විදුලිය නොමැතිව බත් උයන මැජික් උපකරණය ජීව ඉන්ධන බත් පිසිනය

Bioness Rice Cooker
අප්‍රේල් 25, 2022

 

සරල ජීවන රටාවක් තුළ ගැටලු හරිම අඩුයි. ගමක ජීවත්වන ගෘහණියකගේ ජීවන රටාවත් නගරයේ සංකීර්ණ මහල් නිවෙසක වෙසෙන ගෘහණියකගේ රටාවත් අතර ඇති පරතරය අපට මේ කාලයෙ හොඳටම දැනෙනවා. ගෑස් ටික, වතුර ටික, විදුලිය මේ සියල්ල නොමැති වුණත් ගමේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබුණත් නගරයේ මේ එක් දෙයක් නැති වුණොත් මුළු ජීවන රටාවම කඩා වැටෙනවා.

මේ ගෙවී යන කාලය එය අප හොඳින්ම දකිනවා. බොහෝ දෙනෙක් අත්විඳිනවා. ගමේ තිබෙන සරලබව බිඳගෙන නගරයේ සංකීර්ණ ජීවන රටාව තුළ මිනිස්සු අතරමං වෙලා... ගෑස් ටික ලැබෙනකම්, විදුලිය ලැබෙනකම්, ජලය ලැබෙනකම් බලා සිටින්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ සංකීර්ණ ජීවන රටාවට අනුගතවීම හේතුවෙන්.

හැබැයි මේ සංකිර්ණ ජීවන රටාව තුළ සිටිමින් සමහරුන් ඒ සඳහා විකල්ප සරල ක්‍රම සොයනවා. අප පසුගිය සතියකදී නර්ඩ් ආයතනය හඳුන්වා දුන් මඤ්ඤොක්කා පෙති කපන යන්ත්‍රය හා කර්මාන්ත සඳහා නිපදවූ දර ළිප පිළිබඳ ලිපියක් පළ කළේ එවැනි දෑ පිළිබඳ උනන්දුවක් ඇති ගෘහණියන් වෙනුවෙන්මයි.

මේ සතියේදිත් අප ඔබට හඳුන්වා දෙන්නේ එවැනිම උපකරණයක්. මේ උපකරණය ගමේ ගෘහණියකට පමණක් නොවෙයි නගරයේ ගෘහණියකට පවා ඉතාම ප්‍රයෝජනවත්. දිගින් දිගටම සිදුවන විදුලි කප්පාදුව නිසා අපේ ගෘහණියන් මුහුණ දෙන ගැටලු සුළු පටු නැහැ. සමහර අවස්ථාවලදී හාල් ටික ළිපේ තිබියදීම රයිස් කුකර් එක ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ විදුලි විසන්ධිවීම නිසායි.

මේ ගැටලුවට හොඳම පිළියමක් ලෙසින් ජාතික ඉජිනේරු පර්යේෂණ ආයතනය ජීව ඉන්ධන බත් පිසිනයක් හඳුන්වා දී තිබෙනවා. Bioness Rice Cooker ලෙසින් හඳුන්වන මේ උදුන ක්‍රියා කරන්න වැයවන දැව ප්‍රමාණය හරිම අඩුයි. පොල් කටුවක දැව ප්‍රමාණයකින් මේ උපකරණයෙන් කිලෝ එකක තරම් බතක් උයා ගන්න පුළුවන්. මේ උපකරණය ක්‍රියාත්මක කිරීමත් ඉතාම සරල වන අතර වැයවන කාලයත් හරිම අඩුයි. ඒ ගැන අපට හොඳින් විස්තර කළේ නර්ඩ් ආයතනයේ අලෙවි නිලධාරී මුදිත ප්‍රසාද් මහතා.

"මෙය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය විදුලියෙන් ක්‍රියා කරන Rice Cooker එකක් ආකාරයටමයි. මුලින්ම ඔබ කළ යුත්තේ පොල් කටු ඉතා කුඩා කැබැලිවලට කඩා පහත තිබෙන Bath එකට දමා ගිනි අවුළුවා ගැනීමයි. ඉන් පසුව මෙහි ඇති පිටත භාජනයට අඬු කෝප්ප භාගයක ප්‍රමාණයක් ජලය දැමිය යුතුයි. දැන් ඔබ කළ යුත්තේ ඇතුළත භාජනයේ ඔබ බත් පිසගන්නා බඳුන තැබීමයි. මෙහිදී සිදුවන සරල ක්‍රියාවලිය වෙන්නේ පොල්කටු රත්වීමෙන් පැමිණෙන දහනය පිටත බඳුනේ ජලයට වැදී එය රත්වීමයි. මෙසේ වැදීමේදී ජලය සම්පූර්ණයෙන් රත් වී ජලය නටා හුමාලය බවට පත්වෙයි. එම හුමාල ටිකින් ටික බත් එක තිබෙන භාජනයට වැඳී බත් පිසීම සිදුවනවා. බත් එක ඉදෙන්න විනාඩි 40ක් වැනි කාලයක් ගත වෙනවා. මේ උපකරණය අපගේ බලයලත් නියෝජිතයන් මඟින් මිලදී ගැනීමට හැකි අතර තවත් තොරතුරු අවශ්‍ය නම් අපගේ ආයතනයෙන් ලබාගන්න පුළුවන්."

 

මෙලෙසින් හඳුන්වා දුන් මේ උපකරණය මේ කාලයේ සෑම නිවෙසකටම ප්‍රයෝජනවත්ය. ගමේ හෝ නගරයේ ඕනෑම මුළුතැන් ගෙදරකට ප්‍රයෝජනවත් මේ රයිස් කුකරය ඔබට විදුලිය තිබුණත් නොතිබුණත් සෑම දිනකම ප්‍රයෝජනවත් වේවි. ඔබට මේ රයිස් කුක්ර් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අපට අමතන්න. 011-2429591 - 2

 

විශේෂ ස්තූතිය

නර්ඩ් ආයතනයේ අලෙවි අංශයේ සහකාර අධ්‍යක්ෂක දිල්රුක්ෂි පතිරණ මහත්මියට.