අලුත් බබා මෙහෙම නාවමු

නෑවීම දරුවාට වදයක් කරන්න එපා!
ඔක්තෝබර් 3, 2022

 

අලුත උපන් දරුවෙක්, කුලුඳුල් අම්මා කෙනකුට විශාල අභියෝගයක් සහ අලුත්ම අත්දැකීම් සමුදායකි. මේ අතරින් අලුත් බබා නෑවීම මූලිකම අභියෝගයක්. ඒ නිසාම කුලුඳුල් අම්මාවරුන් මෙන්ම දරු ප්‍රසූතියට සූදානම් වන මවුවරු ද මේ ගැන දැනුම්වත් වී සිටිය යුතුමයි.

 

පෙකණිය වියළීමට පෙර නෑවීම සුදුසු ද?

පළමු සති දෙකක් වැනි කාලයක් නාභි ප්‍රදේශය තවමත් සුව වෙමින් පවතින නිසා එය නිතරම වියළිව පැවතීම වටිනවා. ඒ නිසා පළමු දින කිහිපය නෑවීම සමහර වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ. මෘදු රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීම ප්‍රමාණවත් බවයි ඔවුන්ගේ අදහස.

නමුත් දරුවාගේ පෙකණිය වියළීමට පෙර නෑවීම වතුරේ බහා දරුවා සේදීම ගැටලුවක් නොවෙයි. එහිදී ප්‍රධානම වශයෙන් මවුවරුන් අනුගමනය කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එනම්,

1. ජලයේ පිරිසුදු බව. පෙකෙණිය වියළීමට පෙර දරුවා ජලයේ බහා සෝදන්නේ නම් අනිවාර්යයෙන්ම උණුකර නිවාගත් ජලය හෝ ජලයේ පිරිසුදුකම ගැන සහතික විය යුතුයි.

2. පෙකණිය තෙමුණු පසු එය වතුර නොරැඳෙන සේ ඉතා හොඳින් තෙතමාත්තු කිරීමට වගබලා ගත යුතුයි.

දරුවා නෑවීමට පෙර සියල්ල අත මානයේ තබාගෙන සූදානම් විය යුතුයි. කිසිම විටෙක දරුවා නාන බේසම තුළ තනිකර යන්න එපා. උදවුවට කෙනෙක් නොමැති හැම අවස්ථාවකම යමක් අමතක වුවහොත් හෝ දරුවා අසලින් බැහැර වීමට ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වුවත් දරුවා බේසමෙන් රැගෙන යා යුතුයි.

 

දරුවා නාවන ආකාරය තීරණය කිරීම

දරුවන් නෑවීම සඳහා ලෝකය විවිධ ක්‍රම අනුගමනය කරයි. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ක්‍රමවේදය නම් බේසමට හෝ කොරහට දරුවා ගේ හිස අල්ලා හිල් පොල් කටුවකින් හෝ කෝප්පයකින් සෙමෙන් වතුර වත් කිරීමයි. නමුත් එම සාම්ප්‍රදායික ක්‍රමවේදයට නෑවිය යුතු යැයි නියමයක් නැත.

ඉන්දියානු ක්‍රමයට දරුවා කකුල් දෙක මත තබා නෑවීම සිදු කරයි. බටහිර ක්‍රමයට දරුවා සින්ක් එකක හෝ bath tab එකක දමා නහවයි. කෙසේ වුවත් දරුවට තනිව ඉඳ ගැනීමට හැකිවන තෙක් දරුවාටම වෙන් වූ බේසමක් හෝ සින්ක් එකක් භාවිත කිරීම සුදුසු වන අතර සින්ක් එකක දරුවා නාවන්නේ නම් දරුවන් නෑවීම සඳහා වන සින්ක් එකක් හෝ නිවෙසේ සින්ක් එකක් නම් එය පතුළට ලිස්සා නොයන පතුළ ආවරණයක් හෝ ටවල් එකක් නිසියාකාරයෙන් ස්ථානගත කිරීම සහ එම ස්ථානය ඉතා ආරක්ෂිත ලෙස සකස් කර ගැනීම අවශ්‍ය වෙයි.

සාම්ප්‍රදායික ක්‍රමයට නෑවීම කළත් දරුවා තබන ස්ථානය ආරක්ෂිත වීම, බිම ටයිල් හෝ සිමෙන්ති නම් ලිස්සා නොයන ලෙස ඝනකම් ඇතිරිල්ලක් යෙදීම වැනි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

එසේම දරුවන් නෑවීමේදී භාවිත කළ හැකි විවිධාකාර පහසු කරවන උපකරණ වෙළෙඳපොළේ අනන්තවත් ඇත. බේසම උඩින් අතුරන bath net (මෙම නෙට් එක බේසම උඩින් සවිකළ විට දරුවා ඒ මත තබා නෑවීම ඉතා පහසුය.) bar chair, bath mat, bath tub වර්ග සහ දරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදන පිහිනුම් ආවරණ ආදී ලෙස දරුවන් නෑවීම සඳහා නවීන උපකරණ අද වෙළෙඳපොළේ බහුලය.

 

නෑමට වතුර සකසා ගැනීම

අනාදිමත් කාලයක සිට දරුවන් නෑවීම සඳහා වතුර සකස් කිරීමේ දී යොදා ගන්නා ක්‍රමවේදය නම් වැලමිට දමා පරික්ෂා කිරීමයි. වැලමිටට රස්නය දැනෙන නොදැනෙන ප්‍රමාණය නෑවීමට සුදුසු වතුරේ උෂ්ණත්වයයි. එසේම වතුර සකසා ගන්නේ නම් මුලින් ඇල් වතුර ද පසුව උණු වතුර ද යොදා සකසා ගන්න. වතුර සකසා ගන්නා තෙක් දරුවා එම ස්ථානයට කිසිවිටෙක අනාරක්ෂිතව රැගෙන නොඑන්න.

 

නාවන ස්ථානය තෝරා ගන්නේ කොහොමද?

මුල් දිනවල නිවෙසේ ඇති සුළං නොවදින, සීතල නොමැති, උණුසුම්, පිරිසුදු ස්ථානයක් යොදා ගැනීම සුදුසුයි. නාන කාමරයේ නාවනවා නම් බිමට කාපට් එකක් දමා ඉතාම පිරිසුදු ලෙස, අලංකාර ලෙස නාන කාමරය සකස් කර ගත යුතුයි.

 

දරුවන් නෑමට අකැමැති ඇයි?

නාවන පළවැනි දවසේ සිටම නෑම ඉතා ම ප්‍රීතිජනක සහ සුවදායි දෙයක් බව දරුවාට හැඟවිය යුතුය. එසේම නාවන අතරතුර දරුවාගේ නාසයට වතුර යාම, ඇස්වලට සබන් යාම වැනි දරුවා වේදනාවට පත් කරන දේ සිදු වුවහොත් දරුවා නෑමට අකැමැති විය හැකියි.

 

මුලින් හිස නාවනවා ද? ඇඟ නාවනවා ද?

කුමන ආකාරයෙන් දරුවා නෑවීම කළත් එහි වරදක් නොවේ. අලුත උපන් සහ ඉතා කුඩා දරුවන්ට සිරුරේ උෂ්ණත්වය යාමනය කර ගැනීමට අපහසු නිසා හිසෙන් නහවා පිස දමා තුවායකින් ඔතා ඇඟ නෑවීම සිදු කරයි. නමුත් දරුවාගේ සිරුර හොඳින් සෝදා පසුව හිස සේදීම ද ගැටලුවක් නොවේ. සීතල යාමනය කර ගත නොහැකි දරුවන් ඉතා ඉක්මනින් අඩු කාලෙකින් සෝදා ගැනීම අවශ්‍යයි.

නෑමට හුරු වූ දරුවන්ට නෑවීමෙන් පසු ජලයේ මඳ වේලාවක් සෙල්ලම් කිරීමට අවස්ථාව ලබාදීම මානසික සංවර්ධනයට ඉතා හොඳ ක්‍රියාකාරකමක් වෙයි. ඒ සඳහා වතුරේ දමා සෙල්ලම් කරන සෙල්ලම් භාණ්ඩ කිහිපයක් දරුවාට ලබාදිය හැකියි.

 

සුදුසු පිරිසුදුකාරක මොනවාද?

ස්වාභාවික ශාකසාර යොදා සකස් කරන කාලයක් භාවිත කළ දේශීය වශයෙන් අපේ රටට ගැළපෙන ලෙස නිෂ්පාදනය කළ නිෂ්පාදන දරුවන් සඳහා වඩාත් සුදුසුයි.

දරුවන් නහවා අවසන් වූ පසු අලුත උපන් හා ඉතා කුඩා දරුවකු නම් දරුවාගේ උෂ්ණත්වය යාමනය කර ගැනීමට ඉතා ඉක්මනින් උණුසුම් රෙද්දකින් පිස දමා නැවත තවත් රෙද්දක ඔතන්න. ඇඳුම් ඇන්ද වීමට ප්‍රථම දරුවා තම උෂ්ණත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට උණුසුම්ව එතීම සේම මවගේ සිරුරේ උෂ්ණත්වය ලබා දීම වඩාම හොඳ ක්‍රමයකි.

දරුවා ඉතාම මෘදුව පිස දැමිය යුතු අතර නැවෙන ස්ථානවල සහ පෙකණිය වැනි ප්‍රදේශවල වතුර නොරැඳීමට වගබලා ගන්න. නාන බේසමේ වතුර හැකි ඉක්මනින් ඉවත් කරන්න.

උපදෙස් :
ළදරු හා ළමා සෞඛ්‍ය
උපදේශිකා ශ්‍යමලී පතිරගේ