රෝස මලින් පිරි මල් බඳුනක හැඩ

මාර්තු 27, 2023

නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම්  බවත් අප දන්නා දෙයක්.

රිබන් එම්බ්‍රොයිඩරි භාවිතයෙන් කාන්තා සහ ළමා ඇඳුම්, බිත්ති සැරසිලි, කුෂන් කවර, අත් බෑග්, අත් පසුම්බි වැනි දෑ බහුල වශයෙන් අලංකාර කරගත හැකියි. විශේෂයෙන් ම බිත්ති සැරසිලි ලෙස භාවිත කෙරෙන දර්ශන ඉතාමත් අලංකාර ලෙස ස්වාභාවික පෙනුම ඉස්මතු වන සේ නිර්මාණය කිරීමට රිබන්වලට ඇත්තේ අපූර්ව හැකියාවකි.

බලන්න මේ නිර්මාණය දෙස රෝස මලින් පිරි අපූරු මල් බඳුනක්. හරිම අපූරුයි නේද..

මෙය ත්‍රිමාණ නිර්මාණයක් ලෙසින් සකසා ඔබේ විසිත්ත කාමරයේ බිත්තිය සරසන්නට කදිමයි

අඟල් 10 × 18 ප්‍රමාණයේ ලිනන්

හෝ අමු රෙදි

දුඹුරු සහ අළු පාට පින්තාරු තීන්ත

රෝස  වර්ණයෙන් 1/2 පළල

සිල්ක් සෙටින් රිබන්

සුදු වර්ණයෙන් 1/2 පළල

සිල්ක් සෙටින් රිබන්

වෙ‍ෙළඳපොළෙන් මිල දී ගත් ලොකු සහ කුඩා කෘත්‍රීම කොළ වර්ග

එම්බ්‍රොයිඩරි රාමුවක්

18 - 22 ට්‍රැපැස්ට්‍රි ඉදිකටු

එම්බ්‍රොයිඩරි කතුරක්

 

 

 

ලිනන් හෝ අමු රෙදි කොටස ගෙන රූපයේ දැක්වෙන මල් බඳුන ඇඳගන්න. ඉන්පසු අළු වර්ණය භාවිත කරමින් මල් බඳුන වර්ණ ගන්වා ගන්න. මල් බඳුන වටේට සුදු වර්ණය සහ අළු වර්ණය මිශ්‍ර කරමින් ෂේඩ් වන ආකාරයට පසුබිම වර්ණ ගන්වා වියළා ගන්න. ඉන්පසු අඟල් 1/2 සිල්ක් සෙටින් රිබන් භාවිත කරමින් අඟල් 10 ප්‍රමාණයේ කොටසක් ගෙන ෆොල්ඩඩ් රෝස මල සකසා ගන්න. එවැනි මල් 10ක් පමණ සකසා ගන්න. ඉන්පසු ලිනන් රෙද්දේ මල අවශ්‍ය ස්ථානය ලකුණුකර ඒ මැදට ෆොල්ඩඩ් රෝස මලක් තබා මසා ගන්න. ඉන්පසු ඒ වටා පෙති මසා ගන්න. ඉඳිකටුවෙන් උඩට මතුකර පෙත්තක් සිටින සේ ඒ ළඟින්ම ලූප් ස්ටිච් එකක් දමා පෙත්ත සකස්කර ගන්න. ඒ ආකාරයෙන් පෙති දමා ලොකු රෝස මල් මසා ගන්න.

චෙරී බ්ලොසම් මල සඳහා අඟල් 1/2 සුදු රිබන් එකෙන් අඟල් 1/2 පෙති කපා වටේ ගිනි දැල්ලකට අල්ලා සෙම්න් පෙත්ත වටේ පුච්චා ගන්න. එවැනි පෙති 5ක් එකට තබා මසා ගන්න.  කහ පාට කපු කැරැලි  නූල් ගෙන ඒ මැදට ෆ්‍රෙන්ච් නොට්ස් දමා ගන්න. එවැනි මල් අවශ්‍ය තැන්වලට මසා ගන්න. අවසානයේදී වෙළෙඳපොළෙන් මිල දී ගත් ලොකු කුඩා කොළ තබා ගනිමින් මසා නිමකර ගන්න.

 

 

උපදෙස්

අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අලෝකා