කුෂන් කවරය හැඩ කළ කුරුලු යාළුවා

ජනවාරි 23, 2023

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න ගසක අත්තක් මත වසා හිඳින මේ අපූරු කුරුලු යාළුවා... සොබාදහම මොනතරම් විස්මයජනක ද? මේ අලංකාර දසුන කියන්නේ එයයි. ආලින්දය සරසන කුෂන් කවරයකටත් කදිමයි නේද? පින්තාරු තීන්ත  යොදා ගනිමින් වර්ණ ගන්වන මේ අත්කම ඔබටත් පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

 අඟල් 18 × 18 ප්‍රමාණයේ සෝදා මැදගත් ලිනන් රෙදි කොටසක්

 ලීෆ් ග්‍රීන්, ඔලිව් ග්‍රීන්, මැජන්ටා, බර්නසීන ඔරේන්ජ්, ගෝල්ඩන් යෙලෝ, ක්‍රිම්සන් රෙඩ්, සුදු, දුඹුරු යන වර්ණයන්ගෙන් රෙදි පින්තාරු තීන්ත.

 No: 01, 03 සහ 05 ප්‍රමාණයේ කුඩා රවුම් පින්සල්

 පැලට් එකක්

 අඟලක ඝනකම ඇති අඟල් 18 × 18 ප්‍රමාණයේ රිජිෆෝම් කැබැල්ලක්

 ඒ ප්‍රමාණයෙන්ම පොලිතීන්

 ඩ්‍රොවින් පින්ස්

 ෂේඩිං බ්‍රෂ් එකක්

 

 

 

පළමුව ටේලරින් කාබන් කොළයක් ආධාරයෙන් කුෂන් කවරයේ දැක්වෙන රූපය ලිනන් රෙද්ද මතුපිට පිටපත් කරගන්න. ඉන්පසු රිජිෆෝම් එක මත ඉටි කොළය තබා, ඒ මත පිටපත් කරගත් රෙද්ද තබා ඩ්‍රොවින් පින් මඟින් රඳවා ගන්න.

දැන් රූපය වර්ණ ගන්වමු. ඒ සඳහා පළමුව No: 3 පින්සල ගෙන පැලට් එකට දුඹුරු වර්ණය යොදා කුරුල්ලා රැඳී සිටින අත්ත රූපයේ පරිදි වර්ණ ගන්වා ගන්න.

ඉන්පසු ගෝල්ඩන් යෙලෝ වර්ණයෙන් කුරුල්ලාගේ හිසේ සිට බෙල්ල දක්වා පහළට වර්ණ ගන්වන්න. ඔරේන්ජ් වර්ණය මිශ්‍රකර එම පාට දෙක හමුවන ස්ථානය ෂේඩිං බ්‍රෂ් එක ආධාරයෙන් ෂේඩ් කර ගන්න. කුරුල්ලාගේ යටි කොටසට මැජෙන්ටා වර්ණය යොදා ගන්න.

 

කුරුල්ලාගේ පිහාටු සඳහාත් එම පින්තාරු ක්‍රමය අනුගමනය කරන්න. පළමුව මැජෙන්ටා වර්ණයත්, දෙවනුව දුඹුරු වර්ණයත් පසුව ටර්කිෂ් බ්ලූ වර්ණයත් දමා රූපයේ පෙනෙන ආකාරයට වර්ණ ගන්වන්න. පෙඳය කොටසට බර්නසීන වර්ණය ආලේපකර රූපය වියැළෙන්න හරින්න.

 

රූපයේ පෙන්වා ඇති ආකාරයට ඔලිව් ග්‍රීන්, ඩාර්ක් ග්‍රීන්, ලීෆ් ග්‍රීන් යොදා No: 2 පින්සලෙන් කළු වර්ණය ගෙන කුරුල්ලාගේ හොටත්, ඇසත්, කකුල් දෙකත් ඇද ගන්න. No: 1 පින්සල භාවිත කරමින් කුරුල්ලාගේ ඇගෙහි ඇති කුඩා තිත් රේඛා ඇඳ ගන්න. කොරපොතු ආකාරයෙන් පිහාටු වෙන්කර ඇති ආකාරය ද No: 1 පින්සලෙන් සුදු වර්ණයෙන් පින්තාරු කරගන්න.

කුඩා ක්‍රිම්සන් රෙඩ් බෝල දමමින් මල් කිනිත්ත වර්ණකර සුදු පාටින් කුඩා තිත් තබා හැඩකර ගන්න. ටර්කිෂ් බ්ලූ වර්ණ මල් ද එසේ වර්ණ ගන්වා අවසන් කරගන්න. මේ අාකාරයට අනෙක් කුෂන් කවරත් රූපයේ පෙ‍ෙනන පරිදි වර්ණ ගැන්විය හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අාලෝකා