පුංචි දුවට අවුරුද්දට හැඩෙන් පිරුණු මල් ගවුමක්

මාර්තු 6, 2023

 

අසුරු සැණින් කාලය වෙනස් වෙද්දී මැවෙන විලාසිතා අපමණයි. යෞවනියකට විලාසිතා කෙතරම් අගනේද දියණියක් සිටින මවකට විලාසිතා ගැන ඇත්තේද නොතිත් ආශාවකි. නිරන්තරයෙන්ම පුංචි ගවුම් පොඩි අන්දවා ඇගේ හැඩ බලන්නේ දෝර ගලා යන සතුටෙනි. එහෙත්

මේ දවස් වල නම් අලුතින් ඇඳුමක් මිලදී ගන්නවා කියන්නේ ගෙදර ආර්ථිකයට ලොකුවට දැනෙන දෙයක්. එහෙම කියලත් පුංචි දෝණිගේ හැඩ නොබලා ඉන්න බැහැනේ නේද? අපි ඇයට අලුත් ගවුම් පොඩියක් මහන්න මෙන්න මේ විදියට පුංචි උත්සාහයක් දරමු. ඔබේම අතින් මසා ගත හොත් ඒ සඳහා වැය වන මුදල තරමක් අඩු කරගත හැකිය.

 

එසේ නම් මෙන්න ඒ සඳහා

අවශ්‍ය මිමි

*උරහිස අඟල් 11

* කරවට අඟල් 12

* ඉනදක්වා උස අඟල් 14

* පපුවවට අඟල් 27

*ඉණවට අඟල් 26

 

සායට මිමි.

ඉණවට අඟල් 26

සාය උස අඟල් 18

 

පුංචි දෝණිගේ ගවුම සඳහා වර්ණ 2ක් භාවිතකර ඇති අතර සාය සඳහා රෙදි හා නෙට් එකක් යොදා ඇත.

මුලින් බ්ලව්සය කැපීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අදින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4

ක් පහත් කර A ලක්ෂයට යා කරන්න.එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AE වේ. DE යාකර මුලීක කර අදින්න.

කර ගැඹුර පහත්කර අවශ්‍ය කර අදින්න. E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අදින්න.

 

අත් කට රේඛාවට උස සෙවීම සඳහා පපුවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න.එය AF වේ. හරහට රෙඛාවක් අදින්න. එය අත් කට රේඛාව යි.

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳිම සදහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපියන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අදින්න.

 

පසුපස

පසුපස සඳහා බලවාටියට ගන්න.බලවාටියෙ සිට අඟල් 1ක් මැහුම්වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න පසුපස කර ගැඹුර අඟල් 1.5 ක් පමණ පහත්කර කර ඇද කපා ගන්න.

 

ෆ්ලෙයාඩ් සාය

 

සාය සඳහා රෙදි කොටස් 2ක් භාවිත කර ඇති බැවින් සායවල් 2ම කැපිය යුතුයි. එමෙන්ම පසුපස කොටස උස අඟල් 3ත්5ත් අතර ප්‍රමාණයක් වැඩි බැවින් එම උසට සාය ගෙන එම ප්‍රමාණය ඉදිරිපසින් කපා ඉවත් කරන්න.

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිලිතුර ට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ.B හා C රේඛාවෙන් කපාගන්න

සාය දිගහැර ඉදිරිපස අඟල් 3ත් 5ත් අතර කපා ඉවත් කර ගන්න.

 

මෙලෙසින් මසා ගනිමු

 

පළමුව බ්ලව්සය උරහිස මසන්න.

පසුපස සිපරය අල්ලා ගන්න.

කර පයිපින් හෝ පෙශින් කර ගන්න. පසුව

අත සඳහා බයස් එකක් කපා ෆ්‍රිල් කර අල්ලා ගන්න.

සායවල් දෙකම ඉණට අල්ලා ගන්න.

අලංකාරය සඳහා වාටියට ඔබට අවශ්‍ය දෙයක් අල්ලා ගත හැකිය.

 

 

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

දිලුෂි දසනායක