වී කරලින් පිරි මල් යාය

ජනවාරි 9, 2023

 

නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම්  බවත් අප දන්නා දෙයක්.

රිබන් එම්බ්‍රොයිඩරි භාවිතයෙන් කාන්තා සහ ළමා ඇඳුම්, බිත්ති සැරසිලි, කුෂන් කවර, අත් බෑග්, අත් පසුම්බි වැනි දෑ බහුල වශයෙන් අලංකාර කරගත හැකියි. විශේෂයෙන් ම බිත්ති සැරසිලි ලෙස භාවිත කෙරෙන දර්ශන ඉතාමත් අලංකාර ලෙස ස්වාභාවික පෙනුම ඉස්මතු වන සේ නිර්මාණය කිරීමට රිබන්වලට ඇත්තේ අපූර්ව හැකියාවකි.

බලන්න මේ නිර්මාණය දෙස වී කරලින් පිරි මල් යායක්. හරිම අපූරුයි නේද.

මෙය ත්‍රිමාණ නිර්මාණයක් ලෙසින් සකසා නව වසරේ  ඔබේ විසිත්ත කාමරයේ බිත්තිය සරසන්නට කදිමය.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

රිබන් එම්බ්‍රොයිඩර් රාමුවක්

ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු No: 22/18

ගෝල්ඩන් යෙලෝ, ඕෆ් වයිට්, ක්‍රීම්, ඔලිව් ග්‍රීන්, ඩාර්ක් ග්‍රීන්, ඩාර්ක් බ්ලූ සහ යෙලෝ වර්ණයෙන් යුතු බේබි රිබන්

ස්කයි බ්ලූ, ඔලිව් ග්‍රීන් සහ ඩාර්ක් ග්‍රීන් අඟල් 1/2 පළල සිල්ක් සැටින් රිබන්

ලිනන් රෙදි කොටසක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව ලිනන් රෙදි කොටසට එම්බ්‍රොයිඩර් රාමුව දමා සකසා ගන්න. No: ට්‍රැපැස්ට්‍රි ඉඳිකටුවට ඕෆ් වයිට් බේබි රිබන් දමා ගන්න. දැන් නිර්මාණයේ යට සිට මැද හරිය දක්වා උසට වී නාරටි මසා ගත යුතුයි. යටින් ඉඳිකටුව ගෙන හොඳින් අඹරා මැද හරියෙන් යටට ඉඳිකටුව ගසන්න. එවිට නාරටිය කෙලින් මසා ගතා හැකියි. යෙලෝ ගෝල්ඩ් සහ ක්‍රීම් පැහැයෙන් අනෙක් නාරටිත් එලෙස මසා ගන්න.

ඉන්පසු ඒ එක් එක් නාරටිවල වී කරල් හියරින් බෝ ක්‍රමයට (Hiring bow stitch) බේබි රිබන්වලින් මසා ගත යුතුයි. එක් එක් නාරටිවල පැහැයෙන්ම රූපයේ පරිදි ඉරිඟු කරල් මසා ගන්න. අවසානයේ දී එක් එක් වී කරලේ පාටින්ම දමා ගත් කපු කැරලි නූල් මඟින් වී කරලෙන් කෙඳි මතු වී ඇති ආකාරයක් දිස් වන පරිදි ස්ට්‍රෙච් ස්ටිච් (Stretch stitch) මැහුමෙන් අඟල් 1/2ක් පමණ දිගට කෙඳි මසා වී කරල් නිම කර ගන්න.

 

ස්කයි බ්ලූ අඟල් 1/2 රිබන් එකෙන් රිබන් ස්ටිච් (Ribbon stitch) ක්‍රමයට පෙති 10 - 12 ක් ලෙස දමා ගනිමින් නිල් පැහැ මල් නිර්මාණය කර ගන්න. ඉන්පසු අඟල් 1/2 සැටින් ඩාර්ක් බ්ලූ රිබන් එකක් ගෙන මලෙහි මැදට කෙටි ලූප්ස් දමා ගනිමින් මල අවසන් කරන්න. මේ ආකාරයට රූපයේ පරිදි නිල් පැහැ මල් සියල්ල නිර්මාණය කර ගන්න.

 

දැන් සුදු පාට බේබි රිබන් එකෙන් කෙටි ස්ට්‍රෙච් ස්ටිච් දමමින් පෙති 10 පමණ සිටින සේ සුදු පැහැ මල මසා ගන්න. කහ පාටින් ෆ්රෙන්ච් නොට්ස් (French knot) දමා ගනිමින් මල් රේණු සකසා ගන්න.

කහ වර්ණ ලූෂ් ස්ටිච් (Lush stitch) එකෙන් මැහුම් 8ක් පමණ දමා ගනිමින් කහ පැහැ මල මසා දුඹුරු වර්ණයෙන් ෆ්රෙන්ච් නොට් දමා ගනිමින් රේණු මසා ගන්න. ඔලිව් ග්‍රීන් අඟල් 1/2 බේබි රිබන් භාවිත කරමින් රිබන් ස්ට්‍රෙච් මැහුමෙන් රූපයේ දැක්වෙන පරිදි අවශ්‍ය කොළ ද මසා ගන්න. ඉරිඟු කරල්වල ඇති ගොයම් කොළ සඳහා ඉරිඟු කරලේ පාටින්ම රිබන් එක ගෙන රිබන් ස්ටිච් එකෙන් රූපයේ පරිදි ස්වභාවිකත්වය ඔප් නැංවෙන ලෙස නිර්මාණය කර ගන්න.

 

ඉන්පසු කොළ, සුදු, කළු සහ දුඹුරු කැරැලි නූල්වලින් මසාගත් සමනලයකු හෝ වෙළෙඳපොළේ මිල දී ගත් සමනලයෙකු හෝ කුරුල්ලකු මෙහි දැක්වෙන පරිදි අලවා අලංකාර කර ගන්න.

 

 

උපදෙස්

අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අාලෝකා