රෙදි තෝරන්න දන්නවා ද?

මෙන්න, අවධානය යොමු කළ යුතු කරුණු
මැයි 30, 2022

 

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි නිරුවත් මානවයා පරිණාමයත් සමඟින්, විලිවසා ගැනීම සඳහා කොළ අතුවලටත් අනතුරුව සත්ත්ව සම්වලටත් යොමු වුණි. අනුක්‍රමයෙන් ශිෂ්ටාචාර ගත වෙද්දී නූල් නිපදවා රෙදි වියා ගැනීම සිදුවූවා. වසර දහස් ගණනකට ඉහත දී නිමැවුණු එම දළ රෙදිකඩ අද වන විට අදහාගත නොහැකි තරම් වෙනසකට, විවිධාංගීකරණයකට ලක් වී තිබෙනවා.

වෙළෙඳපොළට ගිය විට ඇස් නිලංකාර කරවන තරමේ විචිත්‍රත්වයක් දකින්නට ලැබෙනවා. මේ ඇස රවටන මායාවට ඔබ රැවටිය යුතු ද? තත්ත්වයෙන් උසස් රෙද්දක් තෝරා ගන්නේ කෙසේද? වර්ණ රටාව සහ අතට දැනෙන ස්වභාවය (නිසිඳු/තද) පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ද?

මෙතැන දී ඔබ සිතිය යුතු වන්නේ පාරිභෝගිකයකු ලෙස නොව, ව්‍යවසායකයකු ලෙසයි. ඇයි දන්නවා ද? ඔබගේ සිහිනය පුංචි පහේ ඇඟලුම් කම්හලක් ඇරැඹීමයි. එහෙම නම් නිෂ්පාදන සඳහා මිල දී ගන්නා රෙදි පිළිබඳ, ඒවයේ ප්‍රමිතිය, ගුණාත්මකතාවය ගැන නිවැරැදි තක්සේරුවක් ඔබට තිබිය යුතුමයි.

රෙදි මිල දී ගැනීමේ දී මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා නම්,

* රෙද්දේ කල් පැවැත්ම

* පහසුවෙන් සෝදා පිරිසුදු කර ගත හැකි ද?

* දිනපතා පාවිච්චියට සුදුසු ද? යන කරුණුයි. ප්‍රධාන වශයෙන් මේ කරුණු පිළිබඳ මිස රෙද්දේ පිට ඔපය, පෙනුම සහ වර්ණය ගැන පමණක් අවධානය යොමු කර රෙදි මිල දී ගැනීමෙන් වැළකී සිටින්න.

කැඳ සහිත රෙදි නිතර පාවිච්චියට සුදුසු නැහැ. රෙද්දේ කොනක් ඇඟිලි තුඩුවලින් පොඩිකර බැලීමෙන් මේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්. එහිදී කැඳ සහිත නම් සුමුදුව ලිස්සා යාමක් දැනෙන්නේ නැහැ.

ඔබ මිල දී ගන්නා රෙදිවලින් උපරිම ප්‍රයෝජනයක් ගත යුතුයි. නිතර ඇඳීම සඳහා සුදුසු වන්නේ ශරීර උෂ්ණත්වය වැඩි නො කරන තුනී රෙදිවලින් මැසූ ඇඳුම් බව මතක තබා ගන්න. සේද සහ වූල් රෙදිවලින් නිපදවන ඇඳුම් මඟින් සිරුරේ උෂ්ණත්වය වැඩි කිරීම සිදු වෙනවා. උෂ්ණ දිනවල දී සහ උෂ්ණ කලාපවලට ගැළපෙන්නේ කපු පිළියෙන් නිමැවූ ඇඳුම්. පහසුවෙන් දහදිය උරා ගැනීම නිසා ශරීරයට ගෙන එන්නේ වැඩි සුවපහසු බවක්.

උණුසුම ගැන කතා කිරීමේ දී අවධානය යොමු කළ යුතු සුවිශේෂී කරුණක් තිබෙනවා. ඒ තමයි රෙදිවල වර්ණය. තද පැහැති එනම් කළු, අළු, කොළ, දුඹුරු, මෙරූන් ආදී වර්ණවලින් ආලෝකය උරා ගැනීම සිදුවන නිසා එමඟින් සිරුරේ උණුසුම වැඩි කෙරෙනවා. එවැනි ඇඳුම් ගැළපෙන්නේ ශීත කලාප සඳහායි.

සුදු, කහ මෙන්ම දීප්තිමත් ළා පැහැ රෙදි ආලෝකය පරාවර්තනය කරන බැවින් උෂ්ණාධික කලාප සඳහා කපු පිළියෙන් නිමැවූ මෙබඳු වර්ණ සහිත ඇඳුම් තෝරා ගැනීම නුවණැති ක්‍රියාවක්. පෝස්ට් ඔෆිස් රෙඩ් (Post Office Red), පොපි රෙඩ් (Popy Red) වැනි දීප්තිමත් රතු වර්ණයන් සහිත ඇඟලුම් තදින් හිරු පායන ප්‍රදේශවලට ගැළපෙන්නේ නැහැ. එය අඳිනු ලබන පුද්ගලයාට ඇතිවන උණුසුම පමණක් නොවෙයි. දකින අයගේ නෙත්වලට ද ඇති කරන්නේ පීඩාවක්.

නිමි ඇඳුම් තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු මූලික කරුණු දෙකක් තිබේ. එනම්, රෙද්දේ රළු බව හා සිරුරට තද ස්වභාවයයි. එවැනි ඇඟලුම් තෝරා ගැනීමෙන් ශාරීරිකව දැනෙන අපහසුතාව මෙන්ම සෞඛ්‍යයට ද බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඇඳ ඇතිරිලි සහ තිර රෙදි තෝරා ගැනීමේදීත් උණුසුම සහ සිසිලස යන කාරණා ද්විත්වය සම්බන්ධයෙන් ලබාදුන් මේ උපදෙස් වෙත අවධානය යොමුකර කටයුතු කිරීම ඉතාම වැදගත්.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්