නවතින්න-බලන්න-සවන් දෙන්න

මුදලින් පමණක් පොහොසත් වීම පාපයකි
අගෝස්තු 22, 2022

 

සාකච්ඡාවක දී කිසිවිටක පළමුව තමන්ගේ යෝජනාව ඉදිරිපත් නො කරන්න.

රහසක් භාර දුන් විට, එය පණමෙන් ආරක්ෂා කර ළඟ තබා ගන්න.

ඔබේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ඔබම ඉදිරිපත් වෙන්න.

ඔබේ ජීවිතය ගැන වගකීම ඔබ විසින්ම දරාගන්න.

උස් පහත් භේදවලින් තොරව සියලුම දෙනාට එකසේ ගරු කරන්න.

ඔබ විවාහ වනවිට, ඇගේ, ඔහුගේ පවුල සමඟ ද විවාහවන්න.

කරදර ගැහැටවල දී විලෝ ගසක් මෙන් නැවී සුරැකියාව සොයා ගන්න. තාරාවකු මෙන් ජීවත්වෙන්න.

මතුපිටින් සන්සුන්ව සිට යටින් උපරිමෙන් මහන්සිවෙන්න.

තනිවම මහන්සි වී ප්‍රතිඵල ලබාගැනීමේ සතුට අත්විඳින්න.

ඔබ ඔබේම වර්ණනාව කියවීමට හෝ ලිවීමට උත්සාහ නො කරන්න.

ආචාරශීලිත්වය ප්‍රගුණ කරගන්න .

අන් අයට හිරිහැර කරන්නන්ට එරෙහිව නැගී සිටින්න. හිරිහැර ලබන අයව ආරක්ෂා කරන්න.

ඔබේ කැමැතිම දේ ඔබේ සිහිනය කරගන්න. ඒ සිහින පිළිබඳ ලියන්න. ලැබෙන තුරුම ඒවා පසුපස එළවන්න.

විශ්වාසවන්ත හා නිහතමානී කෙනෙක් වන්න.

ඔබ වෙනුවෙන් ජීවත්වෙන සහ ඔබව විශ්වාස කරන අයව ආරක්ෂා කරගන්න.

 

සතුට වෙනුවෙන්

අසනීප වූ දා තමා, නිරෝගී බවේ අගය දැනෙන්නේ.

බඹයක් තරම් වූ මේ ශරීරය තුළ ලෝකයත්, එහි ආරම්භයත්, එහි අවසානයත්, එය අවසන් කිරීමේ පිළිවෙතත් දැකිය හැකි බව බුදුන් වහන්සේ වදාළහ.

ඉදිරි බැලීමට දැණුම ම ප්‍රමාණවත් නොවේ. මහන්සි වීම ම ද ප්‍රමාණවත් නොවේ. චීන කම්කරුවා අසීමිත ලෙස මහන්සි වෙන්නෙකි.

සබඳතා ගොඩ නැගෙන්නේ වචනවලිනි. කියන කරන දේ, කියන කරන ආකාරය, කියන කරන වේලාව ඉතා වැදගත් වේ.

වරකට එක් දෙයයි යන්න, හෝරා තැටිය අපට උගන්වන පාඩමකි.

අතීතයේ පඹයන් සමඟ ජීවත් නො වන්න.

නවතින්න - බලන්න - සවන් දෙන්න.

වෛරය මඟින් දිනූ රාජ්‍යක් නැත.

සතුට යනු කදිම ඔසුවකි. තෘප්තිමත් මිනිස්සු කිසි දින දුෂ්ඨයෝ නො වෙති. දැන් එතකොට මේ සතුට කවර හෝ මිලකට අයත් කරගත හැකි දෙයක් ද?

 

මයිකල් ජැක්සන් ගේ උත්සාහය

මෙය විග්‍රහය සඳහා මයිකල් ජැක්සන්ගේ චරිතාපදානය ගත හැකියි.

මයිකල් ජැක්සන් අවුරුදු 150 ක් ජීවත් විය යුතුයි සිතුවා. දිනපතා හිස කෙස් සිට නියපොතු දක්වා ඔහු පරීක්ෂාවට ලක් කළා. ඒ සඳහා වෛද්‍යවරුන් දොළොස් දෙනකු ඔහු පත් කරගෙන සිටියේය.

ඔහුගේ ආහාරය සැමවිටම රසායනාගාරයේ දී පරික්ෂා කරනු ලැබුවා. ඒ තරම් ප්‍රවේශමෙන් ඔහු තම ආහාරවේල පවා ගත්තා.

ඔහුගේ දිනපතා ව්‍යායාම සහ පුහුණුව ලබා ගැනීම සඳහා තවත් පහළොස් දෙනකු පත් කර තිබුණා.

ඔක්සිජන් මට්ටම නියාමනය කිරීම සඳහා ඔහුගේ ඇඳෙහි උපකරණ තිබිණි.

අවශ්‍ය විටක ඔවුන් ඔවුන්ගේ ඉන්ද්‍රියන් වහාම පරිත්‍යාග කළ හැකි වන පරිදි සංවිධානාත්මක ආධාරකරුවන් සූදානම්ව සිටියහ. මෙම ආධාරකරුවන්ගේ නඩත්තු කටයුතු සිදු කරනු ලැබුවේ ඔහු විසිනි. ඔහු අවුරුදු 150 ක් ජීවත් වන සිහිනය සමඟ කටයුතු කරමින් සිටියේය. වැඩිම ආයු කාලයක් භුක්ති විඳි මිනිසා වීම ඔහු හඹා ගිය සිහිනය විය.

 

ඔහු දිනුවා ද?

ඔහු අසමත් විය. ඔහුට එය කළ නො හැකි විය. 2009 ජූනි 25 වැනි දා වන විට වයස අවුරුදු 50 දී ඔහු මිය ගියේය. දක්ෂ වෛද්‍යවරුන් එකාබද්ධව උත්සාහ කළත් ඔවුන්ට ඔහුව බේරා ගැනීමට නො හැකි විය. වසර 25 ක් තිස්සේ වෛද්‍යවරුන් සමඟ ඉදිරියට යමින් සිටි පුද්ගලයකුට වසර 150ක් ජීවත් වීමට තිබූ සිහිනය සැබෑ කර ගත නොහැකි විය. ජැක්සන්ගේ අවසාන ගමන සජීවි රූපවාහිනී විකාශනයක් ලෙස ලොව විශාල පිරිසක් නැරැඹූහ. ඔහු මියගිය ජූනි 25 වැනි දා පස්වරු 3.15 ට විකිපීඩියා, ටිවිටර් ඔහුව ක්ෂණිකව නතර කර දැමීය.

ජැක්සන් මරණයට අභියෝග කිරීමට උත්සාහ කළේය. මේ භෞතික ලෝකය තුළ සාමාන්‍ය පුද්ගලයකුට මරණය නතර කර නො හැකියි. මෙය ජීවිතේ පාලනයයි. දැන් හිතාගන්න. ලොව ප්‍රමුඛ රාජ්‍ය නායකයන්ට පවා මිස්ටර් යයි ඇමතීමට බලගතු වූ මිනිසකුට පවා පරමායුෂෙන් අඩක්වත් ගෙවා ගත නො හැකි වීය.

 

නිස්සාර ගමනක

මිල අධික නිවෙස, කාර් සහ අතිවිශේෂ විවාහ මංගල්‍යය මතින් අපි ද නො නවතින නිස්සාර ගමනක යෙදී සිටිමු.

ඔබ මීට දින කිහිපයකට පෙර සහභාගී වූ විවාහ මංගල්‍යයේ දී ගත් ආහාර ද්‍රව්‍ය මතක ද? අපි පරම්පරා ගණනාවක් ඉතිරි කිරීමට අවශ්‍ය ද? අපෙන් බොහෝමයක්ට දරුවන් එක් අයෙක් හෝ දෙදෙනෙක් ඇත. ඔවුන් වෙනුවෙන් ඔබට කොපමණ ප්‍රමාණයක් මුදල් අවශ්‍ය ද? ඔවුන් වෙනුවෙන් අතිරේක මුදලක් ඉතිරි කිරීමට අවශ්‍ය වන්නේ ද? සතියේ ඔබ පවුලේ අය හෝ මිතුරන් සමඟ ඔබ යම් කාලයක් ගත කරන්නේ ද? අප උපයන දෙය සමඟ ජීවිතයේ සතුටු සොයා ගත නො හැකි වන්නේ මන්ද?

 

ඔබ ගැන සිතන්න

ඔබ ගැඹුරින් සිතා බැලුවහොත් ඔබේ හදවත වැඩ කිරීමට අසමත් වනු ඇත. දියවැඩියාව, අධි කොලෙස්ටරෝල්, නින්ද නොයෑම ආදියෙන් ඔබ දුක් විඳිනවා.

ඔබ වෙනුවෙන් කාලය ටිකක් වැය කරන්න. අපගේ දේපොළ තාවකාලිකව ලියා ඇති ඒවාය. අපගේ විශිෂ්ට ගණිතඥයන් හා විද්‍යාඥයන් ගමන් කිරීම සඳහා බයිසිකලයක් හෝ ස්කූටරයක් භාවිත කළහ. පොහොසත් වීම පාපයක් නොවේ. එහෙත් මුදලින් පමණක් පොහොසත් විම පාපයක් වේ.

ජීවිතය අවසානයේ දී සැබැවින් ම වැදගත් වන දේ සෑහීම, තෘප්තිය සහ සාමයයි.

ජීවිතයේ සතුට ඇත්තේ අත් හැරීම තුළයි. ප්‍රිය මිතුරු ඇසුර තුළ හා දීම තුළයි. හාස්‍ය ප්‍රිය, යහපත් වචන බිණින යහපත් මිනිසෙක් වන්න. එවිට ඔබ නොමැති දිනක ද මිනිසුන් ඔබ ගැන සිහිපත් කරාවි.

අන් අය හෙලා නො දකින්න.

අන් මතයට ගරු කරන්න.

අන් අයගේ දේට ආශා නො කරන්න.

අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නො කරන්න.

 

 

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්