නිවැරැදිව වගාකර සරු අස්වැන්නක් ගන්න හොඳ මිලකට විකුණාගන්න අත දෙන්න අපි සූදානම්

කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ SAPP විධායක අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන
දෙසැම්බර් 13, 2021

 

නිවන්ති විජේසිංහ ඇහැළියගොඩ එරත්න ග්‍රාමයේ ගෘහණියක්. දහසක් ආර්ථික ප්‍රශ්න මැද ජීවිත ගමන ගෙනගිය ඇය තමුන්ගේම දෙපයින් නැඟී සිටීමට නොගත් උත්සාහයක් නැති තරම්.

ඇය යන්තමින් හෝ මුදලක් උපයා ගැනීමට බිම්මල් වගාවක් ආරම්භ කළේ නිවෙසේම කොටසක සාරි කඩමළු ටිකක් වටකරගෙනයි. එයින් ඇයට ලැබුණේ සොච්චම් මුදලකි. මේ කුඩා වපසරියෙන් ඉදිරියට යන්නට ඇයට තිබුණේ ඉතාම අසීරු ඉලක්කයක්.

මේ සියල්ලම ජය ගනිමින් නිවන්ති බිම්මල් වගාවෙන් ජීවිතයේ අලුත් මාවතකට පිවිසෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය නැතිනම් කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ලබාදුන් ණය මුදලින් බිම්මල් වගාව සාර්ථකව ක්‍රමවත්ව නිසි පුහුණුවක් ලබමින් හොඳ වෙළෙද පොළක් ද හඳුනාගනිමිනි.

ඇයගේ සාර්ථකත්වයේ ගමන් මඟට SAPP ආයතනය ලබා දුන් දිරිය ශක්තිය මහ මෙරකි. මේ දැවැන්ත ව්‍යාපෘතියට පන්නරය හා ජවය දෙන මුල් පුටුව උසුලන ඇය අද ජීවිතය අර්ථවත් කළ විශේෂාංගයට එක්වන්නේ ඒ පිළිබදව හෙළිදරව් කරන්නටය.

ආචාර්ය යසන්තා මාපටුන.... ජීවිතය අර්ථවත් කළ ඇය SAPP ආයතනයේ නැතිනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ විධායක අධ්‍යක්ෂතුමියයි. අප සමඟ පිළිසඳරට එක් වූ ඇය තම ජීවිතය අර්ථවත් කිරීම තුළින් ලබාගත් දැනුම සමස්ථ කාන්තා පරපුරටම බෙදා දෙන අයුරු පැහැදිලි කළේ හෘදයාංගම ලෙසයි.

අපට මුලින්ම ඔබගේ ආයතනයෙන් සිදුකරන සේවාව ගැන හැඳින්වීමක් කළොත්?

අපේ ආයතනයෙන් කෙරෙන මූලිකම කාර්යය තමයි ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම. එහිදී විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් සහ තරුණ තරුණියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. තරුණ පිරිස සහ කාන්තාවන් කෘෂිකාර්මික ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය කිරීම අපගේ ප්‍රධානම ඉලක්කය. එය තවත් සරලව විස්තර කරනවා නම් අපගේ ආයතනය උත්සාහ කරන්නේ කුඩා පරිමාණයේ වගාකරුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් ව්‍යාපාරිකයන් බවට පත් කිරීමයි.

අපේ ආයතනය කුඩා පරිමාන කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන ලෙසයි නම්කර තිබෙන්නේ. මේ සඳහා ජාත්‍යන්තර කෘෂිකර්ම අරමුදලින් අරමුදල් සපයනවා. ශ්‍රී ලංකා රජයත් ජාත්‍යන්තර කෘෂිකර්ම අරමුදලත් එකට එකතු වෙලා මුදල් යොදවා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී අපගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙන්නේ කෘෂි කාර්මික ජනතාව ව්‍යවසායකයන් බවට පත් කරමින් ඔවුන් නඟා සිටුවීමයි. කෘෂිකාර්මික ජනතාවට තිබෙන ලොකුම ගැටලුව තමයි ඔවුන්ට වෙළෙඳපොළ සොයා ගැනීමේ අපහසුව. දෙවැනි ගැටලුව බොහෝ විට ඔවුන් නිෂ්පදානය කරන බෝග හෝ නිෂ්පාදන වෙළෙඳපොළට අවශ්‍ය දේ නොවෙයි. තුන්වැනි ගැටලුව ලෙස හඳුනාගෙන තිබෙන්නේ මේ අයට වෙළෙඳපොළට අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම අවබෝධය කුසලතාව තාක්ෂණය නොතිබීම. තවත් ගැටලුවක් බවට පත් වෙන්නේ ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හා මුදල් නොතිබීමයි.

අපේ රටේ වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ කුඩා පරිමාණයේ වගාකරුවන්. ඔවුන් නිපදවන ඒ කුඩා පරිමානයේ නිෂ්පාදන විකුණා ගැනීම විශාල අභියෝගයක්.

අපගේ ආයතනය මේ ගැටලු තමයි මූලිකවම හඳුනාගත් ගොවීන්ගේ ගැටලු බවට පත් වෙන්නේ.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ මේ කරුණු හතරම ගැන හොඳින් සලකා බලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා පහසුකම් සැපයීමයි. අපි සැමවිටම වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යාපෘති තමයි හදන්න දායක වෙන්නේ. වෙළෙඳපොළේ අවශ්‍යතාවය කෘෂිකාර්මික ජනතාවට දීලා ඔවුන් හරහා අපි සමඟ ගොවින් තිස්පන්දහසක් පමණ වැඩ කටයුතු කරනවා. ඒ ආකාරයට තමයි අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ.

මේ අතරින් කාන්තාවන් මූලික කරගත් ව්‍යාපෘති මොනවාද කියලා කිව්වොත්?

ඇත්තෙන්ම අපේ ව්‍යාපෘති අතර කාන්තාවෝ වැඩියෙන්ම ආදායම් ලබන ව්‍යාපෘතිය තමයි හතු කර්මාන්තය. මේ සඳහා නියම තාක්ෂණ දැනුම ලබාගෙන නියම ආකාරයට වගා කරලා වෙළෙඳපොළට නියම ආකාරයට යොමු කරන ව්‍යවසායකයන් තමයි ඉතාම සාර්ථක වුණේ. නමුත් වෙළෙඳපොළක් නැතිව හතු හැදුවොත් එය ටික කාලයකින් අසාර්ථක වෙනවා. කාන්තා සහභාගීත්වය හොඳටම ලැබෙන දෙවැනි ව්‍යාපෘතිය තමයි මල් වගාව. මහා පරිමාණයෙන් මල් පැළ හා වෙළෙඳපොළට අවශ්‍ය දේ නිපදවීම තමයි අපේ අරමුණ. මේ නිසා ඒ කෘෂිකාර්මික ජනතාව වෙළෙඳපොළ පිළිබඳ ගැටලුව, තාක්ෂණික දැනුව, ප්‍රාග්ධනය යන සියල්ල ඒ අයට විසඳා ගන්න හැකි වී තිබෙනවා. අපි මේ කටයුත්ත සඳහා බැංකු පද්ධතිය සම්බන්ධ කරගෙන ඔවුන්ට මූල්‍ය ශක්තියක් ලබා දෙමින් ඉදිරියට යනවා.

ඇත්තටම ග්‍රාමීය ගොවි ජනතාව ණය බරින් පීඩා විඳිනවා. ඒ අය ක්‍රමවත් බැංකු ක්‍රමයකට අනුගත කිරීම පිළිබද අප වැඩි අවධානයක් යොමු කරනවා. මේ ආකාරයෙන් විවිධ ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපෘති 35ක් පමණ නිර්මාණය කරලා තියෙනවා.

මල් පැළ මිලදී ගන්නවා කියලා එන ව්‍යාපාරිකයන් කාන්තාවන් අතරමං කරලා දාලා ගිය විශාල පිරිසක් ඉන්නවා. මල් කර්මාන්තයේදී නියම Promoter නැතිනම් දායකත්වය සපයන්නා හඳුනා ගැනීම අපි හොඳින් බුදධිමත්ව කළ යුතු

දෙයක්. අපි සමඟ මල් වගා කරන කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට කුඩා හට් එකක් ලබා දීලා තියෙනවා. ඔවුන් ළඟට ඇවිත් මල් ගන්නවා. මුලින්ම අපි ඒ අයට කියනවා පැළය තිබිය යුතු ආකාරය ගැන. ඒ කියන්නේ පැළයේ කොළ දෙකයි ද තුනයි ද තිබෙන්න ඕනේ කියලා මුලින්ම පැහැදිලි කරනවා. නැතුව ගොවීන් වගා කළාට පස්සේ ඒක ගන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරන ආකාරයේ ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු හඳුනාගෙන ගොවීන් ඉදිරිපිටම මිලදී ගන්නත් මුලින්ම එකඟකර ගැනීම සඳහා අපි මැදිහත් වෙනවා. මල් ගණන දෙකක් නම් මෙපමණයි, තුනක් නම් මෙපමණයි කියන දේ මුලින්ම ගැනුම්කරුවා ගොවියාට පැහැදිලි කළයුතුයි. ඕකිඩ් මලක් ගත්තොත් එහි මල් ගණන වැනි දේ මුලින්ම දැනගෙන සිටීම වගාකරුවාටත් මිලදී ගන්නාටත් දෙදෙනාටම හොඳයි. වෙළෙඳපොළ දැනුම හරියට කාන්තාවන්ට ලැබුණොත් මේ මල් වගාව හොඳ ආදායම් මාර්ගයක්.

කෘෂි කර්මාන්ත හැර මේ ආකාරයෙන් කාන්තාවන් කළ හැකි වෙනත් ව්‍යාපෘති මොනවාද?

ගෘහස්ථ කුකුළු පාලනය හරිම සාර්ථකයි. මෙහිදී අපි හඳුන්වා දුන්නේ සත්තු 25ක් විතර ගෙදර හදන ක්‍රමයක්. සාමාන්‍යයෙන් අක්කරයක් විතර තියෙනවා නම් Free Range කියන කුකුළෝ ඇහිඳගෙන කන්න හඳුන්වන්න පුළුවන්. එහිදී පවුලේ පෝෂණය වගේම කාන්තාවකට අමතර ලොකු ආදායමක් ලැබෙනවා. ඒ බිත්තරවලට හොඳ ඉල්ලුමකුත් තිබෙනවා. එය ඉඩකඩ කරන්න පුළුවන් හොඳම ව්‍යාපෘතියක්. තව අපේ තියෙනවා ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව. ඒක කාන්තාවක් පුද්ගලික ආයතනයක් එක්ක කරන සාර්ථක ව්‍යාපෘතියක්. මේ වගේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මකයි.

මේ ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වෙන්නේ මොන ප්‍රදේශවල ද?

අනුරාධපුරය, මහනුවර, කොත්මලේ, බලංගෙඩ, රත්නපුර යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් ක්‍රියාත්මකයි. තරුණ තරුණියන්ගේ ව්‍යාපෘති ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ කෝපි සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ව්‍යාපෘතිය ඇහැළියගොඩ, බලන්ගොඩ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙනවා. වෙනත් සමහර ප්‍රදේශවල කාන්තාවන්ට කරන්න කිසිම දෙයක් නෑ.

විදුලි බුබුළු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කාන්තාවන් හොඳටම ආදායමක් ලබන බව සතුටින් කියන්න කැමැතියි. මේ සෑම ව්‍යාපාරයකටම ගැනුම්කරුවෝ නැත්නම් අපි උදවු කරන්නේ නෑ.

මේ තරම් දැවැන්ත ව්‍යාපෘතියක් කරන ඔබ ආදරණීය මවක්, ගෘහණියක්.... ඒ ගැනත් අපට පොඩි විස්තරයක් කියන්නකෝ.

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවලා දෙන්නෙක්. ඇත්තටම මගේ දැනුම ලැබූ ක්ෂේත්‍රය පරිසර විද්‍යාව. ජෛව විවිධත්වය තමයි මගේ ආචාර්ය උපාධිය. මම පිටරටක ගෞරව උපාධිය කළත් ලංකාවේ තමයි ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු කළේ. එංගලන්තයේ උපාධිය කළාට ලංකාවේ ගොවි ජනතාවත් සමඟ හොඳට ගැටෙමින් වැඩ කළා. මට සමාජයක් සමඟ ගනුදෙනු කිරීමේ හොඳ හැකියාවක් පුරුද්දක් තියෙනවා. මගේ ආචාර්ය උපාධියට තෝරා ගත්තේ ‘පරිසර හිතකාමී ව්‍යාපාර‘ එය අමෙරිකාවේ කරන කාලේ අපේ රටට යොදා ගැනීම ගැන පර්යේෂණ රාශියක් කළා. ඒ වගේම කෘෂිකර්මය, සත්ත්ව පාලනය වගේම විශ්ව විද්‍යාල කතිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කළා. නමුත් දැන් නම් ඒ සඳහා වෙලාව නෑ.

එතකොට ඔබගේ ගම් පළාත....

මම ඉදුනේ හොරණ. පාසල් ගියේ හොරණ ශ්‍රීපාලියටයි තක්ෂිලාවටයි. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ මහරගම. මගේ සැමියා ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. ඒ වගේම මගේ කාර්යබහුල ජීවිතයට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඔබ මේ ව්‍යාපෘතිය තුළින් මොනවගේ දෙයක්ද අපේක්ෂා කරන්නේ.

ඇත්තටම මේ ව්‍යාපෘති සාර්ථකවී ඒ තුළින් ලබන සතුට මිල කරන්න බැහැ. ගොවියෙක් බිහිවෙලා සාර්ථක ගමනක් යනකොට මගේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. ඒ අයට පොඩි දැනුමක් දුන්නහම දුර ගමනක් යනවා. මම මේ සේවය කරන්නේ Fashion එකක් වගේ. මම පරිසරයට ආදරේ නිසා ලංකාව කිසිම දවස දාලා යන්න හිතෙන්නේ නෑ. මම ගෞරව උපාධිය කරන කාලේ එංගලන්තයේ කෞතුකාගාර තනතුරක් ලැබුණා. ඒත් ඒක භාර ගත්තේ නැහැ. නමුත් මට හැකි උපරිමයෙන් රටට සේවය කරනවා.

 

 

ඡායා - සුලෝචන ගමගේ