නෝමල් මැෂිමට යොදන විවිධ ෆුට් වර්ග හඳුනා ගන්න

අප්‍රේල් 25, 2022

 

කොරෝනාව නිකම් කැස්ස, හෙම්බිරිස්සාව ගාණට පත් වෙලා. මිනිස්සුන්ට වගේ වගක් නැහැ. නමුත් සෞඛ්‍යය නියමයන් ඔබ අකුරටම පිළිපදින්න, එන්නත් මාත්‍රා තුනම ලබා ගැනීම අතපසු කරන්නටත් එපා. තවත් කොරෝනා රැල්ලකට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ. ඒත් ඉතිං අපි මේ කොරෝනා නැත්තටම නැති වෙනකම් මාස්ක් දාන්න ඕනෙ.

 

මැහුම් ගැන කතා කරන්න ගිහින් මාස්ක් ගැන කතා කරන්න ඇයි දන්නවද...? මෙය අවම වශයෙන් තව අවුරුදු දෙක තුනක්වත් තිබුණොත් ඉතාම හොඳ ස්වයං රැකියා අවස්ථාවක්. කොහොමත් මාස්ක් දාන්නම වෙනවා. ඉතින් මැෂිම හුරු ඔබට තරුණ පරපුර ආකර්ෂණය කරගත හැකි මාස්ක් එකක් මහන්නට පුළුවන් නම්, වැඩිහිටි අයට පවතින මිලට කීයක් හරි අඩුවෙන් ලබා දෙන්නට පුළුවන් නම් ඉතා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම අපහසු නැහැ. දැන් ඉතින් පාඩමට යොමු වෙමු.

 

අපි ඉඳිකටු ගැන කතා කළා. ඒ වගේම අවශ්‍යතාවය අනුව වෙනස් කළ යුතු කොටසක් තමයි ෆුට් (Foot) එක. විවිධ අවශ්‍යතා අනුව වෙනස් කළ යුතු ෆුට් වර්ග කීපයක් තිබෙනවා.

 

01. නෝමල් ෆුට් (Normal Foot)

02. අවුට් ලයින් ෆුට් (Out Line Foot)

03. ගැදරින් ෆුට් (Gathering Foot)

04. හෙම් ෆුට් (Hem Foot)

05. සිපර් ෆුට් (Zipper Foot)

06. වන් සයිඩ් ෆුට් (One Side Foot)

07. පයිපිං ෆුට් (Piping Foot)

08. ප්ලාස්ටික් ෆුට් (Plastic Foot)

 

නෝමල් මැෂිමකින් දෙකකින් 'පුංචි පහේ ඇඟලුම් කම්හලක සිහිනය' යථාර්ථයක් කර ගැනීමට සිහින දකින ඔබට මේ දැනුම, අවබෝධය අත්්‍යවශ්‍යමයි.

 

නෝමල් ෆුට් සාමාන්‍ය මැස්මක දී මෙය භාවිත කරනු ලබයි.

 

අවුට්ලයින් ෆුට් ඇඟලුමක අවුට්ලයින් මැසීමේ දී විශේෂයෙන් යොදාගත හැකි ෆුට් වර්ගයකි. මෙහිදී අවුට්ලයින් එකේ ප්‍රමාණය අනුව ෆුට් මාරු කර ගත යුතුය.

 

ගැදරින් ෆුට් මැස්මක දී රෙදි රැලි ගැන්වීම සහ විසුරුම් කිරීමේදී අවශ්‍යම උපාංගයකි. මෙම ෆුට් එකෙහි පිටුපස තිබෙන ඇණය තද කිරීම සහ බුරුල් කිරීම මඟින් මසනු ලබන රෙදි කොටසේ රැලි ප්‍රමාණය අඩුවැඩි කර ගැනීමට පුළුවන.

 

හෙම් ෆුට් ඇඳුම්වල වාටි මැසීමේ දී භාවිත කරනු ලබන්නේ මෙයයි. 32/1, 23/1, 16/1, 4/1 ආදී ප්‍රමාණයෙන් හෙම් ෆුට් වර්ග භාවිතයේ යෙදෙයි. ඔබ මසනු ලබන ඇඟලුම් වාටියේ ප්‍රමාණය අනුව මේ ෆුට් මාරු කළ යුතුය.

 

 

 

 

 

 

වන් සයිඩ් ෆුට් සිපර් සහ අවුට් ලයින් මැසීම සඳහා මෙම වන් සයිඩ් ෆුට් එක යොදා ගැනේ.

 

සිපර් ෆුට් ඇඟලුම් මෙන්ම බෑග්වල සිපර් ඇල්ලීම සඳහා අවශ්‍යවෙයි. 32/1, 23/1, 16/1, 10/5 යන ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකියි.

 

පයිපිං ෆුට් ඇඟලුමක පයිපිං ඇල්ලීමේදී මෙය අත්‍යවශ්‍ය වේ. ඉහළ කාර්යක්ෂමතාවකින් සහ උසස් නිමාවක් සඳහා අදාළ අවශ්‍යතාවයේ දී යොදාගත යුතුම ෆුට් විශේෂයකි.

 

ප්ලාස්ටික් ෆුට් ප්ලාස්ටික් (ඝනකම්) විශේෂයකින් නිමවා ඇති මෙම ෆුට් විශේෂය සාමාන්‍ය තුනී රෙදි සඳහා පොදුවේ භාවිත කරයි.