැයි අපි සිතමු. එහි ප්‍රතිඵල ඇතැම්විට ඔබට සිතාගන්නටත් නො හැකි වේවි. ආසන්න වශයෙන් මේ අඩාල වීම 2070 වසර විතර වෙනකම් ඈත අනාගතයට බලපෑ හැකියි.

ඊට අමතරව දුර්වල අධ්‍යාපනය හමුවේ මෙරට ඉදිරි තරුණ පරපුර විවිධාකාර සමාජ අපචාරවලට යොමු වීම වැළැක්විය නො හැකිය. රට තුළ විවිධ කැරැලි කෝලාහාල ඇතිවීම, සිවිල් යුද තත්ත්ව නිර්මාණය වීම, විවිධාකාර වසංගත රෝග ව්‍යාප්ත වීම, ජාතික ආගමික සංහිඳියාව නැති වීම, පරිසර විනාශය ආදී වශයෙන් බොහෝ විනාශයන් සඳහා මේ අධ්‍යාපනයේ බිඳ වැටීම වක්‍රකාරව බලපෑම් කරනු නිසැකය.

 

ආසන්න අතීතයේ බලපෑම

වසර හතරකට පමණ ආසන්න අතීතයේ දී පටන් මෙරට පාසල් පැවැත්වීම ක්‍රමානුකූලව සිදු නොවීය. එනම් 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය හමුවේ මාස කිහිපයක්ම පාසල් වසා දැමුණු අතර එමඟින් ඒ වර්ෂයට අදාළ විෂයය නිර්දේශයන් සම්පූර්ණ කරගත නො හැකි විය.

අනතුරුව 2020 වර්ෂයේ මාර්තු මාසය වනවිට කෝවිඩ් වසංගතයේ බලපෑමත් සමඟ නැවතත් පාසල් වසා දමන්නට සිදු විය. එය තරමින් ක්‍රමානුකූල වූයේ 2022 වසරේ මුල් කාර්තුවේ දීය. නමුත් නැවතත් මේ රට තුළ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය නිසා පාසල් වසා දැමුණු අතර නිසිකලට වේලාවට විභාග පවා සිදු කරලීම අපහසු වී ඇත.

මේ කිනම් කරුණු කාරණා යටතේ වුවද සිදු වූයේ දරුවන්ගේ අධ්‍යාපනය, බිඳවැටීමයි. පාසල හරහා දරුවාට ලබා දෙන විෂයය දැනුමට අමරතව කුසලතා ආකල්ප, පෞරුෂ වර්ධනය ආදිය ද ඔවුන්ට අහිමි විය.

 

ඔන්ලයින් ඉගැන්වීම

දිගින් දිගටම පාසල් වසා දමන්නට සිදු වූ විට මෙරට අධ්‍යාපන කටයුතු සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. එය තාක්ෂණික පහසුකම් සහිත ප්‍රදේශවලට සාර්ථක වුවද මෙරට බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකි ක්‍රමයක් නොවීය. විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් වූ පරිගණක, දුරකථන, රවුටර් ආදිය බහුතරයක් දරුවන්ට නොමැත. එසේම ආර්ථික දුෂ්කරතා සහිත මවුපියන් හට ඒවා මිල දී ගැනීමට වත්කමක් ද නොවේ. ග්‍රාමීය ප්‍රදේශවලට සංඥා පහසුකම් නොමැති වීම මෙන්ම මේ තාක්ෂණික උපකරණ හැසිරවීම පිළිබඳ දැනුවත් බව අවම වීම නිසා ද විවිධ ගැටලු පැන නැඟිණි. කෙසේ වෙතත් අවසානයට කියන්නට සිදුවන්නේ ඔන්ලයින් අධ්‍යාපනය ද මෙරට සෑම දරුවකුටම සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක් නො වුණු බවයි.

 

අධ්‍යාපනික අක්‍රමිකතා

මෙලෙස පාසල් අධ්‍යාපනය අඩාල වීමට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ද කාලාන්තරයක් තිස්සේ පැල පදියම් වූ ගැටලු බොහෝමයකි. දරුවන්ගේ සේම රටේ අනාගතය කෙරෙහි ඒවා ද බලපාන බව නොකිව හැකි ද?

එනම් අනවශ්‍ය විෂයය නිර්දේශ හරහා දරුවන්ට අසීමිත අධ්‍යාපන බරත් පටවා තිබේ. විශාල පොත් පත් ප්‍රමාණයක් කර තබාගෙන යෑමට වීමත්, සටහන් ලියමින් පොත් පුරවමින් දරුවන් පීඩාවට පත් වීමේ අධ්‍යාපන රටාවක් මෙරට නිර්මාණය වී තිබේ. නිදහසේ ඉගෙන ගන්නා අධ්‍යාපනයක් නොව තරගකාරී අධ්‍යාපන සංස්කෘතියක් නිර්මාණය වීම, සම්පත් නිසිපරිදි බෙදී නොයෑම, සෞන්දර්යය, ක්‍රීඩා, තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් සඳහා ඇතැම් පාසල්වලට උපකරණ නොතිබීම සේම ඇතැම් ග්‍රාමීය පාසල් සඳහා ප්‍රමාණවත් පරිදි ඩෙස්, පුටු, පෙළ පොත්, ගොඩනැගිලි සහ ගුරුවරුන් පවා නොසිටීම වැනි කරුණු කාරණා මෙරට අධ්‍යාපනයේ අක්‍රමිකතා ලෙස දැක්විය හැකිය.

 

අධ්‍යාපනයේ හෙට දවසට

මේ ආකාරයට විවිධ කරුණු කාරණා නිසා අධ්‍යාපනය කඩා වැටෙමින් පවතිද්දී එය වළකාලීමට කුමක් හෝ පියවරක් ගත යුතු නොවේද? එසේ නම් චක්‍රලේඛ, අනපනත්, සටහන් ආදියට පමණක් සීමා නො කොට ප්‍රායෝගිකවම අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් විය යුතුය.

එමෙන්ම අනෙක් සංවර්ධන කටයුතු සේම මේ අධ්‍යාපනය ද අපට අත්‍යවශ්‍ය බැවින් විමධ්‍යගත අයවැයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කර අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ යටතේ පාසල් උපකරණ, සනීපාරක්ෂක පහසුකම්, අත්‍යවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ අන්තර්ජාල පහසුකම් සම්පූර්ණ කිරීම කළ යුතුයි. නව තාක්ෂණික ඉගෙනුම් ක්‍රමවලට යාම සහ ඒ සඳහා පහසුකම් සපුරා දිය යුතුයි. ගුරුවරුන්ට තෘප්තිමත් මනසකින් කටයුතු කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සම්පූර්ණ කළ යුතුයි. දරුවන්ගේ පෝෂණය සහ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වී ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතුයි. අනවශ්‍ය විෂයය නිර්දේශ කොටස් ඉවත් කර කාලීන විෂයය මාලාවක් හා විෂයය නිර්දේශ හඳුන්වාදීම සිදු විය යුතුයි. දියුණු රටවල දරුවන්ගේ හා ගුරුවරුන්ගේ මානසික තෘප්තිය හා පහසුකම් සංසන්දනය කර ඒ තැනට අපේ රටේ අධ්‍යාපනය පත් කළ යුතුයි. එමෙන්ම පාසල් හැරයන තරුණ දරුවන් විවිධ අක්‍රමිකතාවලට ගොදුරු නො වන්නට සැලසුම් සහගත පුහුණුවක් ලබා දීම කළ යුතුයි. ක්‍රීඩාව, සෞන්දර්යය හා නව නිර්මාණවලට දක්ෂතා දක්වන ඇතැම් දරුවන් උසස් අධ්‍යාපනයට සුදුසුකම් නො ලබන්නේ නම් ඔවුන් පාසල් හැර යන විටම දක්ෂතා අනුව සුදුසු මාර්ගයක් තෝරා දී එමඟින් රටේ සංවර්ධනය සඳහා දායක කරගැනීම කළ යුතුයි.

මේ ආදී වශයෙන් මෙරට කඩාවැටෙන අධ්‍යාපනය ගොඩ නගන්නට හැකි සෑම ආකාරයෙන් ම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නො වුණහොත් ඇති විය හැකි සියලු අනිටු ප්‍රතිවිපාකවලට අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා සියලුම වගකිවයුත්තන් මෙහි වරදකාරීත්වය බාර ගත යුතු නොවේද?

 

කෑ/දෙහි/දයිගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති,

එල්. එස්. ප්‍රභාත් ධම්මික

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.