එළිමහනේ ගත කරන ප්‍රීතිමත් කාලය දරුවන්ගේ බුද්ධි සංවර්ධනයට බලපානවා.

අගෝස්තු 4, 2021

 

ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබාදීම පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම මව්පියන් ද දැනගත යුතුම කරුණු ගැන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල මහත්මිය රැගෙන එන උපදෙස් මාලාවේ සයවැන්න

අද දවසේ වැඩිහිටියන් බවට පත් වෙලා ඉන්න අපි හැමෝගෙම ළමා කාලය ගැන සිහිපත් කරද්දී සුන්දර හැඟීම් සමුදායක් තමයි සිහියට නැගෙන්නේ.

සුවිසල් බලාපොරොත්තු , අසීමිත ජීවන බර , විවිධාකාරයේ සමාජ ගැටලු මේ කිසි දෙයක් ගැන කිසිම ළතැවුල්ලක් නැති ඒ අපූරු සමනල් අවධිය මතකයට නැගෙද්දීත් කොයිතරම් නම් සතුටු ද ?

ගහකොළ සෙවණේ ඇතිතරම් දුව පනිමින්, ඇළේ දොළේ දියබුං ගසමින්, සොබාදම් මෑණියන්ගේ ඇසුරේ අසීමිතව කෙළි සෙල්ලම් පෑ ඒ චමත්කාරජනක ළමාවිය වර්තමාන දරුවන්ට නම් සිහිනයක්ම වී හමාරයි.

ඔබ සහ අප අත්විඳි ඒ සොඳුරු ළමාවියත්, අද දවසේ ජීවත්වන දරු දැරියන් අත්විඳිනා ළමාවියත් අතර ඇත්තේ සුපැහැදිලි වෙනසකි.

සෙමෙන් සෙමෙන් කාලය ගතවීමත් සමඟම අප ජීවත්වන සමාජය ද බොහෝ සෙයින් වෙනස් වීමට ලක් විණි. ඒ වෙනස්වීම් හමුවේ මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ජීවන රටාවන් ද වෙනස් වී ගියේ අපටත් නොදැනීමයි.

ඉතින් ඒ සුවිසල් වෙනස්කම් හමුවේ අපේ පුංචි පැටවුන්ගේ සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් පවා වෙනස් වීමට ලක් වූ අතර වර්තමානයේ ජීවත් වන්නේ යාන්ත්‍රික දරු පිරිසකි. නවීන තාක්ෂණය තුළ අතරමං වී සිටින ඔවුන් සැබැවින්ම යන්ත්‍ර මෙනි. හැඟීම් දැනීම් වලින් තොර වුවෝ වෙති.

සැබැවින්ම මේ තත්ත්වයට වගකිව යුත්තෝ මව්පියන් වූ ඔබ අප නොවේ ද ? එය දැන්වත් වෙනස් කළ යුතු නොවේද ? ඉතින් ඒ පිළිබඳයි අද අපේ මේ කතාබහ.

*විදුහල්පතිතුමියනි,

ඔබ කුඩා දරු දැරියන් ඇසුරේ දීර්ඝ කාලයක් කට‍යුතු කරන, දවසේ වැඩි වේලාවක් ඔවුන් සමඟ සිටින්නියක්. ඉතින් ඇත්තටම එදා අප අත්විඳි ළමා කාලයත් අද දවසේ දරුවන් ගත කරනා ළමා කාලයත් අතර ඇත්තේ මහා ලොකු වෙනසක් නේද ?

" ඇත්තටම අපි පුංචි කාලේ නිදහස්, සුන්දර, ප්‍රීතිමත් සම්පූර්ණ ළමාකාලයක් අත්වින්දා. අද තත්ත්වය වෙනස්. ළමයින්ට නිදහස් ළමා කාලයක් නැහැ. ළමා කාලයත් කාර්යබහුල වෙලා. සුන්දර වුණාට සුන්දරත්වය විඳගන්න වෙලාවක් නැහැ. ප්‍රීතිමත් බව රඳවාගන්න ඉඩක් නැහැ. සම්පූර්ණ ළමා කාලය තැනින් තැන කවුරු හරි සොරකම් කරලා වගේ අසම්පූර්ණයි.

අපි හැමෝටම මේ වසංගත කාලයේදී හරි ආපසු හැරී බලන්න පුළුවන් නම් හොඳයි. අද දවසේ අපි හැමෝම ගෙවල් ඇතුළේ කොටුවෙලා. බොහෝ දෙනා රැකියා නිසාම නගරවලට පදිංචියට ඇවිත්. වැඩිහිටියො රැකියාවට යනවා. දරුවෝ ගෙතුළට සීමා වෙලා. "

*හැබැයි මව්පියන් විදිහට මේ තත්ත්වය වෙනස් කරන්නත් පුළුවන් අපිටම නේද?

" අනිවාර්යයෙන්ම. මෙවැනි තත්ත්වයකදී ඒ කාලෙ නම් දරුවන්ට ගෙදරින් එළියට බැහැලා නිදහසේ සෙල්ලම් කරන්නට පුළුවනි. පරිසරය අත්විඳින්න, ස්වභාව ධර්මයේ නිහඬ හඬට කන් දෙන්නට පුළුවනි. ආච්චි, සීයා ඇතුළු පවුලේ වැඩිහිටියන්ගෙන් විතරක් නෙමෙයි අවට හැමෝගෙන්ම ගුරුහරුකම් ලබාගන්නට, අලුත් අත්දැකීම් ලබන්නට පුළුවන්. වස විසෙන් තොර නැවුම්, ප්‍රණීත, පෝෂ්‍යදායී ආහාරවල රසය විඳින්නට පුළුවන්. නිකමට හිතලා බලන්න ජීවිතය ජීවත් කරවන්න නම්, සතුටින්

සිටින්න නම් තව මොනවද ඕනෑ කියලා."

*වැඩිහිටියන්ගේ අතිධාවනකාරී ජීවන රටාව මේකට හේතුවක් කියලා කිව්වොත්.

" ඇත්ත. දීර්ඝ ධාවනයක යෙදිලා අපි මේ උපයාගෙන තියෙන දේවල් නිසාම අපේ ජීවිත වගේම අපේ දරුවන්ගේ ජීවිතත් කොටුවෙලා නෙවෙයි ද ?

වැඩිහිටියෝ හැමෝම නිතරම කියනවානේ අපේ ළමයින්ට අපිට වගේ සුන්දර ළමා කාලයක් නෑ කියලා. ඉතින් ඇයි දරුවන්ට ඒ සුන්දර අත්දැකීම විඳින්න ඉඩ නොදෙන්නේ. සැප සම්පත්වලින් ආවරණය කරන්නේ.

අඩුම තරමේ මේ වගේ වේලාවකවත් තමන්ගේ දරුවන්ට සැහැල්ලු දිවිපෙවෙතක වටිනාකම කියලා දෙන්න. ඔබේ ළමා කාලය ගෙවුණු තැන්වලට එක්කගෙන යන්න. තාක්ෂණික මෙවලම්වලින් දුරස් වෙලා සොබා දහම එක්ක කතා කරන හැටි ඉගෙන ගන්න දෙන්න.

මේ දේවල්වලට ඈත දුර බැහැර යන්න ඕනෙ නෑ. අපේ රටේ කොතැනකට ගියත් මේවා විඳින්න පුළුවනි.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තිබුණත් මේවා අපි නොදකින එකයි. ඒ තරමට වෙනත් දේවල්වලින් අපේ ඇස් වැහිලා. ළමා කාලයේ බුද්ධි සංවර්ධනයට එළිමහනේ ගත කරන ප්‍රීතිමත් කාලය වගේම ලබන අත්දැකීම් කෙලින්ම බලපානවා.

එනිසා ඔබ ජීවත්වන තැන කොතැන වුණත්, ඔබේ වෘත්තිමය තත්ත්වය කුමක් වුණත්, ඔබ අසීමාන්තික ලෙස කාර්යබහුල වුණත් ළමයින්ට ඔවුන්ගේ ළමා කාලය දෙන්න කියලා තමයි මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ."

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.