කිරි දෙන මව්වරුන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩුයි

නොවැම්බර් 3, 2021

බිලිඳු දරුවෙක් හදාවඩා ගනිද්දී මව්කිරිවලින් ලැබෙන පිටිවහල අතිමහත්ය. කාලෙන් කාලයට කොයිතරම් කතා කළත් අලුත උපන් බබාගේ අම්මාට නව පණක් ලැබෙන්නේ ඒ පිළිබඳ නැවත නැවත මතක් කරද්දියි.

මව ඉටා ගතයුතු වන්නේ තම දරුවා මව්කිරෙන් හැකිතරම් පෝෂණය කිරීමටයි. අලුත උපන් දරුවකු සිටින මවක් මව්කිරිවල ඇති මිල කළ නොහැකි වටිනාකම පිළිබඳ හැඳින සිටීම අතිශය වැදගත්ය.

වර්ධනය නොව ප්‍රතිශක්තිය වැඩිකරන කොලෙස්ට්‍රම්

දරුවකු බිහි වූ පසු මේ චූටි පැටියාගේ ප්‍රධාන අයිතිවාසිකම මව්කිරි බීමයි. ප්‍රථමව දෙන කොලෙස්ට්‍රම් දරුවාට අත්‍යාවශ්‍යයි. එය පළමු දින කිහිපයේ දී සුදුපැහැ දියරයක් ලෙස මවගෙන් ලැබේ. එය දරුවාගේ වර්ධනයට වඩා ප්‍රතිශක්තිය වැඩි කිරීමට හේතුවක් වෙයි.

මව්කිරි දීමෙන් දරුවා කෙරෙහි ඇති සෙනෙහස ද උතුරා යයි. 70 දශකය වැනි යුග වනතෙක් මව එතරම් කාර්යබහුල නොවුණු නිසාවෙන් මව්කිරි දීමේ ගැටලු පැන නොනැගුණි. එහෙත් අද බිහිව ඇති තත්ත්වය ඊට තරමක් වෙනස් වූවකි.

මවට කිරි දීමට අපහසු අවස්ථා

* මවගේ තනපුඩුව හරියාකාරම ඉදිරියට නෙරා නොඒම දරුවාට පහසුවෙන් කිරි උරා බීමට බාධාවකි.

එය තෙත් පුළුන් කැබැල්ලක් ඇඟිලි දෙකක දවටා බත් ඇටයක් රෝල් කරන්නා සේ අඹරා ඉදිරියට ගන්න.

* මවට අවශ්‍ය තරම් කිරි නොමැතිකම.

ගැටපොළොස්, කරවිල, කොස් දලු කිරට උයා කෑමට ගැනීම ඉතා ගුණදායකයි.

* අඩු පරතරයකින් දරුවන් ලැබීම‍.

* මවගේ විවිධ ලෙඩ රෝග.

* මවගේ මානසික ආතතිය නිසා කිරි මඳ වීම.

* නූතන මව්වරු තමාගේ දරුවාට වඩා රූ සපුව ගැන ඇති වැරැදි වැටහීම.

* දරුවාගේ උඩුතල්ලේ ආබාධ නිසාද කිරි උරාබීමේ අවස්ථාව මඟ හැරේ.

ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් ද මව්කිරි දීම ඉතා යහපත් ය. පිටිකිරි පිළියෙල කිරීමේ දී කිරිවල සාන්ද්‍රණය මඳ වශයෙන් වෙනස් වේ. තවද අවශ්‍යතාවට වඩා වැඩිපුර පිටි කිරි පෙවීම ද සෛලවල, අභ්‍යන්තර අවයවවල අසමතුලිතතා ඇතිවීමට හේතුවේ. තවද පිටිවල සාන්ද්‍රණය අඩු වුවහොත් දරුවාට බඩේ අමාරු, බඩ වේළීම සිදුවේ. තවද ජීව විද්‍යාත්මකව දරුවාට දිනෙන් දින කිරිවල සංයුතිය වෙනස් විය යුතුය. වර්තමානයේ 3+, 6+ යනාදි ලෙස ඇති පිටිකිරි තිබීම විකාරරූපී වූවකි.

දිගුකාලීන අතුරු ආබාධ

පිටිකිරි දීමෙන් මවට හෝ දරුවාට කිසිදු සෙතක් අත්නොවේ. නමුත් විකල්පයක් ඇත්තෙම නැති තැන දීමට සිදුවන්නේ පිටිකිරියි. නමුදු පිටිකිරි දීමෙන් පසුකාලීනව දරුවා දියවැඩියාව, අධික තරබාරුව ඇති විය හැකියි. මීට අමතරව හයිපෝතැල්මිසියා රෝගය හෙවත් කැල්සියම් මඳ බව ඇති වේ. පිටිකිරිවල ඉහළ පොස්පේට් සාන්ද්‍රණය නිසාත් අවම ලැක්ටෝස් සාන්ද්‍රණය නිසාත් 'කැල්සියම් පර්මනේට්' නම් සංකීර්ණ සංයුතිය සෑදේ. මීට අමතරව පිටිකිරි බොන දරුවාට E6 ඌනතාව තදින් බලපායි. ඒ පිටිකිරිවලට E කාණ්ඩයේ විටමිනය නොමැති වීමයි.

ගොන් වස්සාත්, කිරිකැටියාත් සම වන්නේද?

ගොන් වස්සාත්, කිරිකැටියාත් අතර තත්ත්වය මව, පියා තේරුම් ගන්නේ නම් කිසිවිටෙක පිටිකිරි දීමට නොපෙළඹෙනු ඇත. අවම වශයෙන් මුල් මාස 3, 4 හෝ මව්කිරි දීමට පරිත්‍යාගශීලී වන්නේ නම් කෙතරම් යහපත් ද?

'එක්සිමා' නම් සමේ හට ගන්නා තත්ත්වය, බඩේ ඇතිවන ඉරටබල් බවර් සින්ඩ්‍රොම් වැනි රෝග තත්ත්ව පිටිකිරි බීමෙන් ඇතිවේ. අසාත්මිකතාවලට ලක්වීම සුලබය.

පියයුරු ආශ්‍රිත රෝගාබාධවලින් ඈත්වීමක්

අදවන විට ජීව විද්‍යාත්මකව සොයාගෙන ඇති තත්ත්වය නම් මව්කිරි දෙන මව්වරු පියයුරු පිළිකා තත්ත්වය හා පිළිකාමය නොවන ගෙඩි වර්ග ද පියයුරු තුළ සෑදීම මව්කිරි නොදෙන මවට වඩා සාපේක්ෂව පහළ අගයක් ගනියි. සරලව කියන්නේ නම් මව්කිරි දෙන මව්වරුන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු බවයි.

මව්කිරෙන් දරුවා පෝෂණය කරද්දී මවගේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයද ක්‍රමානුකූලවේ. ඩිම්බ මෝචනය ද ක්‍රමවත් වේ. ඉදිරියේ දී ක්‍රමවත් ගැබ් ගැනීම් සිදුවේ. මව පියකරු වේ. හැඩවැඩ වේ. පුන් පියයුරු නිර්මාණය වේ. පියයුරු එල්ලා වැටීම සියයට 70කින් අඩුවන බව සොයාගෙන තිබේ. එහෙත් අපගේ බහුතරයක් වූ කාන්තාවන්ට ඇත්තේ මීට ඉඳුරාම වෙනස් වැරැදි වැටහීමකි.

ලොව කුමන රටක නිෂ්පාදනය කළත්

ඔබ දරුවාට ලබාදෙන පිටිකිරි ලොව කුමන රටක නිෂ්පාදනය කළද, මොන තණකොළ කෑවද එළදෙන එළදෙනම ය. එම කිරි නිෂ්පාදනය කරන්නේ එළ හරක් පැටියකුට යි. එම සතාගේ ඉන්ද්‍රීයයන් වර්ධනය කිරීමට වේ. ඒ පැටියාගේ හෘදය, අක්මාව, මොළය වැනි ඉන්ද්‍රීයයන් හරක් ඉන්ද්‍රීයයන්ය. හරකාගේ මොළයත්, දරු සිඟිත්තාගේ මොළයත් සමාන දැයි ඔබම මොහොතකට සිතා බලන්න. කොහෙත් ම සමාන නැත. අනෙක් කාරණය නම් වසුපැටියා ද ඌට මාස පහ, හයක් යනවිට එළකිරි බීම නවත්වා තණකොළ කයි. අප මියෙන තුරාවට ම එළකිරි බොයි. නැත්නම් පිටිකිරි බොයි. ඔබ මනුෂ්‍ය සත්ත්වයකු යයි සිතා බුද්ධියෙන් ආහාර ගන්න.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය

මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක