නව නිෂ්පාදන තුළින් සාර්ථකත්වයක් ලබා ගන්න පහසුයි

ඔන්ලයින් බිස්නස් එකක් කරමු - 3
මාර්තු 24, 2021

 

අවශ්‍ය වන්නේ නිර්මාණශීලී හැකියාව සහ කැපවීම පමණයි

 තෝරා ගැනීමේ අවස්ථා වැඩි ප්‍රමාණයක් ගැනුම්කරුවන් වෙත යොමු කළ යුතුයි

 

අපේ ජිවිත කාලය තුළ මුහුණ දීමට සිදුවුණු අතිශය දුෂ්කරම කාලයට අපි මුහුණ දෙමින් සිටිනවා. ත්‍රස්තවාදී අරගලය පැවැති වසර තිහ, 88/89 භීෂණ සමය තුළ අවිනිශ්චිත මාරයෙක් අප වටා සිටියත් කොරෝනා කියන අදෘෂ්‍යමාන ඝාතකයාට ඒ කිසිවක් සම කරන්නම බැහැ.

ලෝකය තනි යායක් බවට පත් කරගෙන, වරින්වර තම වේශයන් වෙනස් කර ගනිමින් නිතිපතාම මිනිස් ජීවිත ගොදුරු කර ගනිමින් හිඳිනවා.

2020 මාර්තු මාසයේ සිට සමහරුන්ට රැකියා සහ ජීවනෝපායයන් අහිමි වුණා. තවත් බොහෝ දෙනෙකුගේ වැටුප් කප්පාදු වුණු බවත් රහසක් නෙවෙයි. අතිකාල, අමතර දීමනා කිසිවක් නැතිව මූලික වැටුපට හෝ වැටුපෙන් අඩකට සාතිශය බහුතරයේ ආර්ථිකය සීමා වෙලා.... ඒත් ජීවන වියදම... ඒ දෙගුණ වෙලා.

“ඔය සේරම ඇත්ත... ඉතින් දෙවියනේ අපි මොකද කරන්නෙ?”

ඔබ එහෙම අසාවි. පිළිතුරු තියෙන්නෙත් ඔබ ළඟම තමයි. රට ලොක්ඩවුන් වෙලා තිබුණු කාලෙ හතු පිපෙන්නා වාගෙ මතු වුණු ගෙවතු වගා සංග්‍රාමය අද වෙද්දි ආයෙමත් වල් බිහි වෙලා. එළවළු ගිනි ගණන් ගිහින් තියෙන වෙලාවෙ ඔබට පුළුවන් තිබෙන ඉඩකඩේ ව්‍යාපාරික එළවළු වගාවකට යන්න. නිවෙසේ පරිභෝජනයටත් ගන්නා අතරේ වටපිටාවෙ දන්නා කියන අයට අලෙවි කරන්නත් පුළුවන්. එළවළු වර්ග පහක් හයක්, පලා වර්ග දෙකක්, මිරිස්, කොච්චි, මාළු මිරිස් එක්ක රුපියල් හාර පන්සීයක් මිල කරන්න පුළුවන්. වගාව වස විසෙන් තොර කාබනික එකක් නම් විශිෂ්ටයි.

මෙය ඩිරෙක්ට් මාකටිං කරන අතරම ඔන්ලයින් බිස්නස් එකට හරවා ගන්නත් පුළුවන්. අපහසුවකින් තොරව ප්‍රවාහනය කළ හැකි මිතුරු ජාලයක් (Group)ඇති කර ගන්න. සතියකට වතාවක් ඇණවුම් ලබා දෙන පිළිවෙතක් අනුගමනය කරන්න.

“ඔන්න ඔය කියන තැනින්ම ව්‍යාපාරය විවිධාංගීකරණය කරන්නත් පුළුවන්....”

නිම්මි අරලියා කතා බහට එක්වුණේ එහෙම කියන ගමන්.

* තව ටිකක් පැහැදිලි කරන්න නිම්මි...

“මෙහෙමයි... දැන් බලන්න ඔය කියපු එළවළු මල්ල රුපියල් හාරසියකට මිල කළා කියලා. දහ දෙනකුට අලෙවි කළොත් රුපියල් හාරදාහක ආදායමක් ලැබෙනවා. මාසෙකට දාසය දාහක්. හැම සතියෙම එකම එළවළු වර්ග දීම සුදුසු නැහැ. ඔබට පුළුවන් අසල්වැසි මිතුරියන් කිහිප දෙනෙක් වගාවට එකතු කරගන්න. හැමෝම වෙනස් දේවල් වගා කරන්න. එතකොට සතියෙන් සතිය විවිධ එළවළු, පලා බෙදා හරින්න පළුවන්. ඒ වගේම ඔබට පුළුවන් වෙනවා තව දෙතුන් දෙනකුට ආදායමක් උපදවා දෙන්න. ඊට අමතරව උඩරට එළවළු තොග මිලට ලබාගෙන අලෙවි කරන්නත් පුළුවන්.

එතනින් නැවතිය යුතු නැහැ. බලන්න බිලිං වාරෙට මොන තරම් ගස්යට නාස්ති වෙලා යනවද? දෙහි මිල ඉතාම පහළ වැටෙන කාලයක් එනවා. ඔබට පුළුවන් බිලිං අච්චාරු, ලුණු දෙහි, අඹ, ඇඹරැල්ලා ආදී චට්නි වගේම පලතුරු ජෑම් වර්ග නිපදවන්න. මෙවැනි දේවල් පහසුවෙන් නිපදවන්න පුළුවන්. මම තව හොඳ නිෂ්පානයක් ගැන කියා දෙන්නම්... එය මෙතෙක් නොකළ දෙයක්. මෙහෙමයි හදන්නෙ, ඔබ දන්නවනෙ තායි දෙහි? ඒවායේ යුෂ අධික ප්‍රමාණයක් තියෙනවා. ඒවගේම දෙහි වාරෙට ඉතාම අඩු මුදලකට තොග වශයෙන් ලබා ගන්නත් පුළුවන්. මේවායේ යුෂ මිරිකා ගන්න. එයට මිරිස් කුඩු, හීන් කොච්චි දමා මඳ ගින්නේ හොඳින් කකාරවා ගන්න. ඔබට ලැබේවි ඉතාම රසවත් ඇඹුලක් සහිත උකු ද්‍රාවණයක්. සම්බෝල, මැල්ලුම්, සලාද ආදිය රසවත් කරන්න ඉතාම සුදුසුයි. කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් එකතු නොකර දීර්ඝ කාලයක් නරක් නොවී තබා ගන්නත් පුළුවන්. මෙවැනිම නිෂ්පාදන අත්හදා බලන්න. නව නිෂ්පාදන තුළින් සාර්ථකත්වයක් ලබා ගන්න පහසුයි. මොකද කිව්වොත් අනුකරණ වෙළෙඳපොළට එන්න කලින් ලොකු ස්ථාවරයකට යන්න පුළුවන්.”

* නිම්මි, ඔබ විශිෂ්ට නිර්මාණ ශිල්පිනියක් සහ ඒ සම්බන්ධ වෘත්තිය උපදේශකවරියක්. නමුත් දැන් කතා කරන්නෙ ආහාර ගැන....?

 

“ මම බලාපෙරොත්තු වුණා ඔය ප්‍රශ්නය අහවි කියලා. මෙහෙමනෙ... මූලිකවම ගත්තොත් මම ගෘහණියක්. බිරිඳක් සහ මවක්. ගෘහණියගේ භූමිකාව තුළ ආහාර කියන දේ ප්‍රධානයි. දැන් බලන්නකො කොරෝනා ලොක්ඩවුන් එක තුළ මාස ගණනාවක් පුරා ආහාර හැර වෙන කිසිම දෙයකට වෙළෙඳපොළක් තිබුණෙ නැහැ. කවර තත්ත්වයක් තුළ හෝ අඩුම ගානෙ දවසකට වේලක් හරි බත් මාළුපිනි උයනවනෙ. ඒ සම්බන්ධයෙන් ස්ථාවර වෙළෙඳපොළක් තියෙනවා.

හොඳයි දැන් කතා කරමු නිර්මාණකරණය ගැන.

එතැනදි, අවස්ථා ගණනාවක් තියෙනවා. පැච්වර්ක්, රිබන් එම්බ්‍රොයිඩරි, පේපර් ක්වීලිං, පේපර් ටෝල්, ක්‍රොස්ස්ටිච්, ඔරිගාමී, ග්ලාස් පේන්ටිං, පොටරි පේන්ටිං වගේ දේවල්. මෙවැනි දේ පිළිබඳ නිපුණත්වයක් ඔබ සතු විය යුතුයි. ඔබට වඩාත් පහසුවෙන් යොමු විය හැකි වෙළෙඳාමක් ගැන මුලින් කිව්වනෙ. ඒ සඳහා ඔබ ඇතිකරගත් ගැනුම්කරුවන් වෙත මෙවැනි නිර්මාණ සාම්පල් පෙන්වා ඇණවුම් ලබාදෙන්න පුළුවන්. ස්මාර්ට් ජංගම දුරකතනය හරහාම ඒවා ගැනුම්කරුවන් වෙත යොමු කළ හැකියි. තව දෙයක් කියන්නම්. තුනක් සීය ගානෙ විකුණන පාපිසිවලට හොඳ වෙළෙඳපොළක් තියෙනවා. නමුත් ඒවා ඒකාකාරියි. ඒ වගේම තත්ත්වයෙන් උසස් නොවන නිසා බොහෝ දෙනා ආලින්දය, විසිත්ත කාමරය වගේ තැන්වලට භාවිත කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ ඔබට පහසු වෙළෙඳපොළක් නිර්මාණය කර ගන්න පුළුවන්. පැච්වර්ක්, ඇප්ලික් ආදී ක්‍රමවේද යොදාගෙන උසස් තත්ත්වයේ වගේම ආකර්ෂණීය පාපිසි නිර්මාණය කිරිම එතරම් අමාරු නැහැ.

මේ විදිිහට නිවෙසකට අත්‍යාවශ්‍ය දේවල් මොන තරම් තියෙනවද? අවශ්‍ය වෙන්නේ විමසිලිමත්බව, නිර්මාණශීලී හැකියාව සහ කැපවීම පමණයි. මෙවැනි දෙයට ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. හැබැයි එකම දේකට කොටු වෙන්නත් එපා. තෝරා ගැනීමේ අවස්ථා වැඩි ප්‍රමාණයක් ගැනුම්කරුවන් වෙත යොමු කළ යුතුයි. මෙවැනි ව්‍යාපාරයක් තුළින් නිවෙසේ හිඳිමින් රැකියාවකින් ලබන වැටුප වගේ තුන් හතර ගුණයක් උපයා ගන්නට පුළුවන්.”

ඔන්ලයින් ගිණුමක් නිර්මාණය කිරීම සහ වෙළෙඳපොළට පිවිසීම සම්බන්ධයෙන් ලබන සතියේ කතා කරමු.

 

උපදෙස් – වෘත්තිය පුහුණු උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

නිම්මි අරලියා

CRAFT ARALIYA