ලස්සන මල් පිපෙන නෙදර්ලන්ඩ් වර්ග

අප්‍රේල් 11, 2022

 

ඇරීසියා කුලයට අයත් ඇන්තූරියම් අතීතයේ දී අපේ නෙතට හුරු වූයේ රතු, සුදු හා රෝස පැහැයෙනි. කාලයේ තාලයට ගැළපෙමින් ඇන්තූරියම් ලෝකය නවීකරණය වූයේ නෙක වර්ණ ඇන්තූරියම් බිහිවෙමිනි. ඒ නිසාම අද දවසේ දී අපට රතු, සුදු හා රෝස පැහැයන්ට අමතරව දම්, දුඹුරු, කළු, තැඹිලි, කොළ ආදී වර්ණයන්ගෙන් ද දැකගත හැකියි. එය අපේ නෙත් ඉදිරියේ විස්මිත ලොවක් නිර්මාණය කරයි. එයිනුත් නොනැවතී මේ වර්ණවලට අමතරව වර්ණ දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර වූ ඇන්තූරියම් ද අද ඇන්තුරියම් ලොව ජයගෙන ඇත.

 

ඇන්තූරියම් වගාකරුවන් අතර මේ දිනවල වැඩි කතාබහට ලක්වී තිබෙන්නේ නෙදර්ලන්ඩ් ඇන්තූරියම් වර්ගයි. පැළ අලෙවිකරුවන් අතර නෙදර්ලන්තයෙන් ගෙන්වන පැළ බොහෝය. සමහරෙක් මේ පැළ කුඩා අවධියේ ම අලෙවි කරන අතර සමහරෙක් එම පැළ මිල දී ගෙන ලොකු වූ පසු අලෙවි කරති.

වගාවට ආධුනිකයෝ මෙන්ම අනෙකුත් සුළු පරිමාණ වගාකරුවන් හා නිවෙසේ අලංකාරයට වගා කරන අය මේවා මිල දී ගනිති. එහෙත් මේ බොහොමක් දෙනාට ඇති ගැටලුව වන්නේ මේ කුඩා පැළවලින් හටගන්නා මල් මොන වගේද? ඒ මල්වල වර්ණයන් මොනවාද? යන්නයි. ඒ නිසා අපි අද නෙදර්ලන්ඩ් ඇන්තූරියම් වර්ග කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නට අදහස් කළෙමු. මේ මල් දෙස බැලීමෙන් ඔබ මිල දී ගන්නා පැළවල මල් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේවි.

ජනප්‍රිය නෙදර්ලන්ඩ් වර්ග කිහිපයක් මෙලෙස හඳුනාගත හැකියි.

alegria - ඇලෙග්‍රියා - ළා තැඹිලි

anima - ඇනිමා - රතු හා කොළ මිශ්‍ර

consonante - කොන්සනන්ටෙයි - දුඹුරු

constancia - කොන්ස්ටන්සියා දුඹුරු

cuore - කෞරි - රතු

delicia - ඩෙලිසියා - තැඹිලි

tesoro - ටෙසෝරෝ - දම්

velento - වෙලෙන්ටෝ - රතු

xeneroso - ක්එනිරෝසෝ - සුදු

koro -කෝරෝ - රතු

paris black - පැරිස් බ්ලැක් - කළු

තවත් ලස්සන මල් පිපෙන නෙදර්ලන්ඩ් වර්ග ඇති අතර මේ වර්ග අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ඇත්තේ දම් පාට මල් පිපෙන ටෙසෝරෝ, දුඹුරු පැහැති මල් පිපෙන කොන්ස්ටන්සියා හා කළු පැහැති මල් පිපෙන පැරිස් බ්ලැක් යන වර්ගයි. ඉතිරි නෙදර්ලන්ඩ් වර්ගවල ඡායාරූප ලබන සතියේ බලාපොරොත්තුවන්න.

උපදෙස්

කොරතොට චන්දි ප්ලාන්ට් එන් ෆ්ලවර්ස් හි

චන්දි ගුණසේකර