ලෝකයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වීම මගේ හීනයයි

අප්‍රේල් 28, 2021

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව

- කවීෂා දිල්හාරි

මෙරට පාසල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සම්මාන උළෙල වන ඉභදඤචර ර්‍ණඡඵඥපමඥප ඉඹ්ඊ - ර්ධඡඪබඥත වසරේ පාසල් ක්‍රීඩකයා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

42 වැනි වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ දී වසරේ පාසල් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානට හිමිවෙද්දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවීෂා දිල්හාරි.

ඇගේ ඒ ජයග්‍රහණය පිළිබඳව තරුණී සමඟින් මෙසේ කතා බහ කළා.

ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අතරින් පළමු තැනට එන්න ලැබීම මා ලැබූ විශාල ජයග්‍රහණයක්. මගේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් මගේ පවුලේ අයත් මං ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම සතුටු වෙනවා.

කොහොමද ක්‍රිකට්වලට මුලින්ම යොමු වුණේ...

මම නෙට්බෝල් තමයි මුලින්ම සෙල්ලම් කර කර හිටියේ. ක්‍රිකට්වලටත් ලොකු ආසාවක් තිබුණා. ඊට පස්සේ 8 වසරේදී පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න හිතුවා. නිශාන්ත කුමාර සර් තමයි ක්‍රීඩිකාවන්ව තෝරගත්තේ. ඔහු මාවත් තෝර ගත්තා. ඒ විදිහට පටන් ගත්ත ගමණින් තමයි දැන් මේ විදිහේ තැනකට ඇවිත් තියෙන්නේ.

ඔබ දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙත් සාමාජිකාවක්.

2018 වසරේ ඉඳන් මම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා. ජාතික කණ්ඩායමට තේරීමත් මා ලද තවත් ජයග්‍රහණයක්. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් චමරි අතපත්තුත් හිටපු කැප්ටන් ශෂිකලා සිරිවර්ධනත් මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම කණ්ඩායමේ සියලුම දෙනාව මතක් කරන්න ඕනේ.

දැනට විදෙස් රටවල් පහක තරගවලට සම්බන්ධ වෙලා තියෙනවා. 2018 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරග කළා. 2019 දකුණු අප්‍රිකාවට ගියා. 2020 ඔස්ට්‍රේලියාවටත්, 2017 තායිලන්තයටත් ගියා.

මෙතෙක් ලැබූ ජයග්‍රහණ ගැන කතා කළොත්...

තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස මම ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. 2014 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. 2015, 17 න් පහළ දක්ෂතම පිතිකාරිනිය, 2018/2019, 19 න් පහළ දක්ෂතම පන්දු යවන්නිය, 2018 ඩයලොග් තරගාවලියේදී ජනප්‍රියම ක්‍රීඩිකාව, 2019/20 19 න් පහළ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව, 2018 මොබිටෙල් තරගාවලියේදී හොඳම පිතිකාරිනිය, 2018/19 ඩයලොග් පාසල් කාන්තා ක්‍රිකට් තරගයේදී අනුශූරත්වය ලැබුවා. මේ මා ලද ජයග්‍රහණ වලින් කිහිපයක් පමණයි. 2017/18 කොට්ටාව තරගයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලකුණු 353 ක් ලබාගත්තා. ඒ තමයි මා දැනට ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය.

පවුලේ විස්තර ගැන කතා කළොත්...

මගේ ගම රත්ගම, මට ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි. අම්මා එච්. නිශාන්තා ප්‍රියාදරි. තාත්තා ඩබ්ලිව්. සුමිත්. අම්මා නම් මුලදි කැමැති වුණේම නැහැ මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙනවාට. දැන්නම් එයා තමයි මාව තවත් උනන්දු කරන්නේ. ගෙදර හැමෝම උදව් කළා. ආර්ථික අපහසුතා වලදි ඒ අවශ්‍ය හැමදේම තාත්තයි අයියයි කළේ. ඒ වගේම මගේ පුහුණුකරු මහේෂ් සඳරුවන් සර් මට ගොඩක් උදව් කළා. ජ්ධභදඤචබඪධද ධට ට්ධධඤදඥඵඵ හි සර්ලා මට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න පවා කටයුතු කළා.

ක්‍රීඩාවත් එක්ක අධ්‍යාපන කටයුතු මඟහැරුණේ නැතිද?

මගේ පාසල රත්ගම දේවපතිරාජ විද්‍යාලය. පාසලේ විදුහල්පති කේ. එස්. ඩබ්ලිව්. ජේ. ද සිල්වා විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු මගේ අධ්‍යාපන කටයුතුවලටත් ක්‍රිකට් ක්‍රීඩාවේ කටයුතුවලටත් උදව් කළා. මට පුහුණුවීම් තිබුණේ කොළඹ. ඉතින් පාසල් ගියේ මාසෙකට දවස් දෙක තුනයි. පාසල් වැඩ කටයුතු ගොඩක් මඟහැරුණත් පුළුවන් හැම වෙලාවෙම ගුරුවරුන්ගේ සහය ඇතුව පාසල් වැඩකටයුතු කළා. ඒ වගේම පාසල් ක්‍රිකට් කණ්ඩායමත් හරි එකමුතුයි.

අනාගත බලාපොරොත්තුව කුමක් ද?

ලෝක කුසලානය ලංකාවට ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම ලෝකේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රිඩිකාව වෙන්නත් මට ලොකු ආසාවක් තියෙනවා.

 

 

 ඡායා - රුක්මාල් ගමගේ