කාලයේ තාලයට ආදර්ශයක් දෙන කාබනික එළවළු වගාවක්

කුලියාපිටියේ නිහාල් රණසිංහ මහතා ගේ ගොවි බිම
ජුනි 27, 2022

 

 

නිහාල් රණසිංහ කියන්නේ දක්ෂ ගොවි මහතෙක්. ඔහු ජීවත් වන්නේ කුලියාපිටිය උඩබද්දාව ග්‍රාමයේ. නිහාල් මහත්තයා සැබෑ ගොවි මහත්තයෙක් ලෙස රටම හඳුනා ගන්නේ ඔහුගේ සමාජ මාධ්‍ය Youtube චැනලයෙන්. සියයට සීයයක්ම කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන ඔහු මේ කටයුත්ත පටන්ගෙන සෑහෙන කාලයක්.

 

2014 වසරේදී කාබනික භෝග වගාවට යොමු වුණු නිහාල් ගොවි මහත්තයාගේ ජීවිත කතාව හරිම දුෂ්කරයි. වසර ගණනාවක් ඔහු කළ ඒ කැපවීමේ ප්‍රතිඵල අද අත්විඳිනවා. දැන් ඔහු සාර්ථක වගාවක හිමිකරුවෙක්. ඒ අක්කර හතක ගොවි බිමකට හිමිකම් කියමිනි. ඒ සාර්ථකත්වයේ ගමන් මඟ ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසිනි.

“ මම ගෙවතු වගාව පටන් ගත්තේ අපේ අත්තාගේ මුත්තගේ ආභාෂයෙන්. මට කිසිම කෘෂිකර්ම ඩිප්ලෝමාවක්වක්, උපාධියක්වත් නෑ. මගේ ලොකුම විශ්වවිද්‍යාලේ තමයි මේ ගොවිපල. මුලින්ම මම කළේ රසායනික පොහොර යොදාගෙන කරන කෘෂිකර්මය. ඒ කාලේ තෙල් ටැංකි හැටක් විතර දවසකට ගහනවා. ඒ ගහපු දවසට මගේ ඇඟට පුදුම අමාරුවක් දැනෙන්නේ. ඒ විතරක් නොවෙයි කෘමීන්, සත්තු, ජල මූලාශ්‍ර පුදුම විදිහට විනාශ වෙනවා. මේ වෙන විනාශය මගේ හිතට ගතට දෙකටම පුදුම විඳිහට වද දෙන්න ගත්තා. ඒ නිසා 2014 දී රසායන පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඉන්පසුව සම්පූර්ණයෙන් වගා කළේ කාබනික පොහොර යොදාගෙන.

මගේ ගොවිපොළේ දැන් උඩරට එළවළු හැම දෙයක්ම තියෙනවා. රාබු, බීට්, ගෝවා, ලීක්ස් පවා හොඳට හැදෙන්නේ කාබනික පොහොර දාලා. ඊට අමතරව කරවිල, තක්කාලි, මෑ වම්බටු වගේ එළවළු වගා කරලා සෑහෙන ලාබයක් ගන්නවා.”

මේ කතාව අතර ඔහුගේ වගාව ජනප්‍රිය වුණු කතාව ගැනත් සඳහන් කරන්න අමතක කළේම නැහැ. ඔහු ඒ ගැන සඳහන් කළෙත් හරිම ආඩම්බරයෙන්.

“ 2014 විතර වෙනකොට අපේ ගමට විදුලිය ලැබෙනවා. හැබැයි මට රූපවාහිනියක් ගන්න තරම් සල්ලි නැහැ. මගේ හිතවත් මල්ලි කෙනෙක් කිව්වා කම්පියුටර් මොනිටරයකට රූපවාහිනි කාඩ් එකක් ගහලා රූපවාහිනිය බලන්න පුළුවන් කියලා. මට ඒකට ගියේ රුපියල් දහතුන් දහසයි. ඔය අතරේ තමයි නිලන්ත මල්ලි කිව්වේ වීඩියෝ එකක් කරලා දාමු කියලා. මුලින්ම ඒ මල්ලිගේ දුරකථනයෙන් තමයි ගස්ලබු වගාව ගැන Youtube වීඩියෝ එක දැම්මේ.

ඉන් පස්සේ මිනිස්සු මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා. ඒවාට උත්තර දාලා දිගටම වීඩියෝ හදලා දාන කොට වැඩේ ජනප්‍රිය වුණා. මේ වෙනකොට දෙලක්ෂ පනස්දහසක් විතර සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. වීඩියෝ 526 ක් දාලා තියෙනවා. ෆේස්බුක් එකේ හැමදාම පින්තූර අප්ලෝඩ් කරනවා. දැන් මගේ වගාව හරිම ජනප්‍රියයි. ඒ වගේම කුලියාපිටියේ නිහාල් රණසිංහගේ වගාව කිව්වාම මේ පළාතම දන්නවා. ඇත්තටම ඒ ජනප්‍රියත්වය මට ලැබුණේ මගේ තිබුණු උත්සාහය නිසයි. හැම දෙයක් ගැනම ප්‍රායෝගික දැනුම ගත්තේ මේ ගෙවත්තෙන්. ඒ නිසා මට කිසිම අභියෝගයක් නැහැ. රසායනික පොහොර නැතුව වගාව මම පටන් ගත්තේ රජය පටන් ගන්නට පෙර. මම දන්නවා එහි තිබෙන අහිතකර අතුරු ප්‍රතිඵලය. රසායනික පොහොර යොදන තරමට ඵලදාව නො ලැබුණත් විස විස නැතුව වගා කරන මගේ එළවළුවලට තියෙන ඉල්ලුම වගේම මම ලබන ආත්ම තෘප්තිය සල්ලිවලින් මනින්න බැහැ..”