එනසාල් වගාවක් නඩත්තු කරන්නේ මෙහෙමයි

අස්වැන්න නෙළුැ විගස වියළා ගැනීමෙන් ආකර්ෂණීය කොළ පැහැයක්
දෙසැම්බර් 20, 2021

දේශීය රසකාරක භෝග වගාව

 

එනසාල් එහෙමත් නැතිනම් කරදමුංගු යනු දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවිවන කුළුබඩුවකි. එනසාල් වගාව හරහා ඔබට ද පහසුවෙන්ම අතමිට සරු කර ගත හැකියි.

ඒ සඳහා ක්‍රමානුකූලව දැනුම ලබාදෙන මේ විශේෂාංගය ඔස්සේ අද අපේ අවධානය යොමු වන්නේ වගාවේ නඩත්තු කටයුතු සහ අස්වැන්න නෙළා වියළා ගන්නා ආකාරය පිළිබඳයි.

 

වගාවේ නඩත්තු කටයුතු

පැළ සිටුවීමෙන් අනතුරුව එනසාල් වගාවට අවශ්‍ය පමණ කොම්පෝස්ට් පොහොර සහ වසුන් යොදන්න. පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ද වගා නඩත්තු කටයුතුවල දී ඉතා වැදගත් කාර්යයකි. විශේෂයෙන් බෑවුම් සහිත ඉඩම්වල සුදුසු හෙල්මළු ක්‍රම මගින් සහ කුට්ටි කාණු යෙදීම මඟින් ද පාංශු ඛාදනය වැළැක්වීම සඳහා අවධානය යොමු කළ හැකියි. එමෙන්ම එක් එක් පැළය සඳහා පොල්ලෙලි වැනි ද්‍රව්‍යම භාවිත කර තනි තනි වේදිකා සකසා පාංශු ඛාදනය හා පොහොර අපතේ යාම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.

තවද වියළි දේශගුණික කාලවලදී එනසාල් වගාවට අතිරේක ජලය සම්පාදනය කිරීම මඟින් අස්වැන්න අඩුවීම පාලනය කර ගන්න ඔබට පුළුවනි. වල් නෙළීම ද එනසාල් වගාවේ නඩත්තු කටයුතුවල ඇති ප්‍රධාන ක්‍රියාකාරකමකි. මේ සඳහා වීසිකැති ගැසීම කළ හැකියි. එසේම වගාවේ ඇති මියගිය, රෝගවලට ලක් වූ හෝ හානිවී ඇති කඳන් පොළවේ සිට සෙන්ටිමීටර් 50ක් පමණ ඉහළින් කපා දමන්න. අනතරුව එම දණ්ඩ කැපූ ස්ථානයෙන් නැමීමට ලක් කරන්න. එමඟින් එනසාල් වගාවේ ඇතැම් රෝග බෝවීම වළක්වාලිය හැකියි.

එනසාල් යනු සෙවණ ප්‍රිය කරන වගාවක් වුවත් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් අනවශ්‍ය සෙවණ පාලනය කළ යුතු වේ. ඒ අනුව මහ කන්නයේ වැසි ආරම්භවීමට පෙර උස සෙවණ සහිත ගස් කප්පාදු කරන්න. එසේ කිරීමෙන් සෙවණ පාලනය කර වගාවට වැඩිපුර හිරු එළිය ලබා දෙන්නට ඔබට හැකි වේවි. මෙලෙස සෙවණ පාලනය හා භෝගයේ අනවශ්‍යම අතු ඉති ඉවත් කිරීම මඟින් වගාව නිරෝගීව පවත්වා ගැනීම මෙන්ම වගාවට වැළඳිය හැකි ලෙඩ රෝග පාලනය කර ගැනීමටද හැකි වේවි.

 

රෝග හා පළිබෝධ හානි

මෙලෙස ක්‍රමානුකූලව පවත්වාගෙන යන එනසාල් වගාවට කඳ හා ගෙඩිවිදින කෘමියාගෙන් හානි සිදුවිය හැකියි. කොළ කොපුවල තැන්පත් කරනලද බිත්තරවලින් මතු වන කීටයන් එනසාල් කඳේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගන්නා අතර එමඟින් කඳේ මැද කොටස වියළී යයි. එසේම නොමේරූ එනසාල් ගෙඩිවලටද මොවුන් ඇතුළුවීමෙන් බොල් කරල් ඇති වීමටද පුළුවනි. මෙම හානිය පාලනය කිරීමට ඔබ කළ යුත්තේ කෘමින් හානි කළ කඳන් කපා විනාශ කිරීමයි.

එසේම එනසාල් වගාවට ඇතිවන පැළ මැක්කාගේ හානියද සුළුපටු නොවේ. මෙහිදී එනසාල් මල්පිපී ඉතා ළපටි ගෙඩි හටගන්නා අවස්ථාවේ පැළමැක්කා ගෙඩියේ යුෂ උරා බොයි. පසුව එම ගෙඩි රළු දුඹුරු පැහැති මතුපිටක් සහිත ඉතා අඩු ගුණාත්මක තත්ත්වයකට පත් වේ.

පඳුරු කුණුවීමේ රෝගයද එනසාල් වගාවේ බහුලව දක්නට ලැබෙන රෝගයකි. පත්‍ර කහ වීම සහ නොමේරූ කඳන් මියයාම මෙහිදී දකින්නට ලැබෙන රෝග ලක්ෂණයි. මෙම රෝගය එනසාල් වගාවට වැළඳුණු විට රෛසෝම හෙවත් එනසාල් අල සහ කඳ පාමුල, දුඹුරු පැහැයට හැරෙන අතර ඒවා කුණුවන ස්වභාවයක් පෙන්නුම් කරයි.

එබැවින් මෙම රෝග ඔබේ එනසාල් වගාවට වැළඳුණහොත් එය පාලනය කිරීම සඳහා පඳුර මුල සෑමවිටම පිරිසුදුව තබාගන්න. එසේම හානියට ලක් වූ ශාක හා එනසාල් අල ගලවා පුළුස්සා දමන්න. වැසි සමයේදී වගා බිමේ අනවශ්‍ය ජලය රඳා පැවතීම හැකිතාක් අඩු කරන්න.

 

අස්වනු නෙළීම හා සැකසීම

වසර පුරාම හොඳ වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවල ඇති එනසාල් වගාවන්හි වසර පුරාම මල් හට ගනී. නමුත් ඒ අතරින් ප්‍රධාන අස්වනු සමය වන්නේ අගෝස්තු මාසයේ සිට ජනවාරි මාසය දක්වා වූ කාල පරාසයයි. අස්වනු නෙළීමේ දී කිනිත්තේ පවතින නොමේරූ ගෙඩිවලට සහ මල්වලට හානි නොවන අයුරින් අස්වනු නෙළීම ප්‍රවේශමෙන් කළ යුතුයි. මේ සඳහා ඔබට කතුරක් භාවිත කරන්නට පුළුවනි.

සාමාන්‍යයෙන් සති 04 - 06 අතර කාල පරාස තුළ අස්වනු නෙළීම සාමාන්‍ය ක්‍රමයයි. එනසාල් නෙළීමට සුදුසුම අවස්ථාව වන්නේ එනසාල් ගෙඩි කොළ පැහැයේ සිට යාන්තම් කහ පැහැයට හැරෙන මොහොත හෝ ගෙඩියේ ඇට කළු පැහැ ගැන්වෙන අවස්ථාවයි. එසේ නැතහොත් වියළි අස්වැන්න අව පැහැයක් ගන්නා අතර වියළීමේදී ගෙඩි පුපුරා යාමටද ඉඩ තිබේ. අස්වැන්න නෙළූ වහාම වියළා ගැනීමට කටයුතු කිරීමෙන් එනසාල්වලට ආවේණික ආකර්ශණීය කොළ පැහැය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එසේම අස්වනු වියළීමට පෙර අපද්‍රව්‍ය ඉවත් කිරීමට හා බොල් ගෙඩි ඉවත් කිරීමට ජලයෙන් සෝදන්න. ඉන්පසු බොල් අස්වැන්න වෙනමත් හොඳින් පිරුණු සාරවත් නිරෝගී අස්වනු වෙන වෙනමත් වියළීම කළ යුතුයි.

සාමාන්‍යයෙන් අමු එනසාල් කිලෝ ග්‍රෑම් 05කින් වියළි එනසාල් කිලෝ ග්‍රෑම් 01ක පමණ අස්වැන්නක් ලබා ගත හැකියි. ඔබට එනසාල් අස්වනු වැඩි වශයෙන් ලැබී තිබේ නම් හෝ ඔබ ව්‍යාපාරික මට්ටමෙන් එනසාල් අස්වනු එකතු කරන්නට බලාපොරොත්තු වන්නේ නම් අස්වැන්න නෙළූ වහාම කෘත්‍රීම වියළනයක් ආධාරයෙන් වියළාගත යුතු වේ. ඔබ සතුව තිබෙන්නේ එනසාල් සුළු ප්‍රමාණයක අස්වැන්නක් නම් එය ශීතකරණයේ අධිශීත කුටියේ තබා කොළ පැහැය රැකෙන සේ වියළා ගන්න. වෙළෙඳපොළේ ඉහළ මිළක් ලැබෙන්නේ මෙලෙස වේලාගත් කොළ පැහැයට හුරු එනසාල් සඳහායි. වියළීමෙන් පසුව මෙම එනසාල් සුළං නොවදින ලෙස හා ආලෝකයට නිරාවරණ නොවන ලෙස කළු පොලිතීන් ඇසුරුමක ගබඩා කළ යුතු වේ.

 

 

උපදෙස් -

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර

රුවන් බස්නායක

 

 

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති කොඩිතුවක්කු