කිඹුල් තල්ලෙන් නිවෙසේ වාසනාව ළඟාකර ගන්න සරල ක්‍රමයක්

මැයි 6, 2024

 

වාස්තු විද්‍යානුකූලව නිවෙසක් ඉදිකිරීමේදී වහලය පිළිබඳ වඩාත් හොඳින් අවධානය යොමු කළ යුතු වෙයි. මේ ගැන අප පසුගිය ලිපි කිහිපයකදීම ඔබට ඉතා හොඳින් පැහැදිලි කරන ලදි. පසුගිය ලිපියේ දී අප සාකච්ඡා කළේ වාස්තු දෝෂවලින් තොරව වහලය සැකසීමේ මූලික සිද්ධාන්ත කිහිපයකි. වාස්තු දෝෂ බොහෝ නිවාසවල බහුලව දකින්නේ ද වහලයේය. ඒ නිසා වහලය සැකසීම සඳහා පළපුරුදු වඩු කාර්මිකයකු යොදා ගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. වහලය ගැන ඔබට ද හොඳ අවබෝධයක් තිබිය යුතුමය.

 

අප පසුගිය සතියේදී සඳහන් කළ ආකාරයට තනි පලයේ වහලය මිනිස් වාසයට සුදුසු නෙවෙයි. පල හතරක වහලය සුදුසු වන්නේ පොදු ස්ථාන සඳහාය. නැත්නම් පවුල් කිහිපයක් එහි වාසය කළ යුතුය. නමුත් පල හයක වහලය ඉතා හොඳින් පල දෙන වාසනාවන්ත නිවෙසකි.

වහලයේ උසින් තවත් වහලයක් සාදා එම වහලයෙන් පහළට ජලය වැටීම ඉතා අසුබ පිහිටීමකි. ඒ සඳහා පිළියම වන්නේ ඉහළ වහලයට වැහි පීල්ලක් යෙදීමයි. එසේම වහලයේ බාල්ක ගැන ද අපගේ අවධානය යොමු කළ යුතු වෙයි. නිවෙසක වහලය සඳහා බාල්ක සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වීම වඩාත් සුදුසුය. එසේම බාල්ක සෑමවිටම තනි ලීයෙන්ම නිර්මාණය විය යුතුය. තවද බාල්ක නිවෙසේ දිග් අතට නොදැමිය යුතුය. ප්‍රධාන දොර උළුවස්සට හා අනෙක් උළුවහු ජනෙල්වල මැදට හෝ කණුවලට එල්ල නොවන සේ බාල්ක දැමිය යුතුය. නිවෙසේ හරි මැද යට ලීයේ හරි මැද හසුවන ලෙස ද බාල්ක යෙදීම නුසුදුසුය.

 

නිවෙසට යොදන මුදුන් යට ලී 3 -5 වැනි ඔත්තේ ගණනක් විය යුතුය. මුදුන් යටලීයේ මුළු දිග ප්‍රමාණය හරි අඩක් වන ලෙස මූට්ිටු යෙදීම ද නොකළ යුතුය. ගෙහිමියාගේ උසට වඩා අඩු ලී කැබැල්ලක් යටලී පිරිද්දුමට යොදා ගැනීම ද අසුබය. මුදුන් ලීය සඳහා විවිධ වර්ගයේ ලී නොගෙන එකම වර්ගයේ ලී යොදා ගත යුතුය. යට ලී පිරිද්දුම් දෙකක් එක කෙළින් සිටින ලෙස යට ලී තැබීම ද අසුබය. යට ලී මූට්ටුව යොදන නිවැරැදිම ක්‍රමය කිඹුල් තල්ල ක්‍රමය බව වාස්තු ශාස්ත්‍රයේ සඳහන් වේ.

 

කිඹුල් තල්ල යනු ඉතා සාර්ථක ක්‍රමයකි. එය පැරැණි ක්‍රමයක් වුවත් වර්තමාන ගෘහ නිර්මාණශිල්පීන් ද මේ ක්‍රමය තවමත් යොදා ගනී. මෙහිදී මුලින්ම පරාලයේ කෙරවල පලු යවා ඉවත්කර ගනු ලබයි. පලු යැවීමේදී ලීයේ පළල මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් ඉවත්කර ගත යුතුය. ඉන්පසු එම මූට්ටු දෙක යාවෙන ස්ථානයේ හරි මැද හතරැස් ලී කොටවුක් ලෙසින් සකස්කර එය ලී කූඤ්ඤයකින් පුරුද්දනු ලබයි. මෙයට සමාන තවත් මූට්ටු ක්‍රමයක් වන්නේ කයිනෝක්කු මූට්ටුවයි. මේ ක්‍රමය ද යට ලී දෙකක් එකට සම්බන්ධ කිරීමට යොදා ගනියි.

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යා උපදේශක

ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි