වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
බෙල්ල කපන මොබයිල් ෆෝන්

අද දුරකතනයක් අත නැති කෙනෙක් නැති තරම්. ඉතින් දුරකතනය එදිනෙදා ජීවිතයට පහසුවක් වගේම බාධාවක් විදිහටත් බලපාන අවස්ථා ඕනෙ තරම් තියෙනවා. කාර්යාලයේදී දුරකතන පාවිච්චි කිරීමත් ඵලදායිතාවයට විවිධ විදිහට බලපාන්න පුළුවන්.
කාර්යාලයේදී විතරක් නෙවෙයි ගෙදරදිත් නිතරම දුරකතනය පාවිච්චි කරනවානම් ඒකෙන් තමන්ගේ ඵලදායිතාවය පිරිහෙනවා. අපි දන්නවා පහුගිය දවස්වල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වහන්න වුණා. ඒක විශ්ලේෂණය කරලා බැලුවම ප්‍රධාන හේතුව තමයි කාර්යාල සේවකයින් කාර්යාල වෙලාවේදී
හැම තිස්සෙම ෆෝන් එක පරිහරණය කිරීම. ඒ හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉක්මනින් අඩු වුණා. ඉතින් දිනෙන් දින ආයතනය පිරිහිලා පාඩු ලබන්න පටන් ගත්තා. මේ තත්ත්වයෙන් දිගින් දිගටම මේ ආයතනය පවත්වාගෙන යන්න බැරි වුණ නිසා අවසානයට ආයතනය වහලා දැම්මා. ඉතින් ඇත්තටම බලද්දී මේ ආයතනය වහන්න වුණේ ඇබ්බැහි වීමක් නිසා.
උදේට නැඟිටලා ෆෝන් එකේ තියෙන ඕපාදූපවලින් තමන්ගේ හිත පුරවගන්න එක ඇබ්බැහි වීමක්. මම දන්න ගොඩක් ගෙවල්වල අය ළමයි පාසල් දාලා ඇවිල්ලා, බස් එකේ කාර්යාලවලට අතරතුර වගේම කාර්යාලයට ගිය ගමන් තමන්ගේ දුරකතනය අතට ගන්නවා. ෆේස්බුක් ගිහින් ඕපා දූප හොයනවා. සමහර අය ගොඩක් හොඳ දේවල් බලනවා. ඒ අතර බණ අහනවා. හැබැයි ඒකත් වැඩිය ඕනේ නැහැ කියලයි මම කියන්නේ.
ආගමික දේවල් වුණත් ඕනෙවට වඩා කන වෙලාවේ, නාන වෙලාවේ, වැසිකිලි යන වෙලාවේ ඇහුවා බැලුවා කියලා ප්‍රයෝජනයක් නැහැනේ. මොකද හිත එක තැනක තියාගන්න බැහැනේ.
මාව මුණගැහෙන්න ආපු මගේ සේවාදායිකාවක් කිව්වා "මම හරියට බණ අහනවා. කොච්චර බණ අහනවද කිව්වොත් මම නාන්නෙත් බණ දාගෙන" කියලා. ඉතින් මම කිව්වා ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ. එළඹි සිහියෙන්නේ අපි ඕනෙ දෙයක් කරන්න ඕනේ. නාන වෙලාවට නාන්න ඕනේ. කන වෙලාවට කන්න ඕනේ. පවුලේ අයත් එක්ක ඉන්නකොට පවුලේ අයත් එක්ක ඉන්න ඕනේ කියලා.
මේ දුරකතනය නිසා පවුලේ අය ගොඩාක් ඔබෙන් දුරස් වෙනවා. මොකද ඔබ ඉන්නේ ෆෝන් එකත් එක්ක වෙන ලෝකෙක. ඒ වගේම කොච්චර මරණ වාර්තා වුණා ද මේ දුරකතන ඇබ්බැහිය නිසා. පාරේ කන් දෙකට ඇබ ගහගෙන වගේ යනවා. ඒකෙන් හදිසි අනතුරු සිදු වෙනවා. වාහනය පදවද්දී දුරකතනය දිහා බල බල ගිහිල්ලා වාහන හප්ප ගන්නවා. කොහොම වෙතත් රටක මේ දුරකතන භාවිතය ගැන තමන්ට තියෙන්න ඕනේ නියාමනයක්. ඒකට ආණ්ඩුවේ කාටවත්, ජනාධිපතිටවත්, අගමැතිටවත් නීති දාලා වෙන් කරන්න බැහැනේ. ඒ නිසා දවසේ නිශ්චිත වෙලාවක පැය කාලක් දුරකතනයෙන් සමාජ මාධ්‍ය ජාලා සඳහා වැය කරන්න.
දැන් ප්රවෘත්තිවල ගොඩක් වෙලාවට යන්නෙත් ඒ ඒ චැනල්වලට ඕනේ දේවල්නේ. තමන්ගේ නාළිකාවක් ප්‍රවර්ධනය කරගන්න දානවා මිසක් ප්‍රවෘත්තියක් කියන්නේ නැහැ. ඒ නිසාම සමහර අය සෝෂල් මීඩියා හරහා තමයි දවසේ වෙච්ච දේවල් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි සෝෂල් මීඩියා තුළ ඇත්තට වඩා බොරුව වැඩියි කියලා අමතක කරන්න එපා. අද ඇත්ත දන්නෙත් නැහැ. බොරුව දන්නෙත් නැහැ. ඒ තරමට හැමෝම පැටලිලා ඉන්නේ.
දුරකතන ඇබ්බැහියෙන් මිදෙන්න නම් දුරකතනය තමන්ට අහුවෙන්නෙ නැති තැනක තියන්න. තමන්ට පේන තැනක තිබ්බමනේ දුරකතනය පාවිච්චි කරන්න වෙන්නේ.
ෆෝන් එක අතට ගන්න හිතෙනකොටම ඔබට පුළුවන් කෑමක් හදන්න. ඔබට පුළුවන් ගේ අතු ගාන්න යන්න. මට ගොඩාක් ස්වාමි පුරුෂයින් ඇවිත් කියනවා. "දැන් මගෙ වයිෆ් ෆෝන් එකට ඇබ්බැහි වෙලා ගෙදර කිසි වැඩක් කරන්නෙ නැහැනේ. මමයි ෆෝන් එකක් අරන් දුන්නේ. මෙයා ෆෝන් ගැන දැනගෙන හිටියෙත් නැහැ. දැන් හිතෙනවා අරන් දුන්නේ අපරාදේ කියලා."
කාන්තාව දවසේ පැය 24 කළමනාකරණය කරගන්න ඕනේ. කාන්තාවකට කරන්න කොච්චරනම් වැඩ කන්දරාවක් තියෙනවද? දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන් තමන් කරන වැඩ වෙනුවෙන්, ගොඩක් කාන්තාව ආර්ථිකය ශක්තිමත් කරන්නත් දායක වෙනවා. හැබැයි ඒ මොන වැඩේ තිබ්බත් කාන්තාවකට මේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දුරකතන ඇබ්බැහිය නිසා මේ කළමනාකාරණය කර ගන්න බැරි වෙනවා.
උදේ පාන්දර නැඟිටලා උයාගෙන කෑම අරගෙන ඔෆ්ස් ගිහින් එන කෙනෙක් බස් එකේ එන වෙලාවෙත් ෆෝන් එක ඔබ ඔබ එන්නේ නැතිව පොඩි නින්දක් දාන්න පුළුවන්. ගෙදර ඇවිල්ලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ නැතුව වොෂ් එකක් දාලා රෑට කන්න ටික හදලා, උදේට උයන ඒවත් ලෑස්ති කරලා, අැඳුම් මැදලා ඔක්කොම කරලා තිබ්බම උදේට හරි පහසුයි.
දුරකතනයෙන් කතා කරද්දි ඔබ දුරකතනය තියාගන්න ඕනේ වම් කනේ. පුළුවන් හැම වෙලාවෙම ස්පීකර්ස් දාලා කතා කරන එක වඩාත් හොඳයි. සමහර අයට නම් එහෙම ස්පීකර්ස් දාලා කතා කරන්න බැහැ. මොකද අනිත් අයට ඇහෙන්න කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ ඒ අයගේ ජීවිතවල තියෙන්නේ. මම ගෙදර ඉන්න හැම වෙලාවකම ස්පීකර්ස් දාලා කතා කරන්නේ. මොකද ඒ කිරණ ශරීරය ඇතුළට යන්න හොඳ නැහැනේ. සමහර අය නිදියන්නෙත් ෆෝන් එක කොට්ටෙ යට තියාගෙන. ඒ වගේ දේවල් නිසා මිනිසුන්ට ඔවුන්ගේ මූලික කාරණා පවා අමතක වෙනවා.
සැත්කම් පිහියක් වෛද්‍යවරයෙක්ට හම්බ වුණොත් ලෙඩා බේරෙනවා. හැබැයි සැත්කම් පිහියක් දාමරිකයෙක් අතට අහු වුණොත් මනුස්සයෙක් මැරෙනවා. එතකොට වැරැද්ද තියෙන්නේ පිහියෙ නෙවෙයි. පාවිච්චි කරන කෙනාගෙයි.
දුරකතනය නිසා ඔබට සතුට, කාලය විතරක් නෙවෙයි දන්නෙම නැතුව මුදල් පසුම්බියත් ඉක්මනින් ක්ෂය වෙලා යනවා. ගණන් හදලා බලන්න දුරකතනය සඳහා කොච්චර මුදලක් ඔබ මාසයකට වැය කරනවද කියලා. ඔබ කරන්නේ ඒ සමාගම් පොහොසත් කරන එක. ඔබ දුරකතනයෙන් නිතර කතා කරන එකෙන් වෙන්නේ ඔවුන් පොහොසත් වෙනවා. ඔබ දුප්පත් වෙනවා.
ගොඩක් අය ගෙදර ගියාම කරන්නේ ඔෆිස් එකේ යාළුවන්ට රෑට කෝල් කර කර එක එක්කෙනාව විවේචනය කරන එක. කරන වැඩ ගැන විවේචනය කරන එක. කාර්යාලයේදී ඒක කතා කරන්න තරම් ඔවුන්ට පෞරුෂයක් නැහැ.
මං ළඟ මේ වෙනකොටත් තියෙනවා ලංකාවේ ජනප්‍රිය පාසලක අවුරුදු 16ක ගැහැනු ළමයි දෙදෙනෙක් අතර ඇති වුණු ආදරණීය සල්ලාපයක හඬ පටයක්. ඒක හොඳ වෙලාවට මවුපියන්ට හම්බවුණා. ඊට පස්සේ ඒ මවුපියෝ මාව මුණගැහිලා ඒක මට එව්වා. ඒක ඇහුවාම පේනවා මේ රටේ ළමයි කොයි පැත්තට ද යන්නේ කියලා. කතා කරන්නේ ඉතාම අසභ්‍ය වචන. ඉතින් ඒවා තව ළමයෙක් රෙකෝඩ් කරගෙන. තාත්තා මේ මුකුත් දන්නෙ නැතුව ෆෝන් හදන තැනකට දුන්නම ඒ මිනිස්සු ඒක අරගෙන පතුරවලා. ඉතින් දුරකතනය කියන්නේ ඉතාම පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ මෙවලමක්.
ඔබ කාර්යාලයේදී, මඟතොටේදී දුරකතනයෙන් උත්තර දෙනකොට පරෙස්සම් වෙන්න ඕනේ. බස් එකේ යද්දි ආපු කෝල් එකකට මහ සද්දෙන් අද ගෙදර කවුරුත් නැහැ කියලා කිව්වොත් එතැන ඉන්න හොරෙක්ට අත වැනුවා වගේ. ඒ හොරා මෙයා පස්සේ ගිහිල්ලා රෑ වෙනකම් හැංගිලා ඉඳලා ගෙට ඇතුළු වෙලා හොරකම් කරන්න පුළුවන්. අතවර කරන්න පුළුවන්. ජීවිතයට වුණත් තර්ජනයක් වෙන්න පුළුවන්.
දුරකතනය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ඒ නිසා හරි පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් තමන්ගේ අත කැපෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට හානි වෙන්නත් පුළුවන්.
සමහර දරුවන් පවා මාත් එක්ක කියලා තියෙනවා අපේ අම්මා ඔෆිස් ඇරිලා අාපූ වෙලාවේ ඉඳන් ෆෝන් එකේ. අපිත් එක්ක කතා කරන්නේ නැහැනේ කියලා. ඒ නිසා ඔබේ දරුවා වෙනුවෙන්. ඔබේ පවුල වෙනුවෙන්, ඔබ වෙනුවෙන් කරන්න තියෙන දේවල් හරියටම කරන්න ඕනේ නම් දුරකතනය හරි පරෙස්සමට පාවිච්චි කරන්න.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව