යුද්ධයේ දරුවෝ

ජුනි 16, 2025

විවිධ රටවල් අතර, දේශසීමා අතර ඇතිවන ගැටුම්වලට මැදි වී ඉතා දුක්ඛදායක ජීවිත ගත කරන දරුවන් පිළිබඳ පුවත් මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් දක්නට ලැබේ. හද කම්පා කරවනසුලු එවැනි දරුවන් දකින කා හට වුවද ඇතිවන්නේ යුද්ධයක් පවතින අවස්ථාවකදී දරුවන්ට ආරක්ෂාවක් නොමැති ද යන පැනයයි.

ලෝකයේ දරුවන් මුහුණ පෑ තීරණාත්මක අවාසනාවන්ත සිදුවීම් දක්නට ලැබුණේ පළමු හා දෙවැනි ලෝක යුද්ධ අවස්ථාවලදීය. මෙම යුද ගැටුම්වලදී දරුවන් විශාල වශයෙන් යුද්ධයට මැදිව මරණයට පත් වූ අතර කිසිදු හව්හරණක් නොමැතිව අතහැර දැමීම්වලට ලක් විය. විශේෂයෙන් දෙවැනි ලෝක යුද සමයේදී දරුවන් ද වැඩිහිටියන් හා සමානවම යුද වින්දිතයන් බවට පත් විය. සමහර විට වැඩිහිටියන්ට වඩා අමානුෂික සැලකිලි හා වද බන්ධනවලට ලක් විය.

මානව අයිතිවාසිකම් සුරැකීම සඳහා බිහි වූ අන්තර්ජාතික මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නීතියට අමතරව යුද්ධයක දී දරුවන් ඇතුළු සාමාන්‍ය සිවිල් ජනයා සම්බන්ධයෙන් බලපාන නීතිය අන්තර්ජාතික මානුෂවාදී නීතිය ලෙස පිළිගෙන ඇත්තේ මේ හේතුවෙනි. අන්තර්ජාතික මානුෂවාදී නීතිය ලිඛිතව පමණක් නොව, විවිධ රාජ්‍යයන් භාවිත කළ චාරිත්‍ර මූලාශ්‍ර කරගෙන ද පැවතීම විශේෂත්වයක් වේ. එයට හේතුව ලෝකයේ මිනිසුන් අතර යුද්ධ පිළිබඳ ඉතිහාසය මිනිස් වර්ගයාගේ ඉතිහාසය තරමටම ඈතට දිව යෑමය.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ රාජ්‍ය පාර්ශ්වයන් විසින් නැවත ලෝක යුද්ධ තත්ත්වයන් ඇති නොවන ආකාරයට මිනිසුන්ට ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතුය යන අරමුණින් 1948 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය සම්මත කර ගන්නා ලදි. ඉන් අනතුරුව යුද්ධයකදී සිවිල් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව වරින් වර සම්මත වූ අන්තර්ජාතික සම්මුතීන් අන්තර්ජාතික මානුෂවාදී නීතිය පෝෂණය කරන්නට සමත් විය. 1949 වර්ෂයේ දී සම්මත කෙරෙන ලද ජිනීවා සම්මුතීන් මඟින් යුද්ධයකදී යුද වදින සන්නද්ධ පාර්ශ්ව සහ සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් කෙසේ ආරක්ෂා කළ යුතුද යන්න පිළිබඳ එකඟතා ඇති කර ගන්නා ලදි.

1959 වර්ෂයේ දී එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ පැහැදිලි ලෙස දක්වන්නේ සන්නද්ධ අරගලවලදී පීඩාවට පත්වන ළමයින් ආරක්ෂා කිරීමට හා ඔවුන්ට රැකවරණය සැලසීමට රාජ්‍යයන් කටයුතු කළ යුතු බවය. එමෙන්ම අන්තර්ජාතික මානුෂවාදී නීතියේ දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව දක්වා ඇති ප්‍රතිපාදනයන්ට රාජ්‍යයන් ගරු කළ යුතු බව ද දක්වා ඇත.

කෙසේ වුවද ගාසා තීරයේ මෙම වකවානුවේ ඇති ව තිබෙන යුද ගැටුම්වලදී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම රාජ්‍ය පාර්ශ්වයන්ගේ මැදිහත් වීම ඉතාමත් අවම බව පෙනී යයි. සන්නද්ධ අරගලයකින් පීඩාවට පත්වන ළමයකු ශාරීරික හා මානසිකව ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍යයන් කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 39 වැනි වගන්තිය විශේෂයෙන් දක්වා සිටී.

අන්තර්ජාතික මානුෂවාදී නීතියට රාජ්‍ය පාර්ශ්වයන් අනුගත නොවීම මෙම රටවල සාමාන්‍ය ජන ජීවිතවල ආරක්ෂාව සම්බන්ධව එම රජයන්ට පවතින වගවීම බරපතළ ලෙස ප්‍රශ්නගත වන තත්ත්වයකි.

නීතිඥ චන්දිවරී  මල්ලවආරච්චි