කොළ කළු වෙනවා... දිලීර රෝගයක්...

වගාව රැකගන්නේ කොහොමද?
ජූලි 4, 2022

 

අලංකාරයෙන් අනූන ආඩම්බරකාරිය ඇයයි. ඇගේ හැඩ වගේම වටිනාකමත් හරිම ඉහළයි. ඇන්තූරියම්, ඔබ හොඳින් ම හඳුනන ඇගේ නමයි.

තරුණී සමඟ සෙනෙහසින් අත්වැල් බැඳන් හිඳින ආදරණීය පාඨක ඔබ වෙනුවෙන් අපි ඇන්තූරියම් වගාවේ විස්මය කතා කළෙමු.

මේ දවස්වල හොඳට වහින නිසා මේ ආඩම්බරකාරිය විවිධ දිලීර රෝගයන්ට ගොදුරුවීම සාමාන්‍ය දෙයක්. ඒත් ඉතින් ලෙඩ හැදුණෝතින් ගස් මැරී යන්න පුළුවන්. ඒ වගේම රෝගය අනෙක් නිරෝගී පැළ වෙත ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. ඒනිසා මේ දිනවල වගාව ගැන හොඳ අවධානයෙන් පසුවිය යුතුයි.

කොළ කළු වෙනවා

කොළ කළු වී, වියළී ගිය ස්වරූපය මෙහි දී දැකගත හැකි ලක්ෂණයක්. කොළයේ තැනින් තැන කළු වීමක් දැකිය හැකියි. කොළයේ යටි පැත්තෙත් දුඹුරු හා කළු පැහැති පැල්ලම් තියෙනවා.

පත්‍ර අව්වට පිලිස්සී ගියාක් වැනි ස්වරූපයක් ද මේ දිලීර රෝග අතර දැකගත හැකියි. සමහර විට පත්‍ර කහ පැහැයට හැරී ඉන්පසු පිලිස්සී යන ස්වරූපයට පත් වේ. කොළ පමණක් නොව මල් ද කළු වී කුණු විය හැකියි.

 

කපා ඉවත් කරන්න

මෙලෙස කොළ හා මල් කළු වනවිට කොළයේ කළු පැහැ වන කොටස් දිලීර නාශක යොදා සෝදාගත් කතුරකින් කපා ඉවත් කරන්න. සම්පූර්ණ කොළයම කපන්න අවශ්‍ය නැහැ. කළු ගැහුණු කොටස් පමණක් කපා දමන්න. කොළයම කළු වෙලා නම් කොළයම කපා ඉවත් කරන්න. මෙලෙස කපා දමන කොටස් ගිනි තබා පුච්චා දමන්න. මේ රෝගය ග්‍රවුන්ඩ් ඕකිඩ්, රෝස, වතුසුද්ද වැනි මල් වර්ගවලටත් වැලඳෙනවා. ඒ වගේම තේ හා බුලත්වලටත් වැලඳෙන රෝගයක්. මේ දිලීර රෝගය වැලඳෙන තවත් මල් වර්ග හා අනෙකුත් ශාක ඕනෙ තරම් ඇති. මුල් කාලීනව රෝගය පාලනය කර නොගත් විට සම්පූර්ණ වගාවට ම ව්‍යාප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රෝගය වැලඳුණු ශාක නිරෝගී ශාකවලින් ඈත්කර තබන්න.

 

දිලීර නාශක

මේ රෝගය පාලනය කරගැනීමට බැක්ටීරියා අංගමාරය ඇතුළු පත්‍රවලට වැලඳෙන දිලීර සඳහා යොදන චෑම්ප් කොපර් හයිඩ්‍රොක්සයිඩ් නම් දිලීර නාශකය පිරිසුදු ජලය සමඟ පැකැට්ටුවේ සඳහන් අනුපාතයට මිශ්‍රකර දියර ඉසින උපකරණයක් මඟින් හොඳින් පත්‍ර තෙමී යන ලෙස ඉසින්න. සති දෙකකට වරක් රෝගය සම්පූර්ණයෙන් සුව වෙනකම් මේ බෙහෙත යොදන්න. ඒ අතරට පාංශු දිලීර නාශක හා ශාකමය දිලීර නාශක ද ඉසින්න.

මුල් කුණු වීම හා පත්‍ර කහ වීම

ඒවගේම වතුර වැඩි වුණොත් කොළ කහ පැහැයට හැරෙනවා. එකක් නොව පත්‍ර කිහිපයක් මෙලෙස කහ පැහැයට හැරේ නම් එම පත්‍ර කපා දමා මැන්කොසොබ් නම් දිලීර නාශකය යොදන්න. බැක්ටීරියා අංගමාරය, මුල් කුණු වීම, දියමලන් කෑම, පත්‍ර හැකිළීම, පත්‍ර කහ වීම සඳහා ඩැකොනිල් නම් දිලීර නාශකය ද පත්‍ර කහ වීම හා පත්‍රවලට වැලඳෙන දිලීර රෝග සඳහා මැන්කොසොබ් නම් දිලීර නාශකය ද අදාළ මාත්‍රාව අනුව ජලය හා මිශ්‍රකර යොදන්න.

 

උපදෙස් -

මාතලේ යෝ ෆල්වර්ස් හි

යොහාන් මීගහගේ