හයිනෙක් කර සහිත අත් රහිත බ්ලවුසයක හැඩ

නොවැම්බර් 3, 2021

 

කාලය ගෙවී යමින් මේ උදාවෙන්නේ උත්සව, ප්‍රිය සම්භාෂණ නොඅඩුවම පැමිණෙන කාලයකි. ඒ නිසාම අද අපි සාරි හැට්ටයක් මසාගන්නා ආකාරය ඔබ වෙත ගෙන එනවා.

මේ සාරි හැට්ටය අත් රහිතව, ප්‍රින්සස් ලයින් ක්‍රමයට, හයිනෙක් කර සහිතව මසා තිබේ. ඔබත් පිරිපුන් සිරුරක හිමිකාරියක් නම් මේ විලාසිතාව ඔබටමයි.

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 16

කරවට = අඟල් 14 1/2

කර ගැඹුර = අඟල් 7 1/2

පපුව දක්වා උස = අඟල් 10 1/2

ඉණ දක්වා උස = අඟල් 15

ඔපනැලි අතර පළල = අඟල් 7

පපුව වට = අඟල් 37

ඉණ වට = අඟල් 33

පසුකර ගැඹුර = අඟල් 11

බ්ලවුසයේ ප්‍රින්සල් ලයින් එකක් හා ඉහළට නෙට් එකක් අල්ලා ඇති බැවින් පතරොමක් සාදාගැනීමට සිදුවේ.

පතරොම සඳහා ඉදිරිපස නැම්මට ගන්න.

ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 1/2ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න.

එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

එම රේඛා පපුව රේඛාව හා වාටිය නැම්ම රේඛාව වේ. වාටිය නැම්ම රේඛාවේ සිට පහතට අඟල් 1 1/2ක් පහත්කර වාටිය රේඛාව අඳින්න.

අත්කට රේඛාවට උස ලකුණු කිරීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට ඩාට් සඳහා අඟල් 2 ක් එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යා කරන්න. අංශ්‍යයට මැහුම් වාසි තබා ගන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න.

C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

E සිට පහතට අවශ්‍ය කර ගැඹුර පහත්කර අත්කටට කර අඳින්න. එම කොටස සඳහා නෙට් හෝ ලේස් භාවිතකර මැහුම්වාසි තබා කපාගන්න.

ඔබනැලි අතර පළල දෙකට බෙදා එන පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න.

එය KL වේ. L සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. ඩාට් පළල දෙකට බෙදා එන පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න.

K සිට අත්කටට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න. නැම්මෙන් හා අංශයෙන් අඟල් 1 බැගින් ඩාට් ලකුණු කරන්න. කොටස් වෙන්කරගත් පසු මැහුම් වාසි තබා රෙදි කපාගත යුතුයි.

මෙම බ්ලවුසය සඳහා උඩින් ඇති නෙට් රෙද්දෙන් හා යටින් ඇති රෙදිවලින් යන සියලුම කොටස්වලින් කපාගත යුතුය.

පසුපස

පසුපස කැපීමේ දී බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න.

පසුපස කර ගැඹුරගෙන රූප සටහනේ පරිදි ඇඳගන්න.

පසුපස ඉණ රේඛාව ඇඳීමේ දී ඉදිරිපස ඉණ රේඛාවට සමාන්තරව අඟල් 1ක් උසින් ඉහළට කර ඇඳ ගන්න.

ඉණවට මිම්ම හතරන් බෙදා පමණක් පසුපස ඉණ රේඛාවේ ලකුණු කර අත්කටට යා කරන්න. වාටියට මැහුම් වාසි තබාගන්න

කර බෑන්ඩ් එක

කර බෑන්ඩ් එක සඳහා රෙදි කොටසක් ත්‍රිකෝණාකාරව නමාගන්න. කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට වඩා අගල් 1ක් පමණ දිග ද උස අඟල් 1 1/2ක් ලෙස කපාගන්න.

(ඔබට අවශ්‍ය නම් නැම්නල් කොළරය භාවිත කළ හැකියි.) ජැකට් එකේ සෑම මැස්මක්ම පයිපිං බෑන්ඩ් එකක් යොදා ඇත. මැසීමේ දී එය ද නමා මසාගන්න.

මැසීම

ප්‍රින්සස්ලයින් හැඩය මසාගන්න. ලේස් කොටස කරට අල්ලාගන්න. උරහිස මසන්න. අත්කට පයිපිං කරන්න.

පසුකර පයිපිං කරන්න. කරට බෑන්ඩ් එක අල්ලා මසා ගන්න. වාටිය මසා අංශය මසන්න.

 

 

උපදෙස් ප්‍රවීණ උපදේශිකා
දිලුෂි දසනායක