වෙසක් පෝයට පුදන්න නෙළුම් මලක්

මැයි 6, 2024

 

මෙහෙම හදමු

බක් මහේ ප්‍රීතිය ගෙවී යද්දීම මේ උදාවන්නේ පින්බර වෙසක් මාසයයි. ලක්වාසී අප පමණක් නොවෙයි ලෝකයේම බෞද්ධ ජනයා වෙසක් සිරිය වෙනුවෙන් හරිහරියට ලකලැහැස්ති වෙනවා. මේ, වෙසක් සමයේ පන්සලට පූජා කරන්නට හැකි නෙළුම් මල් නිර්මාණයකි. බුද්ධ පූජා තැබීමේදී පූජා කරන ආහාරපාන ආදිය පූජා කරන්නට මෙවැනි ආවරණයක් එහෙමත් නැතිනම් පූජාව හෝ පිරිකර තබාගෙන යන බන්දේසියක් ලෙසින් භාවිත කළ හැකියි. පින් කැමැති ඔබ වෙනුවෙන් එය පහසුවෙන් නිර්මාණය කරගත හැකි අයුරු ලබා දෙන්නෙමු.

 

නෙළුම් මල සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

බොක්ස් බෝඩ් එකක් (සාමාන්‍ය ඝනකම)

සෙටින් රෙදි (රතු පැහැති)

සෙටින් රෙද්දට ගැළපෙන රතුපාට පොප්පලින් රෙදි

සිහින් බෝඩරයක් (අඟල් 1 පමණ උස රන්වන් පැහැති)

ග්ලිටර් පේපර් 1ක් (Gllitter Paper- ස්ටිකර් සේ ඇලවිය හැකි)

ගම්කූරු (Glue Sticks)

බයින්ඩර් ගම්

කුඩා ස්ටෝන්ස්

 

නෙළුම් මල සාදා ගන්නා ආකාරය

 

බොක්ස් බෝඩ් එක ගෙන 1 වැනි රූප සටහනේ පෙන්වා ඇති ආකාරයේ පෙති 12ක් කපා ගන්න. කපාගත් පෙතිවල බයින්ඩර් ගම් තවරා, සෙටින් රෙද්ද මත තබා අලවා ගන්න. දෙපැත්තම එසේ අලවා ගත යුතුයි. (දෙවැනි රූපය බලන්න) එසේ අලවාගත් පෙතිවල වටේට, හීනි බෝඩරය ගෙන ක්‍රමානුකූලව අලවාගන්න. මේ සඳහා ගම්කුරු සහ ග්ලූගන් එක භාවිත කරන්න. ඉන්පසු පෙතිවල මැදින් පහළ සිට ඉහළට අඟල් 1 1/2ක පමණ කැපුමක් දමන්න. (තුන්වැනි රූප සටහන බලන්න.) කඩ ඉරිවලින් පෙන්වා දී ඇත්තේ කැපිය යුතු ආකාරයයි. පෙති සියල්ල මැදින් කපා ගත් පසු එහි වම් කොටසෙහි ගම් තවරා දකුණුපස කොටස මත තබා හොඳින් අලවාගන්න. (හතරවැනි රූපය බලන්න)

බොක්ස් බෝඩ් එක ගෙන අඟල් 4ක් පමණ විෂ්කම්භයකින් යුතු රවුම් දෙකක් කපා ගන්න.

 

කපා ගත් රවුම් දෙකෙන් එකක සෙටින් රෙද්ද ද, අනෙක් රවුමෙහි Gllitter Paper එක ද අලවා කපා ගන්න. (පස්වැනි රූප සටහන බලන්න)

රතුපාට පොප්ලින් රෙද්ද අලවා කපාගත් රවුම ගෙන, රතුපාට රෙදි ඇලවූ පැත්ත යටට සිිටින සේ තබා කලින් සකස් කර ගත් පෙති 12න් 6ක් ගෙන රවුම වටේට තබා Glue Gun එක ආධාරයෙන් අලවාගන්න. (හයවැනි රූප සටහන බලන්න)

ඉන්පසු ඉතිරි පෙති හයගෙන කලින් ඇලවූ පෙති අතරින් සිටින සේ තබා අලවාගන්න. මෙසේ අලවා ගැනීමට පෙර, සම්පූර්ණයෙන් නිම වූ නෙළුම් මල හොඳින් නිරීක්ෂණය කරන්න.

එවිට යට කොටසේ පෙති විහිදි ඇති ආකාරයත්, අනෙක් පෙති තරමක් පිපී ඇති ආකාරයත් ඔබට පෙනී යයි.

ඇතුළත පෙති හය අලවාගන්නා ආකාරය හත්වැනි රූප සටහනේ දක්වා ඇත. කඩ ඉරිවලින් දක්වා ඇත්තේ ඇතුළත පෙති රැඳවිය යුතු ආකාරයයි.

පෙති සියල්ල හොඳින් අලවා ගත්පසු Gllitter Paper එක ඇලවූ රවුම ගෙන, මලෙහි මැදට තබා අලවා ගන්න. ඉන්පසු මහත රන්පැහැති බෝඩරය ගෙන එම රවුම වටේ අලංකාරවත් ලෙස අලවා ගන්න.

නෙළුම් මල තවත් හැඩ කිරීම සඳහා කුඩා ස්ටෝන්ස් භාවිත කරන්න. (සම්පුර්ණ කරන ලද නෙළුම් මල හැඩකර ඇති පරිදි)

මෙම නෙළුම් මල සෑදීමේදී ඔබට කැමැති ඒ සඳහා ගැළපෙන තවත් වර්ණ යොදා ගත හැකියි. එමෙන්ම පෙති ගණන වැඩිකර මලේ විශාලත්වය ද වැඩිකර ගත හැකිය. කුඩා ස්ටෝන්ස් පමණක් නොව සීකුවින්ස්, පබළු ආදිය ද නිර්මාණය ලස්සන කිරීම සඳහා ඔබට යොදාගත හැකිය.

 

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

නයනාංජලී දෙහිපිටිය