නේක වර්ණ රටා මවන කැටලියා

දෙසැම්බර් 6, 2021

 

මනාලියන්ගේ මල් කලඹ හැඩ කරන්නී ඇයයි

චමත්කාර වර්ණ රටා මවන උඩවැඩියා මල් ලෝකයේ තවත් දැකුම්කලු ප්‍රභේදයකි කැටලියා (Cattleya). අතිශයින් සොඳුරු වර්ණ බොහොමයකින් සමන්විත මේ කැටලියා ද කැපූ මල් සඳහා වගාකරන වර්ගයකි.

බහුපාදි ශාකයක් වන කැටලියා ශාකයේ මලක විෂ්කම්භය සෙන්ටි මීටර් 25 ඉක්මවන අවස්ථා ද වේ. විශේෂයෙන්ම මනාලියන්ගේ මල් කලඹ සඳහා මේ කැටලියා ඕකිඩ් යොදා ගන්නා අතර සුදු සහ රතු වර්ණයේ මල් එහිදී වැඩි වශයෙන් භාවිත කෙරේ.

මල් හට ගැනීම

සාමාන්‍යයෙන් මෙම උඩවැඩියා ප්‍රභේදයේ මල් හට ගන්නේ වසරකට දෙවරක් හෝ තුන්වරකි. එහිදී එක් කිනිත්තක මල් තුනකට හෝ හතරකට වඩා නොපිපෙන අතර එලෙස බලන කල වසර පුරාම කැටලියා ගසක හටගන්නේ මල් 10ක් හෝ 12ක් වැනි ප්‍රමාණයකි. නමුත් මේ එක් මලක් ඔබට රුපියල් 500 කට වඩා වැඩි මිලකට අලෙවි කළ හැකියි.

 

සමාන වර්ග

වැඩි දෙනකු පහසුව උදෙසා මෙම ඕකිඩ් ප්‍රභේදය කැටලියා යන නමින් හඳුන්වනු ලැබුවද මෙම ගණයට සමාන වර්ග රාශියක් දක්නට ලැබේ. එනම්,

* ලෙයිලියා (Laelia)

* බ්‍රැසවෝලා ( Brassavola)

* සොෆෝනියාටිස් ( Sophronitis)

* එපිඩෙන්ඩ්‍රම් (Epidendrum)

* කැටලියා ( Cattleya)

 

ආදී වශයෙන් මේ එකම ගණයේ ඕකිඩ් වර්ග කිහිපයක්ම දැකිය හැකියි. නමුදු මල් වවන්නන් අතර බෙහෙවින්ම ජනප්‍රියව ඇත්තේ මේ වර්ගවල දෙමුහුන් (Hybrids) ප්‍රභේදයි.

ව්‍යාජ බල්බ

කැටලියා කුලයට ඇතුළත්වන සෑම ශාකයකට ඉඟුරු වැනි පාදයක් ඇති අතර එයින් පැන නඟින ව්‍යාජ බල්බ (Pseudobulb) ඇත. මේ සෑම ව්‍යාජ බල්බයකින්ම එක් පත්‍රයක් හෝ පත්‍ර දෙකක් හට ගනියි. මෙම ව්‍යාජ බල්බ ආහාර සහ ජලය ගබඩා කරගන්නා අතර අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැති වනවිට මේවා හැකිළෙන්නට පටන් ගනියි. එමෙන්ම පත්‍රය සහ ව්‍යාජ බල්බය මුණ ගැසෙන ස්ථානය තරමක් ආවරණය වී ඇත. සොඳුරු කැටලියා මල් කිනිත්ත හට ගන්නේ එම ස්ථානයෙනි. අවම වශයෙන් මේ ව්‍යාජ බල්බ තුනකින්වත් සමන්විත කොටසක් කැටලියා ඕකිඩ් පැළයක් ලෙස සැලකිය හැකියි.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ