අමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් පවුලෙන් ජීවිතයට ආදර්ශයක්

නොවැම්බර් 18, 2020

ලොව පුරා වසංගතයක් සුළි කුනාටුවක්මෙන් හමා ගෙන යද්දී අමෙරිකාවේ ජනාධිපතිවරණය ටොනාඩෝවක් බවට පත් කිරීමට අදූරදර්ශී නායකයකුවූ ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමත්විය. ජයග්‍රහණය පෙනි පෙනී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියාවූ ජෝ බයිඩින් කළේ කෝපි මල් ඉහිරෙනවාක් මෙන් සුහද සිරියාවන්ත සිනහවක් පාමින් නිහඬව බලා සිටීමය. නොවැම්බර් 20 වැනි දින 78 වැනි උපන් දිනය සැමරීමට නියමිත ඔහුගේ සිනාවේ නව යෞවනයකුගේ ජවය රැඳී පවතියි. ඒ ජවය ඔහුට ලැබු‍ණේ දශක හතක දිවි සැරියේ ලද අත්දැකීම් සම්භාරයෙනි.

ජීවිතය යනු වාසනාව - අවාසනාව, දුක - සතුට මැද දෝලනය වන්නක් බව ඔහු අවබෝධ කරගත්තේ ළමා වියේදීය.

බයිඩ්න් පවුල ධනවත් පවුලක් වුවත් ජෝ (ජෝසප්) පවුලේ වැඩිමල් දරුවා ලෙසින් උපත ලබන කාලය වන විට ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටියේය. එනිසා බයිඩ්න් පවුලට මව් පාර්ශ්වයේ මහ ගෙදර කලක් ජීවත් වීමට සිදුවිය. කාලයක් යන තුරුම බයිඩ්න්ගේ පියාට ස්ථිර රැකියාවක් තිබු‍ණේ නැත. ජෝට එක් සොයුරියක සහ සොයුරන් දෙදෙනකු සිටියේය. පවුලේ ආර්ථිකය කඩා වැටු‍ණේ ජෝ උපන්නාට පසුව වුවත්, මාපියන් ඔහුට උපන් ගෙයි කාලකණ්ණියකැයි කියා ඇඟිල්ල දිගු කළේ නැත.

බයිඩ්න් පවුල විමිංටන්වල ඩෙලවෝහි පදිංචියට පැමිණියේය. කලක් ගතවන විට ජෝගේ පියාවූ ජ්‍යෙෂ්ඨ ජෝ බයිඩින්ට යහපත් කලදසාවක් උදාවිය. පැරැණි වාහන විකුණමින් අමෙරිකාවේ මධ්‍යම පාන්තික පවුලක් ලෙස දිවි ගෙවීමට ඔවුනට හැකිවිය. පාසලේ පාපන්දු කණ්ඩායමේත් බේස්බෝල් කණ්ඩායමේත් සාමාජිකයකුවූ ජෝ තමන් සැබෑ නායකයකු වන බවට පෙරනිමිති පළ කළේ පන්ති නායකයා ලෙසින් වසර ගණනාවක් කටයුතු කරද්දීය. පාසල් වියේ සිට වයස විසි ගණන් වන තුරුම ඔහු තදින් ගොත ගැසූවෙකි. තම දුර්වලතාව නැතිකර ගැනීමට ජෝ බයිඩ්න් දිනපතා කණ්ණාඩිය ඉදිරියට ගොස් කවි ගායනා කළේය. 2020 වසරේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී පවා බයිඩ්න්ගේ ගොත ගැසීම අවාසි සහගත ලෙස බලපෑවේය.

 

වේදනාබර මතකයක්වූ පළමු විවාහය

පාසල් අධ්‍යාපනය නිමකර සයිරකියුස් සරසවියේ නීතිය හදාරමින් සිටියදී ජෝට නීලියා හන්ටර් නම් සුරූපී තරුණිය මුණ ගැසිණි. ඇය ද සයිරකියුස් සරසවියේ සිසුවියක වූ නමුදු ඔහුට ඇය මුණ ගැසු‍ණේ බහමාස් දූපත්වල නිවාඩුවක් ගත කරමින් සිටියදීය. බයිඩ්න් නීතිඥවරයකු විය. නීලියා ගුරු වෘත්තියේ නියැළුණාය. 1966 අගෝස්තු 27 වැනිදා නීලියා, ජෝගේ අත ගත්තේ නීලියාගේ මාපියන්ගෙන් එල්ල වුණු විරෝධතාව ද නොතකමිනි. බයිඩ්න් රෝමානු කතෝලික වීම මේ විරෝධතාවට එකම හේතුව විය. වැඩි කලක් යාමට පෙර බියු, හන්ටර් පුතුන් දෙදෙනාත් නයෝමි දියණියත් ඔවුනගේ කැදැල්ලට එක්වූහ. මේ වන විටත් දෛවෝපගත ලෙස බයිඩ්න්ට දෙස්පාලනයට පිවිසීමට පාර කැපෙමින් පැවතිණි. ඩෙලවෝහි උත්තර මන්ත්‍රී ධූරය හිස්ව තිබූ අතර ජෝ බයිඩින් හිස්වූ අසුනට සටන් වැදුණි. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ මහ මොළකාරිය නීලියා බව එකල පුවත්පත්වල සඳහන්කර තිබිණි.

එහෙත් ජෝ - නීලියා සතුටු කැදැල්ල කඳුළු ගංගාවක ගිලී යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ජෝ බයිඩින් ඡන්දය දිනා ඩෙලවෝහි සෙනෙට් සභිකයකු වීමේ සතුටත් සමඟ උදාවන නත්තල දරුවන් තිදෙනා සමඟ ජයටම සැමරීමට නීලියා සූදානම් වූවාය. 1972 දෙසැම්බර් 18 වැනිදා දරුවන් තිදෙනා සමඟ ඇය නත්තල් ගසක් මිලදී ගැනීමට ගියාය. නීලියාගේ වාහනය ට්‍රක් රථයක ගැටෙන විට ජෝ බයිඩින් සෙනෙට් සභිකයකු ලෙස දිව්රුම් දීමට තිබියදී ඔහුට කෙළින්ම යාමට සිදුවු‍ණේ රෝහලටය. ඒ වනවිට ආදරණීය බිරිය නීලියාත් එක් හැවිරිදි දියණියත් අවසන් ගමන් ගොස් තිබිණි. පුතුන් දෙදෙනාගේ හිස්කබල් සුළු වශයෙන් පුපුරා තිබුණු අතර දෙපාවලට බරපතළ හානි සිදුවී තිබිණි. පුතුන් දෙදෙනා බේරාගත හැකි බව වෛද්‍යවරුන් පැවසූ පසු ඡෝට මඳ අස්වැසිල්ලක් ලැබිණි. සෙනෙට් සභාවට තවත් සාමාජිකයකු තෝරාගත හැකි නමුත් දරුවන්ට පියකුගේ අඩුව නොදැනිය යුතු බව ජෝ පැවසීය. සෙනෙට් සභික ධූරය අත් හරින්නට සූදානම් වෙද්දී ඔහුගේ සගයන් ඊට එරෙහි විය.

රෝහලේ සිටියදීම ජෝ, සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දුන්නේය. සගයන්ට එරෙහි නොවුණ ද ජීවිතය ගැන ඔහුට ඇතිවූයේ පුදුම කලකිරීමකි. දෙවියන් වහන්සේ මෙවැනි රුදුරු ඉරණමකට තමන්ව ගොදුරු කළේ ඇයිදැයි කියා ඔහු මැසිවිලි නැඟූ වාර අනන්තය. ජීවිතයෙන් සමු ගැනීමට සිතුණ ද යළි ඔහු දිරිමත් විය. තමන්ගේ දියණියට, බෑණාට, මිනිබිරියට නව කොරෝනා වෛරසය ආසාදනය වූවා කියා සිය දිවි නසා ගන්නවුන් සිටින ලොවක පුහුදුන් මිනිසකු ලෙස ජීවිතයෙන් පලා යාමට සිතුන ද ඔහු මේ කුරිරු අත්දැකීමට මුහුණ දීමට අදිටන්කර ගත්තේය. තම මවගෙන් නොබියව අනාගතයට මුහුණ දෙන ලෙසට ලැබුණු අවවාදය ඔහුට ශක්තියක් විය.

දූදරුවන් මෙතෙක් බලා ගත්තේ නීලියා නිසා ජෝ අසරණ විය. එහෙත් දරුවන්ට තමන් අවශ්‍ය වෙනවාට වඩා තමන්ට දරුවන් අවශ්‍ය බව ඔහුට හැඟිණි. සෙනෙට් සභිකයකු ලෙස සේවය කළ ද ඔහුගේ සිත තිබු‍ණේ දරුවන් කෙරෙහිය. දිනකට දුම්රියෙන් යාමට සහ ඒමට පැය හතරකට ආසන්න කාලයක් වොෂිංටන් ඩී සී සහ ඩෙලවෝ දක්වා ගමන් කරන ඔහු දරුවන්ට කියා දීමට කවි කතන්දර ගොනු කළේ මේ කාලයේදීය.

 

රටේ අනාගත පළමු ආර්යාව හමුවීම

බයිඩ්න්ගේ සොයුරකු ඔහු දරුවන් දෙදෙනකු සමඟ ගතකරන තනිකඩ දිවියට සමුදීමට රුවැති හිත හොඳ ගැහැනියක සොයාදෙනු ලැබුවේ ඔය අතරතුරේදීය. 1975 දී හඳුන්වා දුන් ඇය ජිල් ට්‍රේසි ජාකොබ්ස්ය. ගුරු වෘත්තියට අමතරව මෝස්තර නිරූපණයේ ද යෙදුණු ඇයගේ රුව ජෝ දැන්වීමකින් දැක තිබිණි. පෙනිසිල්වේනියාවේ උපන් ජිල් ඩෙලවෝ පැමිණියේ ගුරුවරියක ලෙස සේවය කිරීමටය. ජිල් ඉංග්‍රීසි ඉගැන්වීමට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉගැන්වීමට දක්වන්නේ පුදුම කැමැත්තකි. ජෝ හමුවන විට ඇය පස් වසක පළමු විවාහයෙන් දික්කසාද වී සිටියාය. තමන්ට වඩා අට වසක් බාල ජිල් හමුවීමත් සමඟ ජෝට දේශපාලනය ගැන මෙන්ම ජීවිතය ගැන ද නැවුම් බලාපොරොත්තු ඇතිවිය. දෙවසරකට පසු දෙදෙනා විවාහවූහ. ජිල් උපාධි හතරකට හිමිකම් කියන මහාචාර්යවරියකි. ජිල්. ජෝට පළමු විවාහයෙන් අහිමිවූ දියණිය නයෝමිගේ අඩුව ඌන පූරණය කිරීමට මෙන් දියණියක ප්‍රසූත කළේ විවාහයෙන් සිව් වසරකට පසුවය. ඈෂ්ලේ නම් ඇය සමාජ සේවිකාවකි. විලාසිතා සැලසුම් කරන්නියකි.

නැවත ජෝ බයිඩ්න්ට දෛවය අකාරුණික වූයේය. පියා ගිය මඟ යමින් සිටි වැඩිමල් පුතු බියු හදිසියේම මොළයේ පිළිකාවකින් මිය ගියේය. ඒ වන විට ජෝ බයිඩින් බැරැක් ඔබාමාගේ උප ජනාධිපති විය. අද ඔහු එරට 46 වැනි ජනාධිපතිවරයායි. පනස් හැවිරිදි ජෝගේ දෙවැනි පුතු හන්ටර් නීතිඥවරයකි.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වැදී ජය ලැබූ ජෝ බයිඩ්න් එරට බලයට පත්වූ වයස්ගතම ජනාධිපතිවරයා වෙයි. එහෙත් තරුණයකුටත් වඩා අලුත් විදියට සිතන්නෙකි. අමෙරිකානු ජාතිකයකු වුව ද ඔහු දුම්පානය කරන්නේවත් මත් වතුර පානය කරන්නේවත් නැත.

 

කාන්තාවන්ට නිසි තැන

බයිඩ්න් උප ජනපති ධූරය සඳහා තෝරා ගත්තේ කාන්තාවකි. කමලා හැරිස් නම්වූ ඇය ඉන්දියානු අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවක වීම සුවිශේෂය. ඔහු කාන්තා හිංසනයට එරෙහිව කටයුතු කරන්නෙකි.ජෝ බයිඩ්න් අමෙරිකානුවන්ගේ හෙට දවස සුබම සුබ දවසක් කරනු ඇත. ඔහුගේ චරිතාපදානයම ඊට සාක්ෂියකි.

 

අන්තර්ජාලයෙනි