ඔබේ වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙන්නේ මෙහෙමයි

ජනවාරි 3, 2022

 

උදාවී ඇත්තේ නැවුම් බලාපොරොත්තු සපිරි වසරකි. කෝවිඩ් වසංගතය නිසා කරන්නට අතපසු වූ බොහෝ දේ යළි ආරම්භ කිරීමට අලුත්ම දෙයකට මුල පුරන්නට උදාවූ නව වසරේ බොහෝ දෙනෙක් බලා සිටින්නට ඇති.

අප සමඟ නිරතුරුවම රැඳී සිටින පාඨකයන්ට ශක්තියක් වෙන යමක් තිළිණ කිරීම අපගේ අපේක්ෂාව වූයේ ඒ නිසාය. ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා මඟ පෙන්වීමට අපි තීරණය කළෙමු. SAPP ආයතනය සමඟ එක්ව දෙපයින් නැඟී සිටින්නට වෙර දරන ඔබට ශක්තියක් වන මේ වැඩසටහන පිළිබඳ සති කිහිපයකම සිට දැනුවත් කරන්නේ ඒ නිසායි. අපගේ පාඨකයන්ගේ එයට ඇත්තේ දැඩි උනන්දුවකි. එම උනන්දුව නිසාම ඔබ පුරවා එවන කූපනයට අනුව ලියාපදිංචි කර තවත් සති කිහිපයකින් මේ සුවිශේෂි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපි අදහස් කරමු.

මේ වැඩසටහන සම්බන්ධවීමට ඔබට තවමත් අවස්ථාව තිබේ. ඔබ දිවයිනේ කොතැනක පදිංචිව සිටියත්, කෘෂි ව්‍යාපාරික කටයුත්තක නියුතු කාන්තාවක් නම් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීම අපගේ අපේක්ෂාවයි.

ඔබට මේ මඟපෙන්වීම ලබා දෙන්නේ ආකාර තුනකටය. ඉන් පළමුවැන්න 4p ක්‍රමයයි. මේ ක්‍රමය සිදුවන්නේ ප්‍රවර්ධකයකු හරහා ඔබගේ කෘෂි කාර්මික වගාවන් විකුණා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීමකි. උදාහරණයක් ලෙස ඔබ පළා වර්ගයක් වගා කරනු ලබන ගෘහණියක් නම් එම පළා වර්ග විකුණා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලක් සොයාදීම එම ආයතනය මඟින් සිදු කර ඔබට අවශ්‍ය ප්‍රාග්ධනය හා කෘෂිකාර්මික දැනම හා ව්‍යාපාරික දැනුමද නොමිලේ ලබාදීම සිදු වේ. මෙලෙස ඔබ වගාවක් ආරම්භ කළ පසු විකුණා ගැනීමේ ගැනුම්කරුවකු සිටීම විශාල ශක්තියකි. එසේම ඔවුන්ගේ මඟ පෙන්වීම හා උදව් උපකාර කිරීම ද අඛණ්ඩව සිදු කරනු ඇත.

එසේම මේ ව්‍යාපෘතියට සම්බන්ධවන අයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය දැනුම ලබාදීම ද සිදු කෙරේ. ඔබ ඕකිඩ් මල් වගාවක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා කෘෂි උපදෙස් ලබා ගැනීම මුලින්ම කළ යුතුය. ඒ සඳහා පළාත් මට්ටමින් පත් කළ අධ්‍යක්ෂවරුන් හරහා ඔබට අවශ්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන් SAPP ආයතනය ඉදිරිපත් වී ක්‍රියාත්මක කරයි. මේ සඳහා සෑම ව්‍යාපෘතියක් සඳහාම පුහුණු කිරීම් සැලසුමක් ද සකස් කර තිබේ. එහිදී ඔබට ලබාදිය යුතු දැනුම හා පුහුණුව කුමක්ද, පුහුණු සැසි මොනවාද ඒ සඳහා උපදේශකයන් පත්කිරීම හා ඔබ යොමු කළ යුතු ව්‍යාපෘතිය කුමක් ද යන සියලු දේ ඔවුන් සැලසුම් කරනු ඇත.

ඊට අමතර මෙලෙස දැනුම ලබා දෙන අතර ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම විශේෂත්වයකි. තවද මේ ව්‍යාපෘතියට සම්බන්ධ කෘෂි වගාව සාර්ථක වූ ගොවි මහතුන්ගේ ගොවිපොළකට හෝ වගා බිමකට කැඳවාගෙන ගොස් ඔවුන්ගේ අත්දැකීම් හා දැනුම ද ඔබට ලබාදීම මේ ව්‍යාපෘතිය අතර සිදුවන විශේෂ කටයුත්තකි. මේ අත්දැකීම් හුවමාරුව තුළින් ඔබට හොඳ දැනුමක් ලැබෙන අතර ඔබේ කෘෂි ව්‍යාපාරයද සාර්ථක වනු ඇත.

මේ වැඩසටහනේදී ණය පහසුකම් ලෙස ලක්ෂ 5ක මුදලක් ලබා දුන්නත් එය ලක්ෂ 20 දක්වා මුදලක් ලබා ගැනීමට ව්‍යාපාරයේ ස්වභාවය අනුව හැකිවනු ඇත. ඔබට එම ණය මුදල ලබාදීමට අමතරව ආධාර මුදලක් ද අමතරව ලබාදීම මෙහි විශේෂත්වයකි. මේ වන විට 500 පමණ මෙවැනි ව්‍යාපෘති ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර මේ වසරේ එය වඩාත් පුළුල් කිරීම ද සිදු කරනු ඇත. මෙලෙස ව්‍යාපෘති පිළිබද නිරතුරුවම SAPP ආයතනය අධීක්ෂණය කරන අතර සාර්ථක ව්‍යාපෘති ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ආධාර මුදල ලබාදී අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ද මඟපෙන්වීම සිදු කරයි. උදාහරණයක් ලෙස ආහාර විජලනය කරන ව්‍යාපෘතියක් කරන ගෘහණියක් නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ගැනීමට අවශ්‍ය මුදල් ආධාර පිරිනමනු ලබයි.

උපදෙස් : SAPP ආයතනයේ උතුරු නැගෙනහිර පළාතේ වැඩසටහන් උපදේශක අනිල් ජයවර්ධන මහතා