බොබිනයට නූල් ඔතන නිවැරැදි පිළිවෙළ

මාර්තු 21, 2022

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘

තරුණී මැහුම් ඉස්කෝලේ

Lesson No. 14

 

පවතින ආර්ථික අර්බූදය තව කොතෙක් කාලයක් පවතීදැයි පුරෝකථනයක යෙදෙන්නට බැහැ. ඒ නිසා හැකි සෑම ආකාරයකින්ම, සම්මා කම්මන්තයකින් මුදල් උපයා ගත්තේ නැතිනම් ජීවිතය වඩාත් දුෂ්කර වෙන්න පුළුවන්..

එදා වේල සපයා ගන්නට කුමක් හෝ කරනවාට වඩා ස්ථාවර ආදායම් මාර්ගයකට අඩිතාලම දමා ගැනීම තමයි සුදුසුම ක්‍රියා මාර්ගය. මැහුම් කලාව පිළිබඳ සමාජ ඉවක් තියෙන කාන්තා ඔබට මේ පාඩම් මාලාව අතිශය වැදගත්කමක් දරනු ලබන්නේ ඒ නිසාමයි. මේ පාඩම් මාලාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ආකාරය පිළිබඳවත් අප අවධානය යොමු කරමින් සිටිනවා. ඒ සඳහා මැහුම් ඉස්කෝලේ කූපනය පුරවා එවූ ඔබ සැමගේ විස්තර මේ වන විටත් දිස්ත්‍රික්ක අනුව ලියාපදිංචි කරමින් පවතින අතර එම වැඩ පිළිවෙළ පිළිබඳව වැඩිදුර තොරතුරු අප ළඟදීම මෙම පිටුවේ පළ කරනවා. පසුගිය සති දෙකේ අප කතා කළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමේදී අවශ්‍ය වෙන මැෂින් වර්ග පිළිබඳවයි. අද අවධානය යොමු කරමු බොබින සහ ෂටලය සම්බන්ධයෙන්.

එහෙමනම් බලමු එරංග රණසිංහයන් බොබින් එක සහ ෂටල් එක ගැන මොනවද කියන්නේ කියලා...

නිවැරැදි ක්‍රමානුකූල මැස්මකට මෙම කොටස් දෙකේ ක්‍රියාකාරිත්වය සෘජුවම බලපානු ලබනවා. ඒ නිසා මෙතැනදී දැඩි අවධානයකින් කටයුතු කිරීම හරිම වැදගත්.

බොබිනයට නූල් එතීම සඳහා මැෂිමේ ඉදිරියේ දකුණු පස තිබෙන නූල් පන්දුවෙන් ගන්නා නූල් පොට ත්‍රෙඩ් ග්‍රයින්ඩරයේ දවටා ගත යුතුයි. අනතුරුව එම නූල් කෙළවර බොබින් වයින්ඩරයට සම්බන්ධ සිදුරෙන් ද ඇතුළුකර ගන්න. ටෙන්ෂන් එකක් (තද ගතියක්) තිබේනම් Dich දෙක අතරින්ද නූල් පොට ගෙන බොබිනයේ නූල ඔතා ගත යුතුයි. අනතුරුව නූල බොබින් වයින්ඩරයට සම්බන්ධ කර Lock ඉදිරියට තල්ලු කරන්න. ඉන්පසු මැෂිම ක්‍රියාත්මක කරවීමේදී නූල ඇදී සම්පූර්ණ වූ පසු බොබින් වයින්ඩරය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ.

මැෂිමට ෂටලය සම්බන්ධ කිරීමේදී සහ ගැලවීමේ දී ද අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා. බොබිනය රඳවනයට දැමූ පසු නූල් කෙළවර, ත්‍රෙඩ් හෝල් එක තුළින් පිටතට ගන්න. දැන් එයට යටින් ත්‍රෙඩ් ස්ටීල් ලීවරය තුළින් නූල් පොට පිටතට ගත යුතුයි. නූල් කෙළවර පිටතට ගැනීමේ දී බොබිනය දකුණු පසට කරකැවීම කළ යුතු වෙනවා. මේ අයුරින් සකස් කර ගන්නා ෂටලය මැෂිමට සවි කිරීමේ දී බොබින් රඳවනයේ නොබ් එක පිටතට නවා, ලොක් කර ගන්නා කොටස තමන් දෙසට සිටින අයුරින් රඳවනයේ හතරැස් කට්ටය තුළින් ඇදී යන සේ රඳවනයට ඇතුළු කරන්න.

මෙලෙසින් සවිකර ගත් ෂටලය යළි පිටතට ගැනීමට සිදුවුවහොත් ලොක් (Lock) කරන කොටස ඉදිරියට ඇද ගැනීම මඟින් කළ හැකි වෙනවා.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්