රෙදි වර්ග නමින් හඳුනා ගත්තොත් වාසි රැසයි

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘
ජූලි 11, 2022

කාන්තාවක ලෙස රෙදි බිස්නස් එකක් කළත් නැතත් රෙදිපිළි සම්බන්ධව දැනුමක් තිබීම අතිශය වැදගත්. විකුණුවත්, මිල දී ගත්තත් රෙදිවල ගුණාත්මකභාවය, ඇසිරීම, ආරක්ෂාව, කල් පැවැත්ම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය තිබිය යුතුමයි.

වෙළෙඳපොළට ගිය විට රෙදි වර්ග විශාල ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා. ඒවා හඳුන්වන නම් ද බොහොමයි. එදිනෙදා භාවිතයට ඇඟලුම් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රෙදි වර්ගවල නම් මොනවාද යන කාරණයේ සුවිශේෂී වැදගත්කමක් නැහැ. පොප්ලින්, පොලියෙස්ටර්, මල්පීස්, වොයිල්, කොටන්, සිල්ක් වගේ රෙදි වර්ග නම් කා අතරත් බොහොම ජනප්‍රියයි. ඒ වගේම ඩෙනිම්, කොඩ්රොයිල්, ටංක් වගේ රෙදිත් නිතර භාවිතයේ තිබෙනවා. නමුත් ඇඟලුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයකුට, ව්‍යවසායකයකුට එහෙම මතුපිටින් අතගාපු දැනුමක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රෙදි වර්ග කිහිපයක් සහ ඒවායේ ප්‍රයෝජන ගැන දැනුවත් වෙමු.

මල් පීස්

වෙළෙඳපොළේ දකින්නට ලැබෙන ජනප්‍රිය රෙදි වර්ගයක් විදිහට මල්පීස් නම් කරන්නට පුළුවන්. මෙය අඟල් 36 පළල රෙදි විශේෂයක්. මල්පීස් කියන්නේ බොහොම සිනිඳු වගේම ශක්තිමත් රෙද්දක්. සිහින් ඇඹරුණු නූලෙන් ළං ළංව වියා තිබෙනවා. ළදරු ඇඳුම්, ළදරු කොට්ට උර, ඇතිරිලි, නැපි, අත් ලේන්සු සඳහා ඉතාම උචිත වන්නේ මෙයයි. මවුවරුන් අතර වඩාත්ම ජනප්‍රිය රෙදි වර්ගයක් ලෙස පිළිගැනීමක් ලැබී තිබෙනවා.

සියර්සකර් (sheersurker)

සෑම කාලයකදීම එක හා සමාන ජනප්‍රියත්වයක් රඳවා ගෙන තිබෙනවා. මෙය පළල අඟල් 28 සහ 36 ලෙසින් නිෂ්පාදිතයි. තුනී රෙදි විශේෂයක් වන මෙය සිහින් රැලි සහිතයි. මෝස්තර සහිතව සහ තනිපාට ලෙසින් මිල දී ගැනීමට පුළුවන්. මේ රෙද්දේ ඇති විශේෂත්වය වන්නේ දෙපැත්තේ ම මෝස්තරය මුද්‍රිතව තිබීමයි. ගවුම්, බ්ලවුස් සහ ළදරු කාමරවල තිර රෙදි සඳහා සියර්සක බහුලව භාවිත වෙනවා.

පීකේ (Pique)

මෙය අඟල් 38 පළල රෙදි විශේෂයක්. දික් නූලකින් වියා ඇති පීකේ රෙද්ද ඉතා ශක්තිමත් වන අතර, පිරිමි T-ෂර්ට් සහ ක්‍රීඩා ඇඳුම් සඳහා බහුලව භාවිත වෙනවා.

වොයිල් (Voil)

මෙය කපු රෙදි වර්ගයක් වන අතර පළල අඟල් 36කි. විනිවිද පෙනෙන සුලු ස්වභාවයකින් යුක්තයි. ඇඹරුණු නූල් විශේෂයකින් ශක්තිමත්ව වියා තිබෙනවා. ළමා ඇඳුම්, සාරි හැට්ට මෙන්ම සාය වර්ග සඳහා වඩාත් ජනප්‍රිය රෙදි විශේෂයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

කපු (Cotton)

මෙය අඟල් 45 සහ 60 පළල වශයෙන් වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා. පහසුවෙන් දහඩිය උරා ගන්නා බැවින් ඝර්ම කලාපීය රටවලට ඉතා හොඳින් ගැළපෙනවා. ශක්තිමත් බවින් ඉහළ නිසා තම්බා හෝ සෝදා නිතර පාවිච්චිය සඳහා සුදුසුයි. කුණු ඉවත් කිරීම පහසුවන අතරම හොඳ නිමාවකින් යුතු රෙදි විශේෂයක් බව අවිවාදයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්.

ලිනන් (Linen)

කුඩා පුරුක් සහිත නූලෙන් වියා තිබෙනවා. කල් පාවිච්චි කළ හැකි බර රෙදි විශේෂයක් වන ලිනන් දහඩිය උරා ගැනීමේ දී ඉහළ දායකත්වයක් සපයනවා. මෙහි කුණු දුහුවිලි බැඳීම මෙන්ම ඒවා ඉවත් කිරීමද වේගවත් බව කිව යුතුයි. ලිනන් රෙද්දෙන් මැසූ ඇඳුම් ඇඳීමෙන් සිරුරට සිසිලසක් දනවනවා. අඟල් 36 සහ 52 පළලින් මිල දී ගත හැකි අතර පිරිමි කමිස සහ ගවුම් සඳහා බහුලව භාවිත වෙනවා.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්