මම ඇගේ මව නොවුණා ට ඇගේ මවට වඩා මට ඇය ව දැනෙනවා

රාජ්‍ය අැමැතිනී - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ජූලි 21, 2021

 

*මේ නීති සංශෝධනය විය යුතුයි. දඬුවම් වැඩි විය යුතුයි.

මිනිසුන් ගණනාවක් අතින් අපයෝජනය වූ 15 හැවිරිදි දැරියක පිළිබඳ

හද සසල කරවූ කතාව පසුගිය සතියේ අප දුටුවා. මේ පිළිබඳව වගකිව යුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබේවිද? අනාගතයේ අපේ දරුවන්ගේ හෙට දවසේ සුරක්ෂිත භාවය කෙබඳුද? යන ප්‍රශ්න වලට අමාත්‍යවරුන් දෙපළක ලබා දුන් පිළිතුරුයි මේ.

අන්තර්ජාල වෙබ් අඩවි තුළින් 15 හැවිරිදි දැරියක් විකුණා ලිංගික අපචාර වලට යොදාගත් පුවත පසුගිය සතියේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන් හි මුල් තැන ගත් පුවතකි.

එය ඇසූ ඇසූවන්ගේ හදවත් මොහොතකට නතර වූයේ දැරියට මේ අපරාධය කරන්නට මව හවුල් වීමත්, ඇය මුදලට ගත් පිරිස සිය ගණනින් වීමත්, ඒ අතර චීවරධාරීන්, වෛද්‍යවරයකු ඇතුළු සමාජයේ ඉහළ මට්ටමින් වැජඹෙන පුද්ගලයින් සිටින බව හෙළිවීමත් සමඟය.

අප මේ අසන්නේ මෙවැනි ගණයේ අවසන් පුවත නොවිය හැකි ය. ඒ හේතුවෙන් රට කරවන නීති රීති සම්පාදනය වන තැනින් ම මෙවැනි ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීමට අපට ඇති විසඳුම කුමක් දැයි ඇසීම කාලෝචිතය.

අපේ කතා බහට එක් වන්නේ ප්‍රාථමික, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වත්මන් සභාපතිනියයි.

*ඉතා ම කනගාටුදායක ඉතා ම ඛේදනීය පුවතක් අපට මේ අසන්නට ලැබෙන්නේ. ඔබත් දරු දෙදෙනකුගේ මවක්. එමෙන් ම ඔබටත් දියණියක් සිටිනවා. අම්මා කෙනෙක් විදිහට ඔබතුමියට මේ සිදුවීම දැනෙන්නෙ කොහොම ද?

ඇත්තට ම මේ සිදුවීම මාව පුදුම විදිහට කම්පනයට පත් කළා. මේක අපරාධයක්. දූෂණයක්. ඒ වගේ ම මේ මව වගකීමෙන් තොර ව කටයුතු කරල තියෙනවා. මේ වයසේ දරුවාගේ අයිතිය අධ්‍යාපනය යි. එය දරුවාගේ හිමිකමයි. එහෙත් මේ දරුවාට ලැබී තිබෙන්නේ කුමක් ද? කුමක් ද ඇය ලැබූ හිමිකම, අත්දැකීම, කුමක් ද ඇය ලැබූ අධ්‍යාපනය. කියාගන්න වචන නෑ. ඒ තරම් ම දුකයි. මම ඇගේ මව නොවුණා ට මම හිතනවා ඇගේ මවට වඩා මට ඇය ව දැනෙනවා කියලා.

*දේශපාලන, ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන් හි කාන්තාවන් සවිබල ගැන්වීම සහ මේ රටේ ඔවුන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් සහ හිරිහැරයන් තුරන් කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදයේ අරමුණයි. ඔබ එහි ගරු සභාපතිනියයි. මේ දැරිවිය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඔබ සංසදයට හැකි වෙයි ද? වැරැදි කරුවන්ට දඬුවම් දෙන්න හැකිවෙයි ද?

අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා දේශපාලන පක්ෂ පාට මැදිහත් වීමක් බලපෑමක් උස් පහත් බේදයක් නෑ. අප සංසදය නියෝජනය කරන්නෙ අපේ රට, අපේ රටේ කාන්තාව. ඇයට එරෙහි ව ඇති වෙමින් තිබෙන හිංසා පීඩා තුරන් කිරීම අපේ අරමුණ යි. ඒ නිසා මේ සිදුවීම පමණක් නොවෙයි මීට පෙර වූ සිදුවීම්වලින් ද අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වන තෙක් ම අප ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් හඬ නඟනවා. අදාළ ආයතන දැනුවත් කරනවා සහ පසු විපරම් කරනවා.

අනිත් කාරණය අපි දොළොස්දෙනාට පමණක් මේ සිදුවීම ලඝු කරන්න එපා. මෙවැනි දේ යළි ඇති වීම වළක්වා ගන්න සමස්ත රට ම මේ වෙලාවෙ පෙරට ආ යුතුයි. මේ සිදුවීම හමුවේ දී මුළු මහත් කාන්තා සංහතිය ම පෙරමුණ ගත යුතුයි. තිබුණු නීති රීතිත් නොසලකා මේ හා සම්බන්ධ පිරිස කටයුතු කරල තියෙන බව පැහැදිලි ව පේනවා. ඒ වගේ ම නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණු තැන්වල ඉන්න අයත් මේ සිදුවීමේ හවුල් කරුවන් ව ඉන්නවා. ඒ නිසා අප සමස්තයක් විදිහට මෙවැනි ක්‍රියාවන්ට එරෙහි ව පෙළ ගැසිය යුතු කාලය දැන් එළැඹිලා.

*අප සමාජය තුළ ඉහළ පිළිගැනීමට ලක් වූ සමාජ පන්තිකයින් ධනවතුන් දේශපාලකයින් මේ සිදුවීම හා සම්බන්ධ වී සිටිනවා. ඔවුන් නිල බලය ධන බලය පාවිච්චි කරල මෙයින් ගැලවිලා යයි ද?

නීතිය කාටත් පොදුයි. එයට නිලය හෝ බලය අදාළ නැහැ. හැබැයි චූදිතයා නීතිය ඉදිරියෙ වරදකරු බව සාක්ෂි සහිත ව ඔප්පු විය යුතුයි. දැනට චෝදනා ලබා සිටින අය වරදකරුවන් බව ඔප්පු වුණොත් ඒ කාටවත් නීතියෙන් පිට පැනීමේ අවසරයක් නැහැ. දරුවාගේ කැමැත්තෙන් සිදුවුණත් අකැමැත්තෙන් සිදුවුණත් නීතියට අනුව මෙය ස්ත්‍රී දූෂණයක්. ළමා අපචාරයක්, අපයෝජනයක් ඉතිං වරැදිකරුවන් කිසිවකුට මෙයින් ගැලවී යාමට නම් අවසර ලැබෙන්නෙ නැහැ.

*ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති වීම වළක්වා ගන්න පවතින නීති රීති සහ දඬුවම් සෑහෙයි කියලා ඔබතුමිය විශ්වාස කරනවා ද?

නැහැ. කිසිසේත්ම නැහැ. මේ නීති සංශෝධනය විය යුතුයි. දඬුවම් වැඩි විය යුතුයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුෙව් සිටින අපි 225 දෙනා ම පෙනී සිටිනවා. එය අපේ වගකීම අපි එය ඉටු කරනවා. ඒත් ඒ අතර ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න අවශ්‍යයි.

*ඒ සඳහා ඔබතුමිය කරන යෝජනාව කුමක් ද?

දඬුවමට එහා ගිය සමාජශෝධන වැඩපිළිවෙළක් මේ සඳහා අවශ්‍යයි. අද සමාජය එදාට වඩා හුඟාක් වෙනස් වෙලා. ඒ නිසා දරුවා අම්මා සමඟ සිටියත් දරුවා ආරක්ෂිත දැයි බලන්න සිදු ව තිබෙනවා. සියලු දෙනාට පෙරට එන්න කියලා මම ආරාධනා කරන්නෙ මේ හේතුව නිසයි. යම් සිදුවීමක් සිදුවන්නේ නම් එය මූලික අවස්ථාවේ දී ම ඒ අවට වටපිටාවට දැනෙනවා. එවන් අවස්ථාවක අසල්වැසියන් ක්‍රියාත්මක වුණානම් මෙවැනි අපරාධ සිදුවීම අපට වළක්වා ගන්න පුළුවනි. ළමා ආරක්ෂක අධිකාරිය, ළමා හා කාන්තා කටයුතු දෙපාර්තමේන්තුව, පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය ආදී ආයතනවලට මෙවන් දරුවන් වෙනුවෙන් ක්ෂණික ව ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා පවුල තුළ දරුවාට ලැබිය යුතු රැකවරණය නොලැබෙන බව ඔබට දැනෙන්නේ නම් වහාම මේ ආයතන දැනුවත් කරන්න. අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන කීයක් තියෙනවා ද? දරුවකුට කාන්තාවකට අසාධාරණයක් අයුක්තියක් සිදුවෙනවා නම් ඒ වෙනුවෙන් පිහිට වෙන ආයතන කීයක් තියෙනවා ද? මේ හැම ආයතනයක ම ඇස් ඇරෙන්නෙ යම්කිසි සිදුවීමක් සිදු වූ පසුවයි. ඒත් මම කියන්නෙ අපේ ඇස්කන් 24 පැය ම 365 දින ම මෙවැනි ක්‍රියා වෙනුවෙන් විවෘත ව තබාගත යුතු බවයි. අප කළ යුත්තේ මෙවැනි ක්‍රියා සිදු නොවන වටපිටාවක් ගොඩනඟා ගැනීමයි.

වරදක් කළා දඬුවම් කළා කී පමණින් අපට අපේ වගකීම්වලින් නිදහස් වෙන්න බැහැ. අපි අපේ දරුවන්ට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. මම නැවතත් ඔබට යෝජනා කරනවා. මෙවන් අපරාධ වළක්වා ගන්න ඔබත් අප සමඟ පෙරට එන්න.

මේ ආකාරයට විනාශ වෙන්නෙ අපේ රටේ අනාගතය. ඒනිසා වැඩිහිටි ඔබේ අවධානය ආරක්ෂාව අද ට වඩා වැඩියෙන් හෙට මේ මල් කැකුළු වෙත ලබා දෙන්න.