තැලසීමියා වාහකයන් ද යන වග විවාහයට පෙර දැනගන්න

මැයි 19, 2025

කුරුණෑගල, අනුරාධපුර, මහර, මහනුවර, බදුල්ල, මඩකලපුව යන ස්ථානවල තැලසීමියා මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

රුධිරයේ දෝෂගත හිමොග්ලොබින් නිෂ්පාදනය තැලසීමියාව නම් වේ. මෙය උපතින්ම දරුවන්ට ජාන හරහා සම්ප්‍රේෂණය වන රෝගයකි. මේ වනවිට ලංකාවේ දරුවන් 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් තැලසීමියා රෝගයෙන් පීඩා විඳී. ඒ ප්‍රධාන තැලසීමියා රෝගය වන බීටා තැලසීමියා රෝගයෙනි. රට පුරා මෙම තැලසීමියා වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටියි. වසරකට තැලසීමියා රෝගී දරු උපත් 40ක් පමණ මෙම ප්‍රමාණයට එකතු වෙයි.

මෙය සෞඛ්‍ය පද්ධතියට විශාල ගැටලුවක් මෙන්ම විශාල පිරිවැයක් ද දරන්නට සිදුවන්නකි. පවුල් සංස්ථාවට ද විශාල බලපෑම් එල්ල කරන්නකි. පවුලක තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු සිටියහොත් ඒ වෙනුවෙන් පූර්ණ අවධානය යොමු කරන්නට සිදුවේ.

මෙම රෝගයට ගොදුරුවන දරුවන් සඳහා බොහෝ අවස්ථාවලදී දිගින් දිගටම පාහේ රුධිර පාරවිලයනයක් සිදුකළ යුතුවේ. මෙහිදී රුධිරයේ යකඩ ඉවත් කිරීමේ කටයුත්තක් ද සිදුවේ.

පැහැයන් තුනකින් කාඩ්පත්

සෞඛ්‍ය පද්ධතියේ කාර්යයන් අතර 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ගැහැනු දරුවන් මෙම රෝගයට වාහකයන් ද යන්න සොයා බැලීමට කටයුතු සිදු කෙරේ. ඔවුන් තැලසීමියා වාහකයින් ලෙස හඳුනාගතහොත් ඔවුන්ට කාඩ්පත් 3ක් නිකුත් කෙරේ. මින් කොළ පැහැති කාඩ්පතෙන් කියවෙන්නේ දරුවාට රෝග වාහක තත්ත්වයක් නොමැති බවයි. කහ පැහැති කාඩ්පතෙන් කියැවෙන්නේ දරුවාට රෝගවාහක තත්ත්වයක් ඇති විය හැකිබවයි. එනම් අනතුරුදායක බවකි. රෝස පැහැති කාඩ් පතෙන් කියවෙන්නේ දරුවා රෝග වාහකයෙක් බවයි. එම දරුවා විවාහයේදී තවත් රෝගවාහක දරුවෙක් සමඟ විවාහ නොවිය යුතු බවට මින් අනතුරු ඇඟවේ. ඒ ඔස්සේ මවුපියන්ට අවබෝධයක් ලබා දෙන්නේ තවදුරටත් මෙම රෝගී තත්ත්වය ඇතිවීම වැළැක්වීමටයි. විවාහයට

 

පෙර තම සහකරුවා රෝග වාහකයෙක් ද යන්න හඳුනාගත යුතුවේ. යම් හෙයකින් සහකරුවා රෝග වාහකයකු වුවහොත් ඔවුන් දෙදෙනාට උපදින දරුවන් රෝග වාහකයකු වීමට සියයට 25ක ඉඩකඩක් පවතී.

 

ගළපාගත යුතුම වූ තැලසීමියා පොරොන්දම

 

බොහෝවිට මවුපියන් තමුන් වාහකයන් බව නොදැන විවාහ වේ. තරුණ ප්‍රජාව තමුන්ගේ වාහක තත්ත්වය පරීක්ෂා කර ගැනීම අතිශය වැදගත් වේ. විවාහයට පෙර තැලසීමියා පොරොන්දම ගළපා ගන්නට යැයි කියන්නේ මේ නිසායි. විවාහ ගිවිස ගන්නට පෙරම එම තත්ත්වය හඳුනාගතහොත් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු වෙයි. වාහකයින් දෙදෙනකු විවාහ වී සිටී නම් ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ඇතැම්විට පිටතින් ඩිම්බ හෝ ශුක්‍රාණු ගෙන කලලයක් සාදා තැන්පත් කිරීමට සිදුවිය හැකියි. ඇතැම්විට පළමු දරුවා තැලසීමියා රෝගියකු නොවී දෙවැනි දරුවා තැලසීමියා රෝගියකු වන්නට ද ඉඩකඩ තිබේවි.

 

ඇටමිදුළු බද්ධය

 

මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ ඇටමිදුළු බද්ධයයි. මෙය පහසුවෙන් කළ නොහැකි දෙයකි. ඒ සඳහා විවිධ ගැළපීම් සිදුවිය යුතුයි. බොහෝවිට මෙවැනි සැත්කම් රිජ්වේ ආර්යා ළමා රෝහල හරහා සිදුකරන්නකි.

කුරුණෑගල, අනුරාධපුර, මහර, මහනුවර, බදුල්ල, මඩකලපුව යන ස්ථානවල තැලසීමියා මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මෙහිදී අදාළ පරීක්‍ෂණ සිදුකිරීමට අවස්ථාව තිබේ. එසේම සාමාන්‍යයෙන් කරන රුධිර පරීක්ෂණයකදී වුවද තැලසීමියා රෝග වාහකයෙකු ද යන්න හඳුනාගත හැකි වෙයි. මෙම හඳුනා ගැනීම් ඔස්සේ තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් ඉපදීම වළක්වාගත හැකිවේ. අඛණ්ඩ දැනුම්වත් කිරීම, උපදේශනය සහ හඳුනා ගැනීම ඔස්සේ ඉදිරියේදී තැලසීමියා රෝගය පාලනය කරගත හැකිවනු ඇත.

තැලසීමියා හෙවත් මහා තැලසීමියා රෝගය වැලඳුණහොත් එය සුව කරගත නොහැකි වේ. ඔවුන්ට සාමාන්‍ය ආයු කාලයක් පවත්වාගත නොහැකි වේ. විවිධ සංකූලතාවන්ට මුහුණදීමට සිදුවේ. නමුත් වාහක තත්ත්වයේ සිටින්නන්ට වෛද්‍ය උපදෙස් අනුව සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි වේ.

 

මෙවර තේමාව

 

රෝගියාට ප්‍රමුඛතාව ලබාදෙමින් ඔහු හෝ ඇය කේන්ද්‍ර කර ගනිමින් තැලසීමියාව පිටුදැකීම සඳහා ප්‍රජාව පෙළගැස්වීම මෙවර තැලසීමියා දින තේමාවයි.

රතු රුධිරාණුවල හිමොග්ලොබින් සෑදීම සඳහා ජාන යුගල දෙකක් මවුපියන්ගෙන් ලැබේ. මෙම යුගලයේ එක් ජානයක් පමණක් වෙනසකට ලක්වී තිබුණහොත් හිමොග්ලොබින් සෑදීමේ ප්‍රමාණයේ සහ ගුණාත්මකබවේ වෙනසක් සිදුවුවහොත් එය වාහක තත්ත්වයකි. එය සුළු තැලසීමියාව වේ.

සුළු තැලසීමියාව තත්ත්වයක් මිස රෝගයක් නොවේ. මෙය ගැහැනු දරුවන්ටත් පිරිමි දරුවන්ටත් තිබිය හැකියි. මෙහිදී එක් ජානයක් වෙනස් වූවාට අනෙක් ජානය නිරෝගී එකකි. මේ නිසා අනෙක් ජානය හිමොග්ලොබින් නියම ප්‍රමාණයෙන් සාදයි. නමුත් සරල රුධිර පරීක්ෂණයකදී හිමොග්ලොබින් සෑදීම තරමක් අඩු මට්ටමින් පවතී යැයි හඳුනාගත හැකි වේ. අහඹු ලෙස වාහකයින් දෙදෙනෙක් මවුපියන් බවට පත්වුවහොත් ඔවුන්ට ලැබෙන දරුවාට තැලිසීමියා රෝගය වැලඳීමට සියයට 25ක පමණ අවස්ථාව තිබේ. මෙය මහා තැලසීමියාව නම්වේ. මොවුන්ගේ පෙර සඳහන් කළ ජාන දෙකම නිරෝගී නොවූවකි. හිමොග්ලොබින් නියමිත ප්‍රමාණයෙන් සාදාගත නොහැකි වේ. අධික නීරක්තියට පත්වේ. මේ නිසා මාස 6ක් වැනි වයසේ සිටම රෝහල්ගත වන්නට සිදුවේ.

 

දරුවාගේ ජීවිතයම අනතුරේ

සුදුමැළි වේ. කිරිබීමට නොහැකි වේ. බර අඩුවේ. රුධිරයේ හිමොග්ලොබින් අඩුවීම නිසා අභ්‍යන්තර අවයව එනම් අක්මාව, ප්ලීහාව විශාල වේ. මාස හයේදී හඳුනා ගත් අවස්ථාවේ සිට මුළු ජීවිත කාලය පුරාම මසකට වරක් හෝ සති තුනකට වරක් රුධිරය ලබාදීමට සිදුවේ. ඉතා අධික රුධිර ප්‍රමාණයක් රුධිර බැංකුවලින් ලබාදීමට සිදුවේ. සාමාන්‍යය අපට ආහාර, වතුර ඔක්සිජන් අවශ්‍ය වන්නාසේ මෙම කොට්ඨාසයට රුධිරය වෙනුවෙන් මසකට වරක් හෝ රෝහල් ගත වන්නට සිදුවේ.

 

යකඩ ඉවත් කිරීමේ ස්වභාවික ක්‍රමවේදයක් මනුෂ්‍ය ශරීරය තුළ නොමැත. රුධිර පයින්ට් එකක් හරහා ඒ අයගේ සිරුරට ඇතුළු වන යකඩ සහ අකර්මණ්‍ය රතු රුධිරාණු බිඳ වැටීම තුළින් එකතු වන යකඩ ඉවත් කිරීම සඳහා නික්ෂේපණ හෝ පෙති ලබාගත යුතුවේ. යකඩ තැන්පත් වීම නිසා සිරුරේ සෑම අවයවයක්ම පාහේ අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. දියවැඩියාව, තයිරොයිඩ් ඌනතාව, අක්මාවේ යකඩ තැන්පත්වීම, හෘදය වස්තුවේ යකඩ තැන්පත් වීම සිදුවේ. මේ නිසා වරින්වර රුධිර පරීක්ෂාවන් සිදු කිරීමට, හෝමෝන ප්‍රතිකාර සිදුකිරීමට අවශ්‍ය වේ.

 

මෙවැනි දරුවකු පවුලකට ඉපදුණහොත් එම පවුල ආර්ථික, මානසික සහ කායික වශයෙන් බොහෝ සෙයින් අසරණ තත්ත්වයට පත්වේ. මේ නිසා වාහක පරීක්‍ෂණවලට යොමුවීම අතිශය වැදගත් වේ. තමන් වාහක තත්ත්වයේ පසුවන්නන්ද යන්න තරුණ දරුවන් පරීක්‍ෂා කරගත යුතුවේ. එසේ නොවීමෙන් ගත කරන්නට සිදුවන්නේ පීඩාකාරී ජීවන රටාවකි.

තැලසීමියා වාහක තත්ත්වය රෝග ලක්ෂණවලින් තොරයි. Full Blood ඔස්සේ රෝග වාහකයෙක් ද යන්න පිළිබඳ සැක පළ කරගත හැකිවේ. ඒ අනුව තැලසීමියා රෝගය තහවුරු කරගන්නා පරීක්ෂණ දෙකක් ඔස්සේ එය පරීක්ෂා කෙරේ.