කෑම මේසයේ ලස්සනට පබළු පලතුරු

අගෝස්තු 4, 2025

මේ අගනා පලතුරු වට්ටිය පබළු නිර්මාණ කලාවේ සුවිශේෂිතම එකකි. ඔබත් පහසුවෙන්ම නිර්මාණය කර බලන්න.

මෑත කාලයේදී ලංකාවේ කාන්තාවන් අතර ජනප්‍රිය කලාවක් වූ පබළු නිර්මාණ කලාව දැන් ඔබට ආගන්තුක නොවේ. මෙයට ඇලුම් කරන ඔබට පබළු බෑග්, කී ටැග්, කරාබු, මාල, වළලු වගේම පලතුරු වට්ටි ආදී ඕනෑම දෙයක් නිර්මාණය කරගත හැකියි. පබළුවෙන් පබළුව කෙරෙන මේ ආදරණීය ගෙත්තමෙන් ඔබේ ජීවිතය ද අමුණා ගත හැකියි. ඉතින් ඔබට ස්වයං රැකියාවක් ලෙසින් මෙය අරඹා හොඳ ආදායම් මාර්ගයක් ලබන ගමන් මානසික සුවයක් ද අත්කරගත හැකි වේවි.

මේ අගනා පලතුරු වට්ටිය පබළු නිර්මාණ කලාවේ සුවිශේෂිතම එකකි. ඔබත් පහසුවෙන්ම නිර්මාණය කර බලන්න.

මේ සඳහා මූලිකව පබළු සහ එයට අවශ්‍ය වන නූල් සම්බන්ධ දැනුමක් අවශ්‍යය. නිර්මාණ සඳහා අවශ්‍ය කරන පබළු හා නූල් එකිනෙකට වෙනස්ය. අපි අද සකස් කරන නිර්මාණය

සඳහා භාවිත කරන පබළුවලින් හා නූලෙන් නිර්මාණයේ කුඩාබව හා විශාලත්වය වෙනස් වේ. අද ඔබට ලබාදෙන නිර්මාණය පලතුරු වට්ටියකි. මේ සඳහා නොම්මර 8 ප්‍රමාණයේ ක්‍රිස්ටල් හැඩති පබළු හා නොම්මර 50 ප්‍රමාණයේ තංගුස් නූල් උපයෝගී කරගත හැකියි.

මෙහි සකසන නිර්මාණයේ රටාව විස්තරය බලන්න.

 

 පළමු වටය - 6

දෙවැනි වටය - 1 + 6

තුන්වැනි වටය - 1 + 6

හතරවැනි වටය - 2 + 6 (2) ,

1 + 6 (1)

පස්වැනි වටය - 2 + 7

ඊළඟ වටයේ සිට දහවැනි වටය දක්වා - 1 + 4

 පළමුව ඔබට පහසු ප්‍රමාණයක දිගට නූල කපාගන්න. එයට අප දැන් භාවිත කරන පබළු හයක් දමා රවුමක් සෑදෙන පරිදි අවසාන පබළුව තුළින් අනෙක් නූල ඇතුළු කොට රවුම සාදාගන්න. නැවතත් එක් නූලකට පබළු 5ක් දමා අනෙක් නූල එම දමාගත් අවසාන පබළුව තුළින් යවන්න. ඉන්පසු පහළින් ඇති නූල පෙර සාදාගත් රවුමේ ඉහළ පබළුවෙන් දමාගන්න. නැවත ඉහළ ඇති නූලට පබළු 4ක් දමාගන්න. නැවත පෙර ආකාරයටම අවසාන පබළු හරහා යන ආකාරයට නූල් පොට සකසා ගන්න. එම සෑම අවස්ථාවකදීම එක් රවුමක් තුළ පබළු 6ක් පැවතිය යුතුය. එවැනි වට 2ක් සපුරා ගත යුතුයි.

තුන්වැනි වටයේදී පෙර පරිදිම යටින් පබළු දෙකක් අල්ලා පබළු හතරක් දමා හයේ රවුම් දෙකක් සහ යටින් එක් පබළුවක් අල්ලා පබළු හතරක් දමා පබළු පහේ රවුමක් සාදාගන්න. එම රටාව ඔස්සේ තුන්වැනි වටය සම්පූර්ණ කර ගන්න.
 
හතරවැනි වටයේදී යටින් පබළු දෙකක් අල්ලා පබළු පහක් දමා පබළු හතේ රවුමක් සාදා ගන්න. එම ආකාරයටම යටින් පබළු දෙකක් ඇලලෙන පරිදි හතේ රවුම් වටයක් වන ආකාරයට සම්පූර්ණ කරන්න.
 

පස්වැනි වටයේ සිට දහවැනි වටය දක්වා එකම රටාවකි. එනම් පෙර ආකාරයටම යටින් එක් පබළුවක් අල්ලා උඩින් පබළු තුනක් දමා පබළු හතරේ රවුමක් සාදා ගැනීමයි. නැවතත් යටින් එක් පබළුවක් අල්ලා තවත් දෙකක් දමා රවුමක් සාදාගන්න. එවැනි වට දහයක් වන තෙක් සාදාගත යුතුය. 

අවසානයේදී සාදාගත් වට්ටියේ අවසාන වට දෙක ආපස්සට නැවීමක් සිදුකළ යුතුය. එවිට වට්ටියේ වාටිය නැත්තම් ගැට්ට සකසා ගත හැකියි.

අප දැන් වට්ටියේ හැඬලය සාදාගන්නේ කෙසේදැයි බලමු.

 මුලින්ම නූල් කැබැල්ලක් ගෙන එයට පබළු හතරක් දමා ගන්න. පෙර ආකාරයට රවුමක් සාදාගන්න. එක් පේළියකට හතරේ කොටු ටිප්ස් පහක් පමණ ගොතාගන්න. ඔබට හැඬලය දිගට අවශ්‍ය නම් තව හතරේ කොටු වැඩි කරගන්නට පුළුවන. දැන් එම හතරේ පටිය මතින් ආපස්සට හතරේ පටියක් ගොතාගන්න. දැන් පේළි දෙකකි. නැවතත් එම ආකාරයටම තුන්වැනි පේළියද ගොතා ගන්න. දැන් ඔබ අත පේළි තුනක දිග පටියක් ඇති. එය යූ හැඩයක් එන පරිදි නමාගන්න. දැන් තවත් නූල් කැබැල්ලක් ගෙන ඒ මැදට තනි පබළුවක් ගෙන යූ හැඩයේ ආරම්භයේ ඇති පබළු දෙකෙන් නූල් පොටවල් දෙකක් අරගන්න.

ඒ නූල් පොටවල් දෙක මතින් නූල් පොටවල් දෙක දෙපසට යවාගන්න. දැන් නැවතත් යූ හැඩයේ ඉදිරි පබළු දෙකෙන් නූල පාස් කරන්න. නැවතත් පෙර පරිදිම පබළුවක් ගෙන එහි සිදුර තුළින් දෙපසට නූල් පොටවල් දෙක දමා ගන්න. දැන් ඔබට එම යූ හැඩය බටයක් ලෙස පෙනේවි. ඒ අයුරින්ම දිගටම ගොතාගෙන යන්න. ඊට පසු වට්ටියේ ගැට්ට මතින් ගොතාගත් බටය සම්බන්ධ කරන්න. එයින් පසු වට්ටිය දෙපසට සමානව බෙදාගෙන වට්ටියේ ගැට්ට මතට බටයේ අනෙක් කෙළවර සම්බන්ධ කරගන්න. දැන් අපි වට්ටිය ගොතා අවසන්. මෙහි පබළුවල වර්ණ යොදන ආකාරය අනුව වර්ණවත් බවක් හා පෙනුමද විචිත්‍රවත් වේ.

 

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

එන්.ඒ.එන් කවින්ද්‍යා