උසස් පෙළ අවසන් ඔබට ගොඩ යන්න පුළුවන් ක්‍රම පෞද්ගලික අංශයේ පාඨමාලා රැසක්

මාර්තු 14, 2022

උසස් පෙළ අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් කරන තුරු මාස ගණනක් කිසිම ප්‍රයෝජනයක් නොමැතිව කාලය හා තම තාරුණ්‍යය මහ මඟට හෝ පරිගණකයකට වැය කර දමති.

ජීවිතය බොහෝ ගැඹුරුය. ඒ ගැඹුරු සයුරේ කිමිදෙන්නට අප ශක්තිමත් විය යුතුය. අධ්‍යාපනය එයට කදිම ආධාරකයකි. මෙලෙසින් ජීවිතය ජය ගන්නට අපට විභාග සමත්වීම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. ඒ සඳහා වෘත්තීමය පුහුණුවක් හා දැනුමක් තිබීම රැකියාවක් ලැබීම බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය.

බොහෝ දරුවන් තමුන් කරන්නේ කුමක්දැයි සිතන්නේ උසස් පෙළ අවසන් වූ පසුය. විභාගය අවසන් වූ බොහෝ දරුවන් බලා සිටින්නේ ප්‍රතිඵල නිකුත් වන තුරුය. ප්‍රතිඵල නිකුත් වූ පසුව අසමත් වූ දරුවන් සුසුම් හෙළන්නේ ඊළඟට කරන්නේ කුමක්දැයි සිතමිණි.

ඇතැමුන් දෙවැනි වර හෝ තුන්වැනි වරට නැවතත් විභාගයට සූදානම් වෙයි. තවත් දරුවන් පිරිසක් විශ්ව විද්‍යාල වරම් ලබයි. මේ කිසිවක් නොමැති දරුවන් ඊළඟට තමුන්ගේ මිතුරු මිතුරියන් සමඟ කුමක් හෝ පාඨමාලාවක් කරන්නට තෝරා ගනියි. මේ අතුරින් අති බහුතරයක් තෝරා ගන්නේ පරිගණක පුහුණුවකි. නැතිනම් ඉංග්‍රීසි පාඨමාලාවකි.

එහෙත් වර්තමානයේ පරිගණක දැනුම තිබීම හෝ ඉංග්‍රීසි දැනුම තිබීම පමණක් රැකියාවක් ලැබීමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා නිසි පුහුණුවක් ලැබෙන වෘත්තීමය පාඨමාලාවක් හදාරා තිබීම රැකියාවක් හිමිකර ගැනීමට පහසු මඟකි.

වර්තමානයේ කාර්මික ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් පවතී. එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේද හොඳ රැකියා රාශියක් වෙයි. අවාසනාවට අප රටේ මේ ක්ෂේත්‍රවල රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් විශාල රික්තයක් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ නිසි පුහුණුවක් ලැබූ තරුණ තරුණියන් නොවීමය. තවද අපේ රටේ තරුණ තරුණියන් බහුතරයක් අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. නැතිනම් කාර්යාලයක ලිපිකරු වෘත්තියකි. මේ පටු මානසිකත්වය නිසාම බොහෝ පිරිසක් උසස් පෙළ අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් කරන තුරු මාස ගණනක් කිසිම ප්‍රයෝජනයක් නොමැතිව කාලය හා තම තාරුණ්‍යය මහ මඟට හෝ පරිගණකයකට වැය කර දමති.

එහෙත් බටහිර ලෝකයේ දියුණු රටවල තරුණ තරුණියන් ඉතාමත් බුද්ධිමත්ය. ඔවුන් තම තාරුණ්‍යයේ ඵල උපරිමයෙන් නෙළා ගනියි. ඔවුහු පාසල් අධ්‍යාපනය අවසන් කළ දිනයේ පටන්ම වෘත්තිමය පුහුණුවක් ලබති. නැතිනම් පුද්ගලික හෝ රජයේ ඇකඩමියක අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කරති. ඔවුන්ට අපතේ යවන්නට කාලයක් නොවෙයි. ප්‍රතිඵල නිකුත්වනතුරු බලා හිදින්නට ද අවශ්‍ය නොවෙයි. අවම වශයෙන් හමුදා පුහුණුවක් හෝ ලැබීමට තම කාලය කැප කරති.

අප ඔවුන්ගෙන් උගත හැකි පාඩම් බොහෝය.

බුද්ධිමත් තරුණයකුට හෝ තරුණියකට අවම වශයෙන් රියදුරු පුහුනුවක් හෝ ලැබීම අනාගතයට ප්‍රයෝජනයකි. අප පසුගිය සතියේ දී ඔබට උසස් පෙළ අවසන් කළ පසු කළ හැකි පුහුණු පාඨමාලා කිහිපයක් ගැන පුංචි අදහසක් ඉදිරිපත් කළෙමු. එම පාඨමාලා බොහෝ ප්‍රමාණයක් රජයේ ආයතනය මඟින් පවත්වන පුහුණු පාඨමාලාය.

රජයේ පුහුණු පාඨමාලා වගේම පෞද්ගලික අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් ද පවත්වන සාර්ථක පාඨමාලා රැසක් වෙයි. එම පාඨමාලා කිහිපයක් ගැන පුංචි සටහනක් මෙවර තබමු.

1. මෘදු කුසලතා පුහුණු පාඨමාලා.

මෘදු කුසලතා ලෙස අප හඳුන්වන්නේ ඉංග්‍රිසි හා පරිගණක දැනුමයි. ඕනෑම රැකියාවක් සඳහා ඉංග්‍රීසි හා පරිගණක මූලික සුදුසුකමකි. එසේම නායකත්ව පුහුණුව ද අනාගතයට ප්‍රයෝජනවත්ය. මේ සඳහා අප රටේ පෞද්ගලික පුහුණු ආයතන රාශියක් පවතී. කොළඹ ඇක්වයිනාස් ආයතනය, NIBM ආයතනය වැනි පිළිගත් ආයතන රැසකි. තවද රජයේ පුහුණු ආයතනයකට අනුබද්ධිතව පෞද්ගලිකව පුහුණු කරනු ලබන පාඨමාලා ද පවතී. ජාතික තරුණසේවා සභාව, රජයේ විශ්ව විද්‍යාලයන්ට අනුබද්ධිත පුහුණු පාඨමාලා ද වෙයි.

2. පෞද්ගලික විශ්ව විද්‍යාල

මෑත කාලය තුළ අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල රාශියක් බිහි වී තිබේ. එම විශ්ව විද්‍යාලවලින් ලබාදෙන උපාධි ප්‍රමිතිය පිළිබඳ හා විශ්වසනීයත්වය ගැන බොහෝ දෙනකුට පැහැදිලි අවබෝධයක් නොවේ. නමුත්

ඇතැම් උපාධි ලෝකයේම පිළිගැනීමක් නොවේ. අප රටේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචිය ලබා පවත්වන උපාධි පාඨමාලාවන් සඳහා හොඳ පිළිගැනීමක් පවතී. එසේම එම විශ්ව විද්‍යාල මඟින් විදේශීය හා දේශීය විශ්ව විද්‍යාල අනුබද්ධිත පාඨමාලා පවත්වයි. තවද විදේශගතව ද උපාධියක් ලබා ගැනීමට ද ඔබට හැකියාව පවතී.

3. Business Management Degree

පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් ව්‍යාපාර කළමනාකරණ පාඨමාලා ගණනාවක් පවත්වනු ලබයි.

එසේම විවෘත විශ්ව විද්‍යාලය මඟින් ද එවැනි පාඨමාලා පවත්වන අතර බැංකු ක්ෂේත්‍රයට අදාළ Banking පාඨමාලා පවත්වන ආයතන ද පවතී.

4. ඉංජිනේරු පාඨමාලා

රජයේ ඉංජිනේරු පාඨමාලා හැර පෞද්ගලික අංශයේ හැදෑරිය හැකි පාඨමාලා රැසක් පවතී. විවෘත විශ්ව විද්‍යාලයට අමතරව පවත්වන එම පාඨමාලා හැදෑරීමට අවස්ථාව තිබේ.

5. විදේශ වෛද්‍ය විද්‍යාලය

ජීව විද්‍යාව හදාරන බොහෝ දෙනකුගේ සිහිනයක් වන්නේ වෛද්‍යවරයකුවීමය. එසේ වෛද්‍යවරයකුවීමට උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවූ විට විදේශ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට උනන්දු වෙති. එසේ විදේශ උපාධියක් ලැබූ පසු නැවත අප රටේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම කළ යුතු වෙයි. තවද හෙද උපාධි පාඨමාලා ද පවතී. එම පාඨමාලා අප රටේ ද පවතින අතර විදේශ රටවල ද පුහුණුව ලැබිය හැකියි.

6. Software Engineering

මේ සඳහා පෞද්ගලික අංශයේ ආයතන රැසක් තිබේ. මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරීමෙන් ඔබට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුවීමට අවස්ථාව හිමි වේ.

7. City and Guilds

බ්‍රිතාන්‍ය ආයතනයක් මඟින් පවත්වන මේ උපාධි සහතික පාඨමාලාව ජාත්‍යන්තරව ද පිළිගනී. මේ සඳහා ක්ෂේත්‍ර රැසක් සඳහා පාඨමාලා පවත්වනු ලබන අතර ඉංජිනේරු ක්ෂේත්‍රයේ ද රැකියා අවස්ථා හිමිකර ගැනීමට මෙම පාඨමාලා බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය.

8. Multimedia and Graphics Desing Course

නිර්මාණශීලී තරුණ තරුණියන්ට මෙය හොඳම පාඨමාලාවකි. එසේම මේ ක්ෂේත්‍රයේ රැකියා රාශියක් පවතී. මෙවැනි පාඨමාලා පවත්වන පෞද්ගලික අංශයේ ආයතන රාශියක් පවතී. එසේම රජයට අනුබද්ධිත ඉන්ග්‍රීන් ආයතනයේ පාඨමාලා සඳහා ද හොඳ ඉල්ලුමක් තිබේ.

සටහන
දුමින්ද කාරියවසම්