ආදරේට ආදරයෙන් වැලන්ටයින් තෑග්ගක්

පෙබරවාරි 13, 2023

පෙබරවාරි නැත්නම් නවම් මාසය ආදරණීය හදවත්වලට හිමි මාසයයි. පෙම් ලොව ප්‍රේමණීය දිනය, වැලන්ටයින් යෙදී ඇත්තේ පෙබරවාරි 14 වැනි දිනටයි. ලොව පුරා වෙසෙන පෙම්වතුන් පෙබරවාරි  14 වැනිදා ට ඒ වෙනුවෙන්ම විශේෂ වුණු ආහාර වර්ග, මල් හා තෑගි තම ආදරණීයයන් අතරේ හුවමාරු කර ගන්න අමතක කරන්නේ නැහැ.

 

මේ නිසාම පෙම්වතුන්ගේ දිනයට දින කීපයකට කලින්ම ඊට ලෑස්ති වෙනවා. තමන්ගේ අතින්ම සැකසූ සිහිවටනයක් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට  තිළිණකර තම ආදරය ප්‍රකාශ කරන්නයි මේ අය කැමති.

මේ චොකලට් ගිෆ්ට් බොක්ස් එක එවැනි ආදරවන්තයන්ටයි. වැලැන්ටයින් සමරන්න එයාව හමුවන්න යන ඔයාටත් මෙය පහසුවෙන් සකසා ගත හැකියි.

අවශ්‍ය දේවල්

රතු සහ කළු බෝඩ්

රන්වන් පැහැ බෝඩ්

රතු ග්ලිටර් ෆෝම් ෂීට්

මිරර් බෝඩ්

සුදු භාග පබළු

අඟලක් පළල රතු රිබන් යාර 1/4ක්

ගම්

කතුරක්

 

නිර්මාණය කරන ආකාරය

පළමුව පහත දී ඇති 1 රූප සටහනේ දිග පළල අනුව රතු වර්ණයෙන් බෝඩ් කොටසක් කපා ගන්න. ඉන්පසු 1 රූප සටහනින් පෙන්වා දී ඇති කොටසේ කඩඉරි මඟින් පෙන්වා ඇති තැන්වලින් නැමි සකසා ගන්න. සකසා ගත් නැමිවලින් නමා පෙට්ටියක් ආකාරයට සකසා ගන්න. පසුව කළු වර්ණයෙන් පෙන්වා ඇති ආකාරයට බෝඩ් කොටස් කපා අවුට්ලයින් සිටින පරිදි අලවා ගන්න. පසුව එහි උඩ සිට  අඟලේ රිබන් කොටස වටේට අලවා ගන්න. අලවා ගැනීමේදී ඉදිරියට බෝ එකක් දමා ගැනීම සඳහා රිබන් ඉතුරුවන ලෙස අලවා ගන්න. නැවතත් රතු ග්ලිටර් ෆෝම් ෂීට්වලින් හදවත් හැඩ ( Heart shape) කපා වටේට පෙනෙන පරිදි අලවා ගන්න.

 

දැන් පෙට්ටියේ පියන් සකස්කර ගනිමු. ඒ සඳහා 2 රූප සටහනේ කඩඉරි මඟින් පෙන්වා ඇති තැන්වලින් නැමි සකස්කර ගන්න. පසුව පෙන්වා දී ඇති ආකාරයට අදාළ තැන්වලින් කපා ගන්න.  නැමිවලින් නමා කට් කරන ලද කොටසේ ඇතුල් පැත්තට සිටින ලෙස අලවා පියන සකසා ගන්න. පියනෙහිද පෙන්වා ඇති ආකාරයට කළු බෝඩ් කොටස් කපා අවුට්ලයින් සිටින සේ අලවා ගන්න. එහි වටේ අලංකරණය කර ගැනීම ඔබ කැමැති පරිදි කරගත හැකියි. පියනෙහි ද අවුට් ලයින් සිටින ලෙස කළු බෝඩ් කොටසක් කපා අලවා එහි වටේට සුදු පබළු අලවා ගන්න.

එහි උඩට සුබ පැතුම ලියා හෝ කැමැති පරිදි අලවා ගන්න. රෝස මලක් සහ රන්වන් පැහැ බෝ එකක් ද අලවා ගන්න. දැන් කැමැති පරිදි අලංකාර කර ගන්න.

 

3 රූප සටහනේ පෙන්වා ඇති ලෙස කොටස් දෙකක් කපා ඉහත පෙට්ටි පියන් සකස් කරගත් ආකාරයටම පෙට්ටි කොටස් දෙක සකස් කර ගන්න. එලෙස සකස් කරගත් පෙට්ටි කොටස් දෙකෙහි දෙපැත්තට රන්වන් මිරර්බෝඩ් කොටස් කපා අවුල් ලයින් සිටින පරිදි අලවා ගන්න. එහි ඉදිරියට පෙනෙන මිරර් බෝඩ් කොටස්වල කැමැති ආදරණීය වදනක් ලියා හෝ කපා අලවා ගන්න. පසුව කලින් නිමකර ගත් ලොකු පෙට්ටි කොටසේ පළමු අඟල් 2 1/2 කොටස අතහැර ඊළඟ අඟල් 5 කොටසෙහි පෙනෙන පරිදි මිරර් බෝඩ් ඇල වූ කොටස් ඉදිරියට පෙනෙන ලෙස පෙට්ටි කොටස අලවා ගන්න.  අනෙක් පෙට්ටි  2 1/2 කොටස අතහැර අඟල් 5 කොටසෙහි යටින් පෙනෙන ලෙස අලවා ගන්න. මෙම කොටස් සියල්ල එකතුවන ලෙස පෙට්ටියක් ආකාරයට එකතුකර රිබන් එකෙන් බෝ එකක් ගැට ගසා ගන්න. අලංකාර කරගැනීම කැමැති පරිදි කරගන්න.

අවසානයට විවධ වර්ගයේ චොකලට්වලින් මේ බොක්ස් පුරවා ඔබේ ආදරණීයන්ට තිළිණ කරන්න.

 

උපදෙස්:

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ