රසය , සුවඳ සුරැකෙන ලෙස වැනිලා කරල් පදම් කරමු

නොවැම්බර් 10, 2021

 

ආහාර‍යක් රසවත් සේම සුවඳවත් කරන්නට රසකාරකවලින් ලැබෙන්නේ අපූරු දායකත්වයකි. ඒනිසාම ආහාර පිසීමේදී රසකාරක එහෙමත් නැත්නම් කුළුබඩු අපට නැතුවම බැරිය.

ඒ වගේම රසකාරක වගාව කියලා කියන්නෙත් හොඳ ආදායම් මාර්ගයක්.

ඉතින් ක්‍රමානුකූලව ඒ වගාවන් පිළිබඳ තොරතුරු රැගෙන එන මේ ලිපි මාලාව ඔස්සේ මේ දිනවල අපේ අවධානයට යොමු වන්නේ වැනිලා වගාව පිළිබඳයි. ඒ අනුව වැනිලා වැල් සිටුවීම, රැක බලා ගැනීම මෙන්ම මල් පරාගනය සහ අනතුරුව හටගන්නා වැනිලා කරල් එනම් අස්වනු නෙළා ගැනීම ගැනත් දැන් ඔබ හොඳින් දැනුවත්. මේ විදිහට නිසි ලෙස නෙළා ගත් වැනිලා අස්වැන්න වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට පෙර මනාව පිරිසුදුව සකසා ගැනීම අනිවාර්යයි. එහෙම නම් එය සිදු කරන්නේ කෙසේදැයි අද අපි සොයා බලමු.

 

වැනිලා කරල් පදම් කිරීම

 

වැනිලා කරලට හොඳ වටිනාකමක් ලැබෙන්නේ ඒවා නිසිලෙස පදම් කිරීම එහෙමත් නැත්නම් සැකසීම මඟිනුයි.

මෙලෙස පදම් කිරීම සඳහා මාස 05ක පමණ කාලයක් ගතවන අතර එය නියමිත පරිදි සිදු කිරීම ඉතා වැදගත්.

 

පැසුණු කරල්

 

මෙහිදී එනම් වැනිලා අස්වැන්න නෙළීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණය වන්නේ සැකසීම සඳහා වඩාත් හොඳින් පැසුණු කරල් පමණක් තෝරා නෙළා ගැනීමයි. එහිදී වැනිලා කරලේ අග කෙළවරින් සෙ.මී 01ක් පමණ ළා කහ පාටට වර්ණය වෙනස්වන විට කරල් නෙළීම සිදු කරන්න.

එමෙන්ම උසස් නිෂ්පාදනයක් සකස් කිරීමට නම් ප්‍රමාණවත් පරිදි මේරූ වැනිලා කරල් නෙළා ගැනීම මෙන්ම ඒවා

හැකි ඉක්මනින් සකස් කිරීමේ ක්‍රියාවලිය පටන් ගැනීමද වැදගත් වෙනවා.

 

ක්‍රම දෙකක්

 

වැනිලා කරල්වල අපි කවුරුත් ප්‍රිය කරන ඒ ආකර්ෂණීය සුවඳ වගේම සිත් ඇද බැදගන්නා පෙනුමත්, කල් තබා ගැනීමත් ලබා ගන්නට හැකි වන්නේ නිවැරදිව සැකසීම නැත්නම් පදම් කිරීම මඟින්.

වැනිලා සකස් කිරීමේ ක්‍රියාවලියේ දී ලෝකයේ විවිධ ආකාරයට මේ සැකසීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ බර්බන් ක්‍රමය සහ මෙක්සිකන් ක්‍රමවේදයයි.

ඒ අනුව අපි අද ඔබට පෙන්වා දෙන්නේ බර්බන් ක්‍රමයට අනුව වැනිලා සකස් කිරීමේ ක්‍රමවේදයයි.

 

බර්බන් ක්‍රමවේදය

 

වැනිලා කරල් වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයට සකස් කිරීමේදී එහි ගුණාත්මකබවට හානියක් සිදු නොවිය යුතු වේ. එලෙස සැකසීම සඳහා පහත සඳහන් පියවරයන් අනුගමනය කිරීම ඉතාමත් වැදගත්.

 

පළමු පියවර (උණු ජල ප්‍රතිකාරය)

වැනිලා සැකසීමේදී පළමු පියවර වන්නේ නෙළා ගත් අමු වැනිලා කරල් ඒවායේ මේරීම හා දිග ප්‍රමාණය අනුව වෙන් කර ගැනීමයි.

මෙහිදී මනාව පැසුණු වැනිලා කරල් හොඳින් සෝදා උණුවතුරෙන් තැම්බීම කළ යුතුයි. ඒ සඳහා බැරලයකට වතුර දමා රත්

කරන්න.

මෙම ස්ථානය දුමෙන් පිරීම අවම වන සේ ළිප ඇතුළු වටපිටාව සකස් කර ගැනීම කළ යුතුයි. ඉන්පසු තෝරා වෙන් කරගත් වැනිලා කරල් සෙන්ටිග්‍රේඩ් අංශක 63 – 65 දක්වා උණුවතුරේ විනාඩි 4ක් පමණ ගිල්වා තබන්න. මෙලෙස තම්බා ගත් වැනිලා කරල් බ්ලැන්කට් දවටනයක උණුසුම රැඳෙන පරිදි ඔතා තබන්න. අනතුරුව වායු රෝධක පෙට්ටියක පැය 48ක් පමණ බහා ගබඩකර තබනවා. මේ පියවර අපි වැනිලා කරල මරණයට පත් කිරීම ලෙස හඳුන්වන අතර එය ඉංග්‍රිසි

භාෂාවෙන් ( killing) යනුවෙන් හඳුන්වනවා.

 

දෙවැනි පියවර ( ස්වේදනය)

 

දෙවැනි පියවරේදී අපි සිදු කරන්නේ හොඳින් තැම්බුණු වැනිලා කරල්වලට දාඩිය දැමීමට “ ස්වේදනය” වීමට සැලැස්වීමයි.

( Sweating) ප්‍රතිකාර කරන ලද වැනිලා කරල් උණුසුම්ව තිබියදීම මෙම අවස්ථාවට ලක් කිරීමෙන් කරල් දුඹුරු වී සුවඳ තිරවීම ඇරඹේ.

මේ සඳහා වැනිලා කරල් උණුසුම්ව පෙට්ටියක් තුළ බහා තැබිය යුතුයි. මැහෝගනී ලීයෙන් සාදන ලද අඟලක පමණ ඝනකමකින් යුතු ලී පෙට්ටි ඒ සඳහා වඩාත් සුදුසු වේ.

එසේම පෙට්ටිය ඇතුළත බ්ලැන්කට් වැනි ඝනකම් රෙද්දකින් ආවරණය කිරීම මඟින් පෙට්ටිය තුළ උණුසුම තව දුරටත් රඳවා ගත හැකි වේ.

ඉන්පසු උණු ජල ප්‍රතිකාරයට ලක් කළ වැනිලා කරල් ඝනකමැති රෙදිවල ඔතා පෙට්ටිය තුළ ගබඩා කරන්න. එසේ කිරීමේදී ඉතා ඉක්මනින් පෙට්ටිය විවෘත කර කරල් ටික අසුරා පියන වැසීමටත් වග බලා ගතයුතුයි.

 

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ,

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ,

තක්ෂිලා පියතිස්ස

 

ඡායා - ලසන්ත අබේරත්න